(රෝෂන් තුෂාර)

හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) කාර්යාලයට සේවකයින් බඳවාගත් රජයේ සේවකයින් සිව් දෙනකු  පුද්ගලික ඉන්ධන පිරවුම්හලක සේවයයට යොදවා රජයට පාඩු කළේ යැයි  කියන  හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් හා ඊට ආධාර අනුබල දුන්  කළමනාකරණ සහකාරවරයාට එරෙහි නඩුව ජනවාරි 5 වන දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් අසංග එස් බෝදරගම මහතා අද (20) නියෝග කළේය .

ඇප මත සිටින හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් හා  ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවය කළේ යැයි කියන  කුලියාපිටියේ දීපාල් සංජීව රත්නායක සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙසේ පැමිණිල්ලට දින නියම කළේය.

ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සැකකාර අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් පරිදි  තාවකාලික පදනම මත සේවකයන් 4ක් බඳවාගෙන ඔවුන්ව  පුද්ගලික වැඩවලට යොදවා  එම සේවකයින්ට  රුපියල්.2,7 68,836.14 මුදලක් වැටුප් ලෙස ගෙවා දූෂණය නම් වරද කිඳු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරේ.

වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ  අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ විමර්ශන තවදුරටත් සිදුකරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් විදේශගත පුද්ගලයින් කීපදෙනෙකුගේ ප්‍රකාශය සටහන් කර ගැනීමට තිබෙන බවත්, අත් අකුරු පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බවද පැවසීය.

සැකකරුවන් වෙනුවෙන්  ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේ ය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ජනවාරි 05 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් නඩුව එතෙක් කල් තැබීය.