(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාලයට ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

මිසයිල ප්‍රහාරය ඇමෙරිකානු තානාපති කාර්යාලයේ හෙලිකොප්ටර් යානා ගොඩබාන ස්ථානයට එල්ල වී ඇති බවත් ඉන් කළු දුමාරයක් අහසට නැගෙන අයුරු දැක ගත හැකි වූ බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි.

එසේම මිසයිල ප්‍රහාරයෙන් තානාපති කාර්යාලයේ ගුවන් ආරක්ෂණ පද්ධතියේ කොටසක්ද හානි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරාන උත්තරීතර නායක අලි කමේනීගේ මරණයට පළිගැනීමක් ලෙස ඉරානයේ  සහාය ලබන සන්නද්ධධ කණ්ඩායම් ඉරාකයේ තිබෙන ඇමරිකානු දේපල වලට සහ එහි සිටින ඇමෙරිකානුවන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇතැයි එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඉරාක සන්නද්ධ කණ්ඩායම් එරට සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිබඳව තොරතුරු ලබාදෙන්නන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබාදෙන බවට ප්‍රසිද්ධ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරාකයේ තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වූ දෙවැනි අවස්ථාව මෙය වේ. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් ජීවිත හානියක් සිදුවූ බවට වාර්තා වී නොමැත.