( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම්) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම ලබන ජූලි 05 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළේය.

මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ ,සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න  යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවිණි.

පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද කාල වේලාව ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් එම විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තබන ලදී.
 
අදාළ අභියාචනාධිකරණ නඩු තීන්දුව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද සිය  අභියාචනය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා ඇත.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස පිළිගන්නා ලෙස සහ ලියාපදිංචි කරන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නියෝග කරමින් දෙන ලද නඩු තීන්දුව ක‍්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම අභියාචන පෙත්සමේ සඳහන් වේ.

අභියාචනාධිකරණය නීතිය වැරදි ලෙස වටහා ගනිමින් සහ අර්ථ දක්වමින් මෙම නඩු තීන්දුව ප‍්‍රකාශ කර ඇති බවට තීන්දු කර අභියාචනාධිකරණය හමුවේ සයිටම් සිසුවිය විසින් ගොනු කළ රිට් පෙත්සමද නිෂ්ප‍්‍රභ කරන ලෙසද වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ සිය අභියාචනයේ  සඳහන් කර ඇත.