
(තිළිණි ද සිල්වා)
කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට සහ සංචාරක රියදුරන්ට දීමනාවක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට මැතිවරණ කොමිසම සීමා පනවා ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (30) පැවසීය.
ඒ අනුව සංචාරක මාර්ගෝපදේශකයන්ට හා සංචාරක රියදුරන්ට ලබා දීමට නියමිතව තිබූ එම දීමනාවෙන් රුපියල් 10,000 ක දීමනාවක් පමණක් මුලින් ගෙවීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා උපදෙස් දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් සඳහා පිළිවෙලින් රුපියල් 20,000 ක හා 15,000 ක දීමනාවක් එක්වරක් පමණත් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබුණත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉකුත් 19 දිනැති ලිපිය මගින් මෙම දීමනාව ගෙවීම අත්හිටුවා රුපියල් 10,000 ක මුදලක් පමණක් දැනට ලබා දීමට කටයුතු කරන්න යැයි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා කීය.
අමතර මුදලක් ගෙවිය යුතු නම් එම මුදල අගෝස්තු මස 10 වැනිදායින් පසුව ගෙවීම සුදුසු බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා දැනුම් දී ඇති බව හෙතෙම කීය.
COMMENTS
මැතිවරණ කොමිසම නිවැරදියි. මේ අවස්ථාවේදී මැතිවරණය පෙනිපෙනී මෙසේ රජය මේ අයුරින් කටයුතු කිරීම රටේ පැවැත්වෙන මැතිවරණයට මැතිවරණ නීතියට අභියෝග කිරීමක්. එබැවින්, මේ දීමනා නොවරදවාම ඡන්දයෙන් පසුව දෙන්න. ඒත්, ඡන්දයෙන් පසුව ඒවා ඒ විදිහටම දෙන්න මේ තරම් හදිසියක් තියේවිද දන්නේ නැහැ...