(දයාරත්න ඇඹෝගම)
මහා සංඝ රත්නය ආරක්ෂා කර ගැනීම සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා අනුරාධපුර අභයගිරියේ දී පැවසීය.
අභයගිරි විහාරයේ ප්‍රතිෂ්ඨාපනය කරන ලද චීන ජාතික ෆාහියන් හිමියන්ගේ ප්‍රතිමාව නිරාවරණය කිරිමේ ආගමික හා සංස්කෘතික උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අභයගිරි විහාරාධිකාරි ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමියන්ගේ හා ශ්‍රී ලංකා- චින බෞද්ධ සංගමයේ සභාපති සුමති ධර්මවර්ධන මහතාගේ ඉල්ලිම මත මහජන චීන සමුහාණ්ඩුවේ බොද්ධ සංගමයේ උප සභාපති මින්ග්ෂෙන්ග් හිමියන් විසින් මෙම ප්‍රතිමාව පරිත්‍යාග කර තිබිණි.
චින ජාතික ෆාහියන් හිමියන් ක්‍රි.ව. 411 - 412 අතර කාලයේදී අභයගිරි විහාරයේ වැඩ වාසය කරමින් ත්‍රිපිටකය පිටපත් කර ඇති බවට ඉතිහාසයේ සදහන් වෙයි. එම ශ්‍රේෂ්ඨ මෙහෙවර අනුස්මරණය කරමින් උන්වහන්සේගේ ප්‍රතිමාව මෙසේ අභයගිරි පුද බිමේ ප්‍රතිෂ්ඨාපනය කර තිබේ.
මෙම ආගමික උත්සවයේදී අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා මෙසේ ද පැවසීය.
මහා සංඝරත්නය පැවිදි බවේ සිටියොත් පමණයි අපේ බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා අපි මහා සංඝරත්නයට රක්ෂණ ක්‍රමයක් ඇති කරනවා. සෞඛ්‍යය,වයසට ගිහින් දුර්වල වුණාම,හදිසි ආපදාවක් වුණාම ඒවායෙන් මහා සංඝරත්නය ආරක්ෂා කර ගන්න මේ රක්ෂණ ක්‍රමය ඇති කරනවා. අපි දන්නවා පායන කාලයට උන් වහන්සේලාට දානයක් නිසි පරිදි ලැබෙන්නේ නැහැ සංඝරත්නයට සංඝාවාස වල හරි හමන් පහසුකමක් නැහැ.
අපි වර්ගිකරණය කරලා තියෙනවා දුෂ්කර පන්සල් හඳුනා ගෙන තියෙනවා. ඒවා වැඩි දියුණු කිරිමට රජයේ අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරිමට කටයුතු කරනවා.
මහජන චීන සමුහාණ්ඩුවේ බොද්ධ සංගමයේ උප සභාපති මින්ග්ෂෙන්ග් හිමියන් ඇතුළු චීන ජාතික නියෝජිතයන් ද, අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස, පල්ලේගම හේමරතන, ඊතල්වැටුණවැවේ ඥාණතිලක, වළවාහැංගුනවැවේ ධම්මරතන, තන්තිරිමලේ චන්ද්‍රරතන, නුගේතැන්නේ පඥ්ඥානන්ද යන හිමිවරු ඇතුළු මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
මහා සංඝයා රක්ෂණයක් ඉල්ලුවේ නැහැනේ කොහේදිවත්... උන්වහන්සේලාට ඕනේ බණක් දහමක් කරගෙන, ජනතාවටත් සේවයක් කරලා, දහමට නැඹුරු කරලා මේ සංසාරෙන් එගොඩ වෙන්න. මේ රජය කරන්නෙම අනවශ්‍ය වැඩ. දායකයෝ ඉන්නේ මහා සංඝයා ගැන අඩුපාඩු සොයා බලා කටයුතු කරන්න. එහෙම දන මාන නොලැබෙන පන්සල්වලට යමක් රජය කරනවා නම් මෙයට වඩා වටිනවා.
පායන කාලයට උන් වහන්සේලාට දානයක් නිසි පරිදි ලැබෙන්නේ නැහැ කියන කතාවේ තේරුම මොකද්ද?
බුදුහාමුදුරුවන්ව ආරක්ෂා කරන්න ඒ කාලේ කොසොල් රජතුමා ඉදිරිපත් වුණාද?
සංඝ රත්නය ආරක්ෂා කරන්න නම් පාර්ලිමේන්තුවේ භික්ෂු කතිකාවත සම්මත කරන්න. කෙටුම්පත හදලා කොච්චර කල්ද?
ඇත්තටම ශිලය රකින භික්ෂුන් වහන්සේලාට එය වැදගත් කොට සලකමු. එහෙත් දේශපාලකයන් රට විකුණා ගන්න කොමිස් කුට්ටිවලින් ලැබෙන චෙක්පත්වලින් ලැබෙන කොටස් බලනකොට අපි කුමක් සිතමුද?
එහෙම රක්ෂණ ක්‍රමයක් අවශ්‍ය නම් බුදුරජුන් එය භික්ෂු විනය පිටකයට ඇතුළත් කරනවා.. භික්ෂූන් අපවත් වනතුරු සිව්පසයෙන් පෝෂණය කිරීමයි එහි දක්වා තිබෙන්නේ.. එය ගිහිසමාජය විසින් ඉෂ්ට කළයුතු දෙයක්... ඇත්තටම කියතොත් අද භික්ෂුන් පැවිදි දිවියට ඇතුළත් වෙලා ඔවුන්ට නුසුදුසු ක්‍රියාවන්වලට ඇතුළු වී කාමභෝගී ජීවිතවලට පෙළඹිලා බොදුජනයා අතරේ පවා අපකීර්තියට පත්වෙලා තිබෙන සැටියකුයි රටේ සිදුවෙන ක්‍රියාදාමයන් අනුව පෙනී යන්නේ... අටලෝ දහම නිසිපරිදි තේරුම් ගතහැක්කේ ගිහියන්ට වඩා භික්ෂූන්ටයි. රක්ෂණ ක්‍රම ලබාදීමෙන් ඔවුන් තවතවත් කාමබෝග ජීවිතයකටයි පොළඹවන්නේ.. කරනවා නම් කළයුත්තේ භික්ෂූන්ට කිසිම මිලමුදලක්, දේපලක් ව්‍යාපාරයක් වගේම භික්ෂූත්වයට නොගැලපෙන කිසිම ක්‍රියාවකට භික්ෂු දායකත්වය අවුරා දමා ඉතා සරල චාම් සිල්වත් පැවිදි ජීවිතයක් ගතකරමින් ජනයාටද දහම් රසය බෙදාදීමට අවශ්‍ය ලෙසට භික්ෂූන්ගේ සියලුම අවශ්‍යතාවලට සිව්පසයෙන් පමණක් උපකාර කිරීමේ ක්‍රියාදාමයකුයි..