(තරිඳු ජයවර්ධන)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කරන්නේ කවුරුන්දැයි පිළිබඳ අද (31) දිනයේ තීරණයක් නොගත් බව පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා පවසයි.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද දිනයේ ද කොමිසමට නොපැමිණි බවද ඒ මහතා කියයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ නම පොලිස්පතිවරයා විසින් පසුගිය සතියේදී කොමිසමට නිර්දේශ කරනු ලැබීය.
දැනට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම ධුරයට පත් කිරීමට නුසුදුසු වන්නේ දැයි පොලිස් කොමිසම ජයසුන්දර මහතා ගෙන් පසුගිය සතියේ විමසා තිබිණි.
නව අධ්‍යක්ෂ ලෙස පත් කරන්නේ එහි සිටින දක්ෂතම නිලධාරියකු වන ශානි අබේසේකර මහතා ද එසේත් තැතිනම් මෙවන් සිල්වා මහතා ද යන්න අද දිනයේ තීරණය කිරීමට තිබූණු බව කොමිෂන් සභා ආරංචිමාර්ග පවසයි.
රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. ඔහුගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ. අපක්ෂපාතීව විමර්ශන කරන්නෙකු ලෙස ඔහු ප්‍රසිද්ධය. එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ.
පොලිස්පතිවරයාට පමණක් වග කියන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා මීට වසරකට පමණ පෙර ලලිත් ජයසිංහ මහතාට ද චෝදනා පත්‍ර නිකුත් කරන ලෙස යෝජනා කර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි විමර්ශනය පවත්වනු ලබන්නේ ද මෙවන් සිල්වා මහතා විසිනි. ඔහුගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශන ඒකකය මගින් තවත් විශේෂ විමර්ශන කිහිපයක් සිදු කෙරෙයි.
රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධුරය පුරප්පාඩු වූයේ එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුවය.
COMMENTS
පොලිස්පතිවරයාගේ අතිජාත මිත්‍ර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා පත් වුණොත් ඉවරෙටම ඉවරයි.. මොහු ගේ ක්‍රියාපටිපාටිය නිසා අවංක නිලධාරීන් අනතුරේ වැටුණු අවස්ථා කිහිපයක් තිබුණා.
මේ පොලිස්පතිත් ජනතාව බලාපොරුත්තු වුණා වගේ නොවේ. මෙයාට පෙර හිටිය පොලිස්පති තුමානං යනකොට කියලා ගියා. ඊළඟට පත්වෙන්න පොලිස්පති වාසනාවයි කියලා. යහපාලන ආණ්ඩුවේ නිදහසේ වැඩ කරන්න පුළුවන් කියලා. නමුත් සම්පූර්ණයෙන්ම වෙනස්. දෙකක්නේද? ඇමති කෙනෙකුගේ කෝල් එකට යස් සර් කියමින් නොවෙයිනේ...
ලංකාවේ පොලිසියෙනේ දක්ෂයන්ට වඩා පන්දමුන්ට සැලකිලි. දක්ෂයෝ හිටියොත් දුෂිතයන්ට වැජබෙන්න බැහැ.