(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට කරන අපනයනවලට අනිද්දා (19) සිට ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය හිමිවන බව යුරෝපා සංගමයේ මෙරට යුරෝපා සංගම් තානාපති තුංලායි මාග් මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති 27ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් නැවත වරක් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට පසුගිය බ්‍රහස්පතින්දා (11) යුරෝපා සංගමයේ විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ අනුමැතිය හිමිවිය. 

වත්මන් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති 27 ක්‍රියාවට නැංවීමේදී සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා ඇති නමුත් ශ්‍රී ලංකාවට තවදුරටත් බොහෝ කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා කියයි. 

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් වනතුරු ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය හිමිවනු ඇතැයි පැවැසූ මාග් මහතා එම තත්ත්වය අඛණ්ඩව වසර තුනක කාලයක මුළුල්ලේ පවත්වාගෙන යනතෙක් ජී.එස්.පී ප්ලස් සහනය හිමිවන බව ද ප්‍රකාශ කරයි. 
 
වත්මන් තත්ත්වය අනුව ශ්‍රී ලංකාවට 2021 වනතෙක් ජී.එස්.පී ප්ලස් සහනය හිමිවනු ඇතැයි ද ඒ මහතා පවසයි.ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළ වන යුරෝපා සංගම් වෙළෙඳපොළට ශ්‍රී ලංකාව භාණ්ඩ 6,600කට ආසන්න සංඛ්‍යාවක් අපනයනය කරන අතර එම භාණ්ඩවල මිලෙන් 66%ක පූර්ණ වශයෙන් තීරු බදු ඉවත් කෙරේ. 
 
මානව හිමිකම්, කම්කරු ප්‍රඥප්ති ආදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් 27කට අදාළ මූලික කරුණු සම්බන්ධයෙන් ප්‍රගතියක් පෙන්නුම් කිරීමට නොහැකි වීම නිසා 2010 වසරේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි විය. 

වත්මන් ආණ්ඩුව ඉකුත් වසරේ ජූලි මාසයේදී ජී.එස්.පී ප්ලස් සහනය නැවත ලබාගැනීම සඳහා අයඳුම්පත්‍රය යොමු කළ අතර ඉකුත් ජනවාරි මාසයේදී ඊට යුරෝපා කොමිසමේ අනුමැතිය හිමිවිය.ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබාදෙන බව හෙට (18) යුරෝපා සංගමයේ නිල ජර්නලයේ ප්‍රකාශයට පත්වන අතර ඉන් අනතුරුව (19) වැනිදා සිට එය ක්‍රියාත්මක වනු ඇත. 
 
පසුගිය 2016 වසරේදී ශ්‍රී ලංකාව හා යුරෝපා සංගමය අතර කෙරුණු ද්විපාර්ශවීක වෙළෙඳාමේ වටිනාකම යූරෝ බිලියන 4කට ආසන්න වූ බව යුරෝපා සංගමය සඳහන් කරයි. 

කොළඹ යුරෝපා සංගම් කාර්යාලයේ අද(16) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්   මාග් මහතා මේ බව කීය.