තරිඳු ජයවර්ධන

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත් කළ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ලංකාදීපයට පැවසීය.

පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් අද (07) උදේ රැස්වීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.

රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. ඔහුගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.  

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ.

රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධුරය පුරප්පාඩු වූයේ එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුවය. ඉන් පසු පොලිස්පතිවරයා විසින් රහස් පොලිස් අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා පත් කරන ලෙස නිර්දේශ කළ අතර  රහස් පොලිසියේම සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ශානි අබේසේකර මහතා ඊට නුසුදුසුවන්නේ ඇයිදැයි කොමිසම ප්‍රශ්න කර තිබිණි.

ඒ අනුව ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කිරීමට කොමිසම තීරණය කළේය.