(බන්දු තඹවිට සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්අඩංගුවට ගත් වැලි ලොරියක් තොබුවන පොලිස් ස්ථානාධිපතිවරයා නිදහස් කිරීමට විරෝධය දක්වමින් එම පොලිසියේම සැරයන්වරයකු වෙඩි තබා ගැනීමට ගත් උත්සාහයක් දැඩි පරිශ්‍රමයක් දරා නතර කළ බව පොලිසිය කියයි.
සැරයන්වරයා අදාළ ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තමා විසින් අත් අඩංගුවට ගනු ලැබූ නීති විරෝධී වැලි ලොරියක් තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිදහස් කරනු ලැබ ඇතැයි එම කොස්තාපල්වරයා ප්‍රකාශ කර තිබේ. ඊට විරෝධය පළ කර ඇති පොලිස් සැරයන්වරයා නීතිය හරි හැටි ක්‍රියාත්මක කරණ ලෙසත් එසේ නැති නම් තමා වෙඩි තබා ගන්නා බවත් පවසමින් විරෝධය පළ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සැලවීමත් සමඟ අවට පොලිසිවලින් සහ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පිරිස් කැඳවා සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සාහ කළත් එය ව්‍යර්ථවී තිබේ. අනතුරුව විශේෂ කාර්ය බලකායේ දෙදෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී ගම්වාසීන් ලෙස සැරයන් වරයාවෙත ගොස් එකවර සැරයන් වරයා බදාගෙන ඔහු අතේ තිබු ගිනි අවිය තම භාරයට ගෙන ඇත.
අනතුරුව සිද්දියට සම්බන්ධ සැරයන්වරයාව වැලිපැන්න පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබ මතුගම මූලස්ථාන පොලිසිය වෙත ගෙනවිත් භාරදී ඇත.
අත් අඩංගුවට ගත සැරයන්වරයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
COMMENTS
මාර වැඩක්නේ! වැලි ලොරිය නිදහස් කරපු ලොක්කා ශේප්! එහෙමද?
වැලි ලොරිය කෙරුමෙකුගේ විය යුතුමය. ඉදිරි පරීක්ෂණවලදී අවංක නිලධාරියා ඉබේම මානසික රෝගියෙක් වෙයි. ඔහුව සේවයෙන් පලවා හරියි. ජාවාරම දිගටම සිදුවෙයි. වග කිවයුත්තන් නොදැක්කා නොඇසුනා සේ සිටියි. මෙය ලංකාවට අරුමයක් නොවේ.
මෙම පුවතේ සදහන් විස්තර සියල්ල සත්‍ය නම් මෙම පොලිස් ස්ථානාධිපති තම නිල ඇඳුමට අශීලාචාර ලෙස අවනම්බු කර ඇත. දූෂණය පිටුදැක්මට අවංක නිලධාරීන් ඉදිරිපත්වන්නේ කෙසේද යන්න මෙම ස්ථානාධිපතිගෙන්ම විමසිය යුතුය...
මෙම පොලිස් නිලධාරියා අවංක නිලධාරියෙක් සහ කොටි ත්‍රස්තවාදීන් විසින් වසර ගණනාවක් තිස්සේ හිරකරගෙන ඉඳලා ඉන් බේරිලා ආපු නිලධාරියෙක්. මේ මනුස්සයා වැලි ටිපර් එක අල්ලන් ඇවිත් පොලිසියට ගෙනාවම පොලිස් ස්ථානාධිපති මේ මනුස්සයාට කුණු හරුපෙන් බැනලා. අන්තිමට වැලිටිපර් කාරයත් මේ නිලධාරියට පහත් අන්දමින් සරදම් කරමින් බැනලා. මේ තොරතුරු මට කීවේ අපේ පිරිවෙන ලඟ පොලිසිය නිසා. පොලිස් නිලධාරියාට සාධාරණය ඉටු කරන්න ඔබ කටයුතු කරන්න. අහිංසක දරු පවුල් කාරයෙක්. තෙරුවන් සරණයි...
පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ගරාජවලින් මුදල් ලබාගනී. කවුරුත් කතා නැහැ.
දිවි නසා ගැනීමට උත්සාහ කළා කියල සැරයන්වරයා අත්අඩංගුවට ගන්න. ස්ථානාධිපතිවරයා වහාම වැඩ තහනම් කරන්න. පොලිසියේ නාමය බේරගන්න.
ලොක්කගෙම ගෝලයෝ නිසා නීතිය නමනවා.
ලංකාවේ පොලිසියෙන්මයි කුඩු, ගංජාකාරයින්ව ආරක්ෂා කරන්නේ... වගකීමෙන් කියන්නේ ලංකාවේ හොඳ පොලිස් නිලධාරියෙක් ඉන්නවා නම් කියන්න.
මේ දවස්වල පොලීසියේ ඉහල නිලධාරීන් ගැන අහන්න ලැබෙන්නෙත් ඉතා නරක දේවල්.
සැරයන්වරයා ලොකු වරදක් කරලා තියෙන්නේ බලපත් නැති වැලි ලොරියක් අත්අඩංගුවට අරගෙන. ලංකාවේ ක්‍රමවේදයට මේවා සම්පූර්නෙන් විරුද්ධ රාජකාරි, නැද්ද??
වැලිහිමියාගෙන් හොඳ කුට්ටියක් කන්න ඇති... ඒ කුට්ටියෙන් දරු පවුලට කන්න බොන්න දෙන්නත් ඇති... ලැජ්ජයි නේද? මෙහෙම නිලධාරීන්ට නේද අර පොලිස් කොමිසම උසස්වීම් දෙන්න කියා පොලිස්පතිට තර්ජනය කළේ...?
වැරදිකරු එළියෙ, නිවැරදිකරු ඇතුලෙ, හරිම සාමාන්‍ය සිද්ධියක්. පත්තරේ දාන්නවත් අවශ්‍ය නෑ. තව සති දෙකකින් කොස්තාපල් මහතා මානසික රෝගියෙක් වෙයි. මම මාධ්‍යයයෙන් ඉල්ලන්නෙ එවැනි දෙයක් ප්‍රකාශ වුනොත් කිසිම මාධ්‍යයක් ඊට ප්‍රචාරය නොදීමට එකාවන්ව තීරණය කළ යුතුයි කියල.
බලපත්‍ර ඇතැයි කීම පිලිගන්න අමාරුයි. සාධාරණ පරීක්ෂණයක් සිදුවේවා.
පාරේ යන මිනිස්සුන්ට අවවාද කරලා නිදහස් කිරීමක් පොලිසියෙන් කරන්නෙම නැහැ. පොලිසියේ පොඩි අය නැති වැරදි සොයලා දඩ කොලයක් දෙනවා. වැලි ලොරියක් ඇල්ලුවනම් ඉහලින් කියනවනම් නිදහස් කරන්න කියලා ඊට ඉහලින් යන්නේ කොහොමද? ඕනෙවට වඩා තමන් ගැන හිතන්න ගිහාම අවැඩක් වන්නේ තමන්ටම තමා. දැන් ඉතින් පේනවනේ වෙලා තියෙන වැඩේ .
අපේ රටේ ස්වාධීන කොමිෂන් සභා වලින් ටිකක් හරි ක්‍රියාකාරී තත්ත්වයේ තිබුණෙ පොලිස් කොමිසම විතරයි. ඒත් දැන් සීමාව (ආණ්ඩුවේ කාලය) =(අවුරුදු 5) , (පොලිස් කොමිසම)=(මැතිවරණ කොමිසම) ගණිතමය සමීකරණය ව්‍යුප්පන්න වෙන්න වගෙයි යන්නෙ.
නීතිය ගලන ගඟුලකි......... එහි නොමැත නැමී කාරිය කරන කාටත් එය සමව ඇතී........... ධම්මෝ බවේ රක්ඛති