(ජේ.කේ.එල්චාමින්ද)

 
වෛරස්  ආසාදනය වීමෙන් මියගිය කුඩා දරුවන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විම තුළින් වෛරස් සම්බන්ධව වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් ලබාදි ඇති තොරතුරුවලට එහා ගිය දෙයක් අනාවරණය කරගැනිමට නොහැකිවනු ඇති බව කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි පෙරේරා මහතා පවසයි.


ඒ නිසා සායනික මට්ටමින් මරණයට හේතුව තීන්දු කර මළ සිරුරු නිදහස් කිරිම  වඩා සුදුසු බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. වෛරස් ආසාදනයට ලක්වීමෙන් මියගිය කුඩා දරුවන්ගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ නොපවත්වා නිදහස් කිරිම සම්බන්ධව අප කළ විමසුමකදී හෙතෙම මේ බව සඳහන් කළේය.


වෛරස් රෝගී තත්වයකින්  මිය යන අයගේ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීම තුළින්  මරණයට හේතු වු වෛරසය සම්බන්ධව  ලොකු දෙයක්  අනාවරණය කරගත නොහැකි බව පවසන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එවැනි පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීම අවදානම් සහගත බවද පැවසීය.


ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හා රුධිරයේ සමහර සංඝටකවල වෙනස්කම් පශ්චාත් මරණ පරික්ෂණයක්  පැවැත්විම තුළින් සොයා ගත නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි.පෙරේරා මහතා මෙසේද කිවේය. 


වෛරස් ආසාදනයට ලක්වු අයගෙන් ජිවත්වෙලා සිටින විටදි ලබාගන්නා සාමිපල් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කරනවා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා අපටත් කරන්න පුළුවන් මියගිය පසු ඒ සාම්පල් අරගෙන වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරිමයි.  


ඊට එහා වෙනස් දෙයක් කරන්න බැහැ. නමට පමණක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේවාට කියන්නේ අවදානම් සහගත මරණ පරික්ෂණ කියලා.  සමහර වෛරස මියගිය පසුත් මියගිය අයගේ සිරුරේ තිබෙනවා. ඉතා ඉහළ ආරක්ෂක තත්වයන් යටතේ. වෛරස් වලින් මිය යන අයගේ පශ්චාත් මරණ පරික්ෂණ ඉතා ප්‍රවේශමෙන් කරන්න ඕනෑ. 


නැතිනම් පශ්චාත් මරණ පරික්ෂණය කිරිම තුළ වෛරසය පැතිරෙන්න පුළුවන්. වෛරසය ශරිරය තුළදී විනාශ වෙලා නැත්නම් පශ්චාත් මරණ පරික්ෂණය කිරිමේ දී සිරුර විවෘත කරනවා. එවිට අවට පරිසරයට  වෛරසය පැතිරිමේ  අවදානමක් තියෙනවා . එහෙම නම් වෛරසය ගැන කලින් දැනගෙන ඉන්න ඕනෑ. එහෙම නැතිව පශ්චාත් මරණ පරක්ෂණ කරන්න බැහැ.