නාලක සංජීව දහනායක
ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විපක්‍ෂනායක ධූරය ඉල්ලීම පිළිබඳව හෙට (6) සවස පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ ප‍්‍රධානීන්ගේ රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජනාත නිදහස් සන්ධානයේ ප‍්‍රධාන ලේකම්,කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය.
විපක්‍ෂනායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන හා කුමාර වෙල්ගම යන මහත්වරන්ගේ නම් යෝජනා කළ ලිපි දෙකක් තමන්ට ලැබී තිබෙන බවද මහලේකම්වරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධූරය ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අට දෙනෙකු අත්සන් කළ ලිපියක් කථානායකවරයා තමන්ට යොමුකර තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා විපක්‍ෂනායක ධූරය සඳහා කුමාර වෙල්ගම මහතා පත්කරන ලෙස ඉල්ලමින් පළාත් පාලන සංසදය විසින් තවත් ලිපියක් යොමුකර තිබෙන බවද කීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අට දෙනෙකු යනු පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී කණ්ඩායම නොවන බවත් විපක්‍ෂනායක ධූරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ පිල්බෙදීමක් නිර්මාණය වී ඇතැයිද සන්ධාන මහලේකම්වරයා පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධූරය ලැබිය යුතු බවට දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උයද ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජෝන් සෙනෙවිරත්න සහ සුසිල් පේ‍්‍රමජයන්ත මහත්වරුන් අත්සන් තබා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
COMMENTS
ඒකාබද්ධය කීවට ඕකේ ඉන්න බොහොම දෙනෙක් ආණ්ඩුවේ පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් නේද? එක පක්ෂයක සාමාජිකත්වය තියාගෙන තවත් පක්ෂයක් ප්‍රවර්ධනය කරවීමට කටයුතු කරන අයට විනය පරීක්ෂණ පවත්වන්නේ නැතිව කට මැත දෙඩවීමෙන් කිසි ඵලක් වෙන්නේ නැහැ. එක්කෝ දොන් නැත්නම් ජුවන්. මේ දෙකම තියාගෙන ඒවා ගණන් ගන්නේ නැතුව ආණ්ඩුවේම පාර්වයක් අමාරුවේ දාන්න ක්‍රියා කරන එක නිසා නේද මේ සේරම මැල්ලුමක් වෙලා හිට්ලර්ලගේ ජුන්ටාවක් බලයට එන්න ඔන්න මෙන්න වෙලා තියෙන්නේ....
පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න (මන්ත්‍රී වැටුප්, කෑම, මන්ත්‍රී පැමිණීමේ දීමනා) දිනකට රුපියල් කෝටි ගණනක් වියදම් වෙනවා. කරුණාකර පාර්ලිමේන්තුවේ කාලය මේ වගේ බොරු නිෂ්ඵල දේවලට නාස්තිකාර අපේ බදුසල්ලි විනාශ කරන්න එපා. මෙතුමා සංධානයේ පාර්ශවකරුවෙක් නම් කොහොමද විපක්ෂයේ නායකකම දෙන්නේ? එහෙම නම් මුළු සංධානයම විපක්ෂයට යන්න ඕනේ... කොච්චර වාදවිවාද කළත් ප්‍රතිඵලයේ එකයි...
මේක මුල ඉඳලම කළ සැලසුම් සහගත බොරුවක් බව දැන් හොඳටම පැහැදිලියි. විපක්ෂ නායකධුරය තමන්ට හිමි බව සිතනවා නම් එය ලබාගන්න අවංකව උත්සාහ කරනවා නම් ඔය ඒකාබද්ධ විපක්ෂය කියාගන්නා කණ්ඩායම ඒ සඳහා යෝජනා කරන්නේ මහින්ද රාජපක්ෂගේ නම බව ඉතා පැහැදිලි වන අතර එසේ හැකියාවක් හෝ උවමනාවක් නැති නිසා තමයි දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනා කරන්නේ. ඒ විතරක් නොවේ තමන්ට මන්ත්‍රීවරු හැත්තෑ ගණනක් ඉන්නවා කියන ඒකාබද්ධයේ විපක්ෂ නායකධුරය වැනි වැදගත් තනතුරකට අයිතිය ඉල්ලා යවන ලිපියට අත්සන් කරන්නේ අට දෙනෙකු පමණක් වීමම මේ කුමන්ත්‍රණය පැහැදිලිව අවබෝධ කරගත හැකි සාධකයක් වන අතර කථානාකවරයාට විපක්ෂ නායක ධුරය පිළිබඳව පහසුවෙන් තීරණයක් ගැනීමට මෙය ඉවහල් වනු ඇත. වරක නිමල් සිරිපාල අගමැති තනතුරටත් තවත් වරක් දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායකධුරයටත් නම් කරමින් විපක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් අපහසුතාවයටත්, අවමානයටත් පත් කරමින් කරන මේ දේශපාලන කුමන්ත්‍රණයේ අර්ථය වන්නේ ඔටුන්න හිමි කුමාරයාව රජ කරවන්න ඇති බාධක ඉවත් කිරීමක් හැර වෙන යමක් නොවේ.
විපක්ෂ නායකකම දිනේෂ් ඇතුළු ඒකාබද්දෙ වෙත යෑමෙන් රටට කිසිදු යහපතක් නෙවේ. නැවතත් ජාතිවාදීන්ගේ හඬ ඉස්මතුවිම පමණක් සිදුවනු ඇත. රජය කරනු ලබන කිසිදු මහජන විරෝධි කටයුතු වලදි ඒකාබද්දය නියාමානුකූල තර්කයක් පාර්ලිමේන්තුව තුල සිදු නොකරයි. අඩුම ගණනේ දෙමල ජාතික සන්ධානය රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිලීගනිමින් විපක්ෂ නායක කමේ පිහිටුවීම ජාතික අතින් වැදගත්ය
1893 දි ජේ ආර් අමර්තලිංගම් මහතාගේ ද්‍රවිඩ එක්සත් පෙරමුණ පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමෙන් යහපතක් සිදු වුනාද
විපක්ෂ නායකකම අරගෙන රටට සේවය කරන්න මෙච්චර වුවමනාවක් තිබෙනවා නම් ඒකාබද්ධ විපක්ෂය කියාගන්න මන්ත්‍රීවරු කණ්ඩායම ශ්‍රීලනිපෙන් ඉවත් වෙලා දිනේෂ් ගුනවර්ධනගේ පක්ෂේ , විමල් වීරවංශගේ පක්ෂේ සහ පිවිතුරු හෙළ උරුමය සමග සන්ධානෙන් ඉවත් වෙලා වෙනමම සන්ධාන ගත වෙන්න ඕනේ, එහෙම වෙලා පාර්ලිමේන්තුවේ විපක්ෂේ බලය පෙන්වල නායකකම ගන්න ඕනේ, එහෙම කරන්න බැරිනම් නිකම් බොරුවට කාලය කන්නේ නැතුව නිහඩ වෙන්න