(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
වාද්දුව වෙරළ පාරේදී අද (7) යුක්රේන් ජාතික මවක් (40), දියණියක් (18) හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් රියැදුරු ඇතුළු සිව් දෙනාම තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.


බරපතල තත්ත්වයේ පසු වූ මව හා දියණිය  ඉන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.


කලුතර සිට කොළඹ බලා දුම්රිය ගමන් කිරීමේදී ගොඩබිම සිට වෙරළ දෙසට මෝටර් රථය ගමන් කර ඇතැයි පොලිසිය කියයි. 


මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් මීටර් 50ක් පමණ ඈතට ඇදී ගොස් පෙරළී ඇතැයි පොලිසිය පවසයි.


අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව භාරකරු නොසිටි බව මෝටර් රථ රියදුරු පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.