(ටෝනි කරුණානායක)


ගම්පහ රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තබා පහරදී තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයා ඇතුළු සැකකාර යුද හමුදා සාමාජිකයන් සිව්දෙනාට විරුද්ධව ඇති නඩුව ගම්පහ මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා විසින් අද (10) ලබන වසරේ ජනවාරි 04 දක්වා කල්තැබීය.


එම නඩු ගොණුවේ උධෘත නීතිපති උපදෙස් පැතීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් මෙතෙක්  අදාළ උපදෙස් ලැබී නැතැයි පැමිණිල්ල මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා එම නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයට පැවසීය.


2013 වර්ෂයේ අගෝස්තු 01වැනිදා වැලිවේරිය නගරයේ සිදුකළ වැඩි තැබීම් හා පහරදීමේ චෝදනා මත ඇප ලබා සිටින බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සැකකාර යුද හමුදා සාමාජිකයන් සිව්දෙනා අද(10) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියහ. නැවතත් ජනවාරි 04 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට ඔවුන්ට නියම කෙරුණි.