(ටෝනි කරුණානායක)

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින ‘ටගරා‘ සමඟ එක්ව හෙරොයින් ජාවාරම් කළැයි කියන මහර බන්ධනාගාර නියාමක ඇතුළු සැකකරුවන් 04 දෙනා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (17) නියම කළේය.

හෙරොයින් ග්‍රෑම් 05 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ මහර බන්ධනාගාර නියාමක උඩුගම්පොළ ගොයිගම පදිංචි ඉෂාර ඉසාන් හෙට්ටිආරච්චි , දොරනාගොඩ පදිංචි කේ.එච්.සචින් රමේෂ් , කොරසේ පදිංචි කරුවන් වන දිනේෂ් රොෂාන් ප්‍රියදර්ශණ හෙවත් කොයියා සහ එන්.දනුෂ්ක ලක්මාල් යන සැකකරුවන් සිව්දෙනෙකුව මෙසේ නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සැකකරුවන් සිව්දෙනා සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 13 යි මිලි ග්‍රෑම් 200 ක් තිබූ බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

සැකකරුවන් සිව්දෙනාගේ බැංකු ගිණුම් සහ ජංගම දුරකථන විශ්ලේෂණ පරික්ෂා කරමින් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බව පැමිණිල්ල මෙහෙයවමින් වේයන්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක එච්.එන්.ඩබ්ලිව්.පද්මසිරි මහතා අධිකරණය හමුවේ පැවසීය.

සැකකාර බන්ධනාගාර නියාමකවරයාට අයත් බැංකු ගිණුම් සහ දේපල  සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළ අතර ඉන් අනතුරුව සැකකරුට විරුද්ධව මුදල් විසුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණය හමුවේ නඩු පවරන බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.