( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මුතුරාජවෙළ අභය භූමියට කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීමක් සිදු කිරීමෙන් කොළඹ මහනගර සභාව හා නාගරික කොමසාරිස් ඇතුළු බලධාරීන් වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ කරුණු සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු බලධාරීන්ගේ උපදෙස් ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කල් ලබා දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා කළ ඉල්ලීමකට අනුව  ලබන මස 20 වැනිදා තෙක් ඒ සඳහා කල් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී.

මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීමට එරෙහිව වත්තල ප‍්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (14) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස කල් ඉල්ලා සිටියේය.

අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් , අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

වත්තල, මුතුරාජවෙල රක්ෂිතය ආසන්නයේ පදිංචිකරුවන් 35 දෙනෙකු මෙම පෙත්සම ගොනු කරනු ලැබ සිටිති.

කොළඹ මහ නගර සභාව ,එහි නාගරික කොමසාරිස්වරයා , නාගරික සංවර්ධන අධිකාරිය , මධ්‍යම පරිසර අධිකාරිය , වත්තල ප‍්‍රාදේශීය සභාව ,කෘෂිකර්ම දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල්වරයා .වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ,වාරිමාර්ග දෙපොර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ,වත්තල සහකාර ප‍්‍රාදේශීය ලේකම් ,භූවිද්‍ය හා පතල් කාර්යාංශය සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.