(තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මීතොටමුල්ල ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට හා දිවි පැවැත්මට තර්ජනය වන අන්දමින් කුණු කන්දක් පවත්වාගෙන යාමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අතරමැදි වීම සඳහා ඒකල ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසකට අද ශ්‍රේෂඨාධිකරණය  අවසර   දුන්නේය.

මෙම පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවෙකු වීම සඳහා ඒකළ ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසෙක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය සුනිල් කුරේ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම අවසරය ලබා දෙන ලදී.

මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්දක් පවත්වාගෙන යාමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවූ අතර එහිදී මෙම අවසරය ලබා දෙන ලදී.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන කුණු කන්ද ජා ඇල ඒකළ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට බැහැර කිරීම සම්බන්ධව විරෝධය පළ කරමින් ඊට සම්බන්ධ වීමට ඒකළ ප්‍රදේශයේ ගම්වාසීන් අධිකරණයෙන් අවසරය ඉල්ලා සිටියේය.

එසේම පෙත්සම සම්බන්ධයෙන් වන වැඩිදුර විභාගය ලබන ජූනි 23 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.