(ශිරාන් රණසිංහ)
 
අලූතින් දුම්රිය මැදිරියක් මිලදී ගැනීමට රුපියල් මිලියන 60ක් වැයවන නිසා රුපියල් බිලියන 200ක මුදලක් වැයකර භාවිතයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි දෙසීයක් අලූත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව අරඹා තිබේ.


මෙම ව්‍යාපෘතිය පෞද්ගලික සමාගමක් විසින් සිදුකරන අතර මේ වනවිටත් දුම්රිය මැදිරි 30 ක් නවීකරණය කර දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.


තවත් දුම්රිය මැදිරි හැටක් නවීකරණය කරමින් තිබෙන අතර නවීකරණය කළ දුම්රිය මැදිරියක් වසර පහළොවක් පමණ භාවිත කළ හැකි යැයි එම සමාගම වගකීම් සහතිකයක් ලබාදෙමින් කියා ඇත.


මෙම දුම්රිය මැදිරි නවීකරණය කටයුතුවල ප‍්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (17)  දෙමටගොඩ ආරාම පාරේ පිහිටි අංගනය වෙත පැමිණියේය.


මෙම නවීකරණ ව්‍යාපෘතිය යටතේ දුම්රිය මැදිරි 200ක් නවීකරණය කරන අතර ඒ සඳහා රුපියල් බිලියන 2.4ත මුදලක් පසුගිය අයවැයෙන් ලබා දී ඇත. අංගන නවීකරණය කළ පසු තිරිංග සහ ස්වයංකී‍්‍රය ඇමුණුම් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරේ.