තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට හා රහස් පොලීසි අධ්‍යක්ෂවරයාට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් පරීක්ෂණයක් සිදු කරන බැවින් පෙත්සම මඟින් ඉල්ලා ඇති සහනය ලැබී තිබේය යන පදනම මත මෙම පෙත්සම විභාගය නිෂ්ප්‍රභා කෙරිණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවිණි. මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ පෙත්සමින් ඉල්ලා ඇති සහන වලට අදාළව පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බවය.
ඒ අනුව ඉල්ලා සිටි සහනය ලැබී ඇතියි පදනම මත පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවය කැමැත්ත පළ කළ අතර එම අවසරය මත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම් විභාගය නිෂ්ප්‍රභ කරන ලදී.

COMMENTS
මේ රදවියෝ නිකම්ම කතා කරමින් ඉදිද්දී වෙඩි තියල මරුනේ නැහැ. මොවූන් බන්ධනාගාර නිලධාරින්ට පහර දීල ආයුධ රැගෙන වහලෙට නැගල අරගලයක් කරමින් ඉදිද්දී , පොලිසියට පාලනය කරන්න බැරි උනාම තමයි, හමුදාව ඇවිත් මේ සිදුවීම උනේ. මේ මැරුණු උදවිය නිකම්ම රිමාන්ඩ් බාරයේ හිටපු උදවියත් නෙමෙයි.
මේ පුවතේ හෙඩිම නිවැරදි නැහැ . නඩුව ඉවත දැම්මා කියන්නේ පැමිණිල්ලෙන් කියා සිටින හෝ බලාපොරොත්තු වෙන දේවල් නීතිය පිලි නොගන්නා බවත්, ඒ අනුව තවදුරටත් නඩුව පවත්වාගෙන යාමට පදනමක් නැති බවයි . නමුත් මේකේ පැමිණිල්ලෙන් ඉල්ලා සිටිය දේවල් නඩු තීන්දුවටත් පෙර ලබා දීලා තියන නිසා නඩුව දිනුවා කියලා සැලකිය හැකියි .