( ශාන්ත රත්නායක )

පළාත්  පාලන ආයතන  ඡන්ද  විමසීමේ (සංශෝධනය ) පනත් කෙටුම්පතට අද (31) කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අත්සන් තැබීය.

එහිදී කථානායකවරයා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අද ඓතිහාසික අවස්ථාවක් බවයි.

“තම කොට්ඨාසයට, ප්‍රදේශයට,ආයතනයට වගකියන මනාප පොරයෙන් බැහැරව මහජන නියෝජිතයින් පත් කිරීමට හැකි පනතක් අද සිට බලාත්මක වෙනවා. සමාජයෙන් මේ කරුණට විශාල හඬක් නැගුණා. ආගමික නායකයින්, දේශපාලනඥයින් මෙන් ම සිවිල් සමාජය ද මේ ගැන දැඩි මතයක් දැරුවා.මනාප ක්‍රමය නිසා මුළු දේශපාලන සංස්කෘතියම විකෘති වුණා.“

“පළාත් පාලන පනතට ගෙන ආ මෙම සංශෝධනය සම්මත වූ මොහොතේ සිට එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර සම්පූර්ණ කරන ලෙස ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇතුළු බොහෝ පක්ෂ ප්‍රධානීන් වගේම මැතිවරණ කොමිෂන් සභාපතිතුමන් ඉල්ලා සිටියා. ඒ අනුව අප හැකිතරම් ඉක්මනින් ඊට අවශ්‍ය පියවර ගත්තා.මෙය සෑහෙන කාලයක් පුරා මේ සමාජය අපේක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි පියවරක්.“

“මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදි හඳුනා ගන්නා අඩුපාඩු පිළිබඳවත් අවබෝධයෙන් යුතුව ඉදිරි මැතිවරණවලටත් මෙය ආදේශ කළ හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මින්පසු සාමාන්‍යය ගොවියකුට, ගුරුවරයකුට මහා ධනස්කන්ධයක් නොමැති සැබෑ පරාර්ථකාමී සමාජ සේවකයකුට මහ ජනතතාවට සේවය කරන්න ඉඩ ලැබේවි.මේ ආරම්භ කරන දේශපාලන ගමන පළාත් සභාවට, පාර්ලිමේන්තුවට, අරලිය ගහ මන්දිරයට හා රජ ගෙදර දක්වා යෑමට අවස්ථාව ලැබේවි. “