IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පර්පෙචුවල් ට්‍රෙෂරීස් දුරකතන සංවාද මැකුවාට ඇලෝසියස් පලිසේන ඇතුළු 5 ක් සැකකරුවෝ

(නිමන්ති රණසිංහ)

ජනාධිපති බැඳුම්කර වංචා විමර්ශන කොමිෂන් සභාවේ නියෝග පරිදි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබාදුන් එම සමාගමට අයත් දුරකතන සංවාද ඇතුළත් ඩීවීඩී තැටිවල ඇතැම් සංවාද මකා දමා විනාශ කළැයි කියන සිද්ධියට එම සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පලිසේන, හිටපු ප්‍රධාන ගැනුම්කරු වූ නුවන් තිලිණ සල්ගාදු සහ හිටපු තොරතුරු තාක්ෂණ නිලධාරී සජිත් මධුසංඛ දේවතන්ත්‍රී යන පස්දෙනා එම සිද්ධියේ සැකකරුවන් ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය විසින් ඊයේ නම්කරනු ලැබූහ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ එම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සමාගමේ හිටපු ප්‍රධාන ගැනුම්කරු නුවන් තිළිණ සල්ගාදු සහ එහි හිටපු තොරතුරු තාක්ෂණ නිලධාරි සජිත් මධුශංක දේවතන්ත්‍රි යන දෙදෙනා රජයේ සාක්ෂිකරුවන් ලෙසට කැඳවීමට අපේක්ෂා කරනු ලබන බවය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව ඔවුන් දෙදෙනාට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් පස් දෙනකු අධිකරණය වෙත නම්කරනු ලැබ තිබූ අතර, පළමුවැනි සැකකරු ලෙසින් පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගම නම් කර තිබිණි. 

පර්පෙචුවෙල් ටේ‍රෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පලිසේන, එම සමාගමේ හිටපු ප්‍රධාන ගැනුම්කරු වූ නුවන් තිලිණ සල්ගාදු සහ එහි හිටපු තොරතුරු තාක්ෂණ නිලධාරී සජිත් මධුසංඛ දේවතන්ත්‍රී යන අයවලුන් එහි අනෙක් සැකකරුවන් හතර දෙනා ලෙස නම් කර තිබිණි.

මෙම සිද්ධියට අදාළව මෙවැනි නඩුවක් පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොමැති බවට ඉදිරියේදී මූලික විරෝධතාවක් ඉදිරිපත් කරනු ලබන බව සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු කියා සිටියහ.
මෙම දුරකතන සංවාද සහිත ඩීවීඩී තැටිවල ඇතුළත් ඇතැම් සංවාද විකෘති කර හෝ මකා දමා ඇත්තේ පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කසුන් පලිසේන, එම සමාගමේ ප්‍රධාන ගැනුම්කරු වූ නුවන් තිළිණ සල්ගාදු සහ එහි තොරතුරු තාක්ෂණ ප්‍රධානී සජිත් දේවතන්ත්‍රී යන අයවලුන් බවට හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා එම සමාගම් සමූහයේ සභාපතිවරයා වූ අර්ජුන් ඇලෝෂියස් යන අය අනුබල දී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළාය.

අධිකරණ නියෝග ප්‍රකාරව 2018 පෙබරවාරි මස 02 වැනිදා සිට පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දී ඉදිරිපත් වූ අදාළ ඩීවීඩී තැටි එහි ලේකම්වරයා විසින් මුද්‍රා තබා භාරදෙන ලද ඩීවීඩී තැටි අටක් සහ මෙට්‍රොපොලිටන් ආයතනයේ රොෂාන් තිසේරා යන අය විසින් බාරදී තිබූ පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ පරිගණකයෙන් ඉවත් කරන ලද පරිගණක දෘඩ තැටිය සහිත මධ්‍ය සැපයුම් ඒකකයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු භාණ්ඩ වශයෙන් ඉකුත් නඩු දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

එසේම, ජනාධිපති කොමිසමේ ලේකම්වරයා මගින් පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ අනුකූලතා නිලධාරී විජයවදනී යේසුදාසන් මහත්මිය විසින් ලබාදී තිබූ දුරකතන සංවාද ඇතුළත් ඩීවීඩී තැටි 04ක්, 2017 අගෝස්තු මස 02 වැනි දින පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු වූ නුවන් තිළිණ සල්ගාදු විසින් ලබා දෙන ලද දුරකතන සංවාද හඬ ඇතුළත් ඩීවීඩී තැටි 04ක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් නඩු දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

අදාළ ඩීවීඩී තැටි සහ දෘඪ තැටිය සහිත මධ්‍ය සැපයුම් ඒකක රජයේ සැකකටයුතු ලේඛන පරීක්ෂක වෙත යොමුකර තිබූ අතර එම වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් සඳුහන් කළාය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියේ හතරවැනි සහ පස්වැනි සැකකරුවන් දෙදෙනාට එක් අයකුට රුපියල් ලක්ෂ තුන බැගින් ශරීර ඇප නියම කරමින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළේය. 

අධිකරණය ඔවුන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ලබා දෙන ලෙසටද ඇප කොන්දේසියක් නිකුත් කළද සිය ගමන් බලපත්‍රය බාරදීමට පස්වැනි සැකකරු වූ සජිත් මධුසංඛ දේවතන්ත්‍රි අපොහොසත් වූ බැවින් ඔහු රක්ෂිත භාරයට රැගෙනු යනු දක්නට ලැබිණි.

මෙහි දෙවැනි සහ තෙවැනි සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් සිදු නොකළ බැවින් ඔවුන් රක්ෂිත භාරයේ තැබීමට නියෝග කළ අධිකරණය එදින තෙක් මෙම නඩුව කල් තැබීය.

 



අදහස් (1)

පර්පෙචුවල් ට්‍රෙෂරීස් දුරකතන සංවාද මැකුවාට ඇලෝසියස් පලිසේන ඇතුළු 5 ක් සැකකරුවෝ

anula Friday, 03 August 2018 11:08 AM

වරදකරුවන්ගේ පරම්පරවලම තියෙන දේපල රාජසන්තක කරලා ජිවිතේ අන්තිම දක්වාම හිර කරන්න ඕන බරපතල වැඩ ඇතුව......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site