ත්‍රස්තවාදී න් විරුවන් ලෙස සමරන පිරිස් ත්‍රස්තවාදින්ගේ  මිලේච්ඡ ක්‍රියාවල වගකීම දැරිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, කොටි ත‍්‍රස්තවාදීන් විසින් සිදු කළ අරන්තලා භික්ෂූ ඝාතනයට වසර 31 ගතවීම සහ දිඹුලාගල සීලාලංකාර නාහිමි අපවත් කර 23 වසරක් ගතවීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ පුණ්‍යානුමෝදනා පිංකමකට සහභාගී වෙමිනි.

මෙම පිංකම මහරගම වත්තේගෙදර ශ‍්‍රී ප‍්‍රඥානන්ද මහ පිරිවෙනේදී පැවැති අතර එහිදී ඔසුපැළ සිටුවීම, චීවර පූජාව, ශිෂ්‍යත්ව ප‍්‍රදානය, ගුරු උපහාර පිදීම, සැමරුම් දෙසුම් සහ පිරිවෙන් විභාගය සමත් හිමිවරුන් 05 නමක් සඳහා පොත් කට්ටල ලබාදීම ද සිදු කෙරුණි. 

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘මට මතකයි මම පාසැල් යන අවධියේ දවස පත්තරේ දැක්කා නැගෙනහිර පළාතේ පොළොන්නරු ප‍්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එම කාලයේ මැති ඇමතිකම් දැරූ බලගතු දේශපාලනඥයින් පිරිසකට තමන්ගේ කුඩයෙන් පහරදී පළවා හැරිය පුවතක්. මේක දැක්කහම ඒ කාලයේ ඇතිවූ තිබූ දේශපාලන වාතාවරණයත් සමග අපි පුදුම උනා.

ඒ වගේම මේ වගේ අභීත තත්වයක් දේශපාලන බලය ඉදිරියේ හිස නමන්නේ නැතිව අභීත විදියට හැසිරුණු ඒ ස්වාමීන් වහන්සේ කවුරුන්ද යන වගට හඳුනාගැනීමේ අවශ්‍යතාවයක් තරුණ අපට දැනුනා.

නමුත් අපට ඒ කාලවකවානුවලදී අවස්ථාව උදා වුණේ නැහැ. පසුව උන් වහන්සේ දැන හඳුනාගැනීමට අවස්ථාව උදා වුණා. අවාසනාවකට දැන හඳුනාගෙන ඉතා කෙටි කලක් ඇතුළත උන් වහන්සේ අපවත් කරනු ලැබුවා. ඒ අපේ දිඹුලාගල සීලාලංකාර නායක ස්වාමිපාදයන් වහන්සේ. ඇත්තටම ඒ දිඹුලාගල විහාරස්ථානවල වැඩවාසය කරන සෑම ස්වාමීන් වහන්සේ නමක්ම අපි හොඳින් හඳුනනවා. ඒ වගේම මේ ප‍්‍රදේශයේ උන් වහන්සේලා කළ මෙහෙවරත් අප හොඳින් දන්නවා.

 

උන් වහන්සේගේ අපවත් කිරීම මේ ත‍්‍රස්තවාදයේ කි‍්‍රයාවලිය විශේෂයෙන්ම සාම සාකච්ඡුා කර කර සිටියේ ඒ කාලයේ තමයි උන් වහන්සේව අපවත් කෙරෙව්වේ. ඒ දවසේ ඒ සඳහා සම්බන්ධ වූ පිරිස් ජයපැන් බොන්න ඇති. මොකද ඒ ප‍්‍රදේශයේ මාදුරුඔය දකුණු ඉවුරේ අපේ ජනතාව පදිංචි කරවා ගම්මාන ඇති කරලා ඒ ප‍්‍රදේශය ජනාවාසකරණයක් ඇති කරන්න කැප වූ අපේ ස්වාමීන් වහන්සේ ඉවත් කළා. දැන් ඒ ජනාවාස එතනින් ඉවත් වෙයි.

තමන්ට එම ප‍්‍රදේශ සුදුසු අයුරින් පාලනය කරන්න පුළුවන් වෙයි කියලා ඒ ත‍්‍රස්තවාදීන් කල්පනා කරන්න ඇති. නමුත් මට මතකයි අපේ දිඹුලාගල නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන උත්සවයට සහභාගී වෙලා ආපසු එන අතරේ අපේ ව්‍යාපාරික පිරිසක් එක්රැස් වෙලා කතිකාවක් කර ගත්තා අපි මේකට එරෙහිව නැගී හිඳින්න  ඕනෙයි කියන එක. ඒ කෝට්ටේ සූරියගුණසේකර මහත්මයාගේ නිවස. ඒ සඳහා අපේ බී.ඒ. මහීපාල මහත්මයා, මහරගම ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙන හීනටිගල මහත්මයා. ඞී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ රාජපක්ෂ මහත්මයා, ටොයොටා ලංකා ආයතනයේ සුරේන් අබේගුණසේකර මහත්මයා වැනි බලගතු ව්‍යාපාරික මහත්වරු ගණනාවක් එකට එකතු  වී වීරවිදහන නමින් වූ ආයතනය පිහිටෙව්වා. හුඟ දෙනෙක් ඒ ගැන වැරදි මත තිබුණත් එම ආයතනය පිහිටුවා කළ පළවෙනි පිංකම තමයි අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන්  ඒ දුගී ගොවියන්ගේ වී මිලදී ගැනීම සඳහා බැංකුවක් පිහිටුවා ඒ වී මිලදී ගැනීම ආරම්භ කළා.

ඒ නිසා ඒ ප‍්‍රදේශයේ වී විකුණා ගන්න බැරිව වහ බිව් ගොවියන්ට එමගින් විශාල ශක්තියක් සහනයක් ලැබුණා. අදනම් ඒ පළාත්වල  ඕනතරම් ජාත්‍යන්තර මට්ටමේ සහල් මෝල් තියෙනවා. ඒ නිසා ඒක ඉතාම වැදගත් ඉදිරි පියවරක් උනා.

එය රට පුරාම විශාල ජාතිකානුරාගයක් මේ ත‍්‍රස්තවාදයට එරෙහිව ඇති කළා. ඒක අපි අමතක නොකළ යුතුයි. එමගින් තමයි කවුරු මොනවා කිව්වත් මුල් බිජුවටය ඇතිවුණේ ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා දේශපාලන අධිෂ්ඨානයක්  ඕනේ. ත‍්‍රස්තවාදීන් සමග සාමකාමීව කටයුතු කිරීමේදී ත‍්‍රස්තවාදය හමුවේ පරාජය වෙලා දීන වීම හැර වෙන කිසිදෙයක් නොවන බව පෙනී ගියේ එම අවස්ථාවේදීයි.

 ඒ වගේම අපේ හෑගොඩ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ නම් අපට ඇසුරු කරන්න ලැබුණේ නැහැ. නමුත් උන් වහන්සේ සහ අපේ සාමනේර ස්වාමීන් වහන්සේලා අපවත් කිරීම ඒ කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ හැටියට සිටි අපව විශාල වශයෙන් කම්පනයට පත් කළා.

 අද සිටින වාමාංශික පිරිස එදා සිටියේ ප‍්‍රභාකරන් විමුක්තිකාමියෙක් ඔහුට වෙනම රටක් ගොඩනගන්න දෙන්න  ඕනේ කියන මතයේ. නමුත් අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධියට එල්ල කළ ප‍්‍රහාරය සහ අරන්තලා භික්ෂු ඝාතනයෙන් පෙන්වා දුන්නා එම පිරිස්වලට පවා තර්ක විතර්ක නැතිවී ගියා. මේ ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ කි‍්‍රයා අනුමත කරන්න බැහැ කියා විතරක් නෙමෙයි මෙයට විරුද්ධව අප කටයුතු කල යුතුයි යැයි කියන හැඟීම තදින් සිතුවිලිවල ඇතිවුණා. විශ්ව විද්‍යාල සිසුන් අතර තිබූ රතු සමාජවාදී අදහස් වෙනුවට මේ ජාතික අරගලයට අපි එකතුවිය යුතුයි කියලා විශාල ජාතික ශිෂ්‍ය ව්‍යාපාරයක් ඇතිවුණේ එහි ප‍්‍රතිපලයක් ලෙසයි. එදා තිබූ මාක්ස්වාදී අදහස් වෙනුවට රට ජාතිය ආගම රැක ගත යුතුයි කියලා කියන්න ලැජ්ජා වූ විශ්ව විද්‍යාලවල සිසුන් ඒ සඳහා ඉදිරිපත් වුනේ එදා ඒ අරන්තලාවේ අහිංසක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ඝාතනයත් සමගයි.

එම සිතුවිල්ල කොපමණ අපේ හිත්වල තැන්පත් වුණාද කියනවා නම් මම පරිසර ඇමති හැටියට පත් වූ හැටියෙම කළ මුල්ම දෙයක් තමයි අරන්තලාවේ හිමිවරු අපවත් කළ තේක්ක කැලේ විශාල නා කැලයක් ඉදිකිරීම. අදටත් ඒ ස්මරණ ස්ථානයේ නා කැලයක් පිහිටෙව්වේ විශේෂ කාර්ය බලකායත්, අපේ පරිසර අමාත්‍යාංශයේ වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව. 

ඒ වගේම ඒ ප‍්‍රදේශයේ කුළුකුනාව කඳවුර ඇතුළු ප‍්‍රදේශ එල්.ටී.ටී.ඊ ය විනාශ කලා. ඒ ප‍්‍රදේශවල විශාල වනවගා ව්‍යාපෘතියක් ඒ අපත් කළ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අපි එදා ආරම්භ කළා. එමගින් ලැබූණු අධිෂ්ඨානය මේ රටටම ගොඩක් වැදගත්. අද ත‍්‍රස්තවාදය නැහැ. ත‍්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු නැහැ. ඒ නිසා ප‍්‍රභාකරන්නට වේදිකාවල තඩිබාන්න කට්ටිය ඉන්නවා. නමුත් එදා මේවට කට්ටිය ඉදිරිපත් වුණේ නැහැ.

 මේ සම්බන්ධයෙන් අදහසක් මතයක් තිබුණේ නැහැ. දියවෙලා දෙකට, තුනට නැමිලා හිටපු තත්වයක් තමයි අපි දැක්කේ. ඒ නිසා මේ තත්වය හමුවේ අපේ ස්වාමීන් වහන්සේලා එදා ජීවිත පරිත්‍යාගයෙන් සිදු කළ ඒ කටයුත්ත උන් වහන්සෙලා නිසා තමයි අද ඒ පළාත්වල අපේ ජනගහණය ඉතුරුවෙලා ඉන්නවා නම් යම්කිසි විදිහක ශාසනික සංඛේතයක්වත් ඉතුරුවෙලා තිබෙන්නේ කියන එක අපි හැමදෙනාම පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කළ යුතු වෙනවා.

නැගෙනහිර පළාතේ සියල්ලේම පොලිස් නිලධාරීන් යටත් වූ දවස ජූනි 11. ඒ සියළු දෙනාටම යටත්වීමේ නියෝගය ලැබුණහම ඔය ප‍්‍රදේශයේම වූ තේක්ක කැලයකට ගෙනිහින් තමයි පොලිස් නිලධාරීන් සියළු දෙනාවම ඝාතනය කළේ. ඒ වගේම අපට මතකයි සාමයේ නාමයෙන් තවත් අතිවිශාල වශයෙන් පියවරෙන් පියවර නොයෙක් අවස්ථාවල ත‍්‍රස්තවාදීන්ට නතු වුණා. යටත් වුණා. අපේ ජනාධිපතිවරයෙක් කොළඹ නගරය මැද්දේ ඝාතනය කළා.   තවද ජනාධිපතිනිය ඝාතනය කිරීම සඳහා බෝම්බ පිපිරෙව්වා.

ඒ  වගේම අපේ ශ්‍රේෂ්ඨ විදේශ ඇමතිවරයෙක් වූ ලක්‍ෂමන් කදිරගාමර් මැතිතුමා ඝාතනය කළා. හැබැයි අපි ත‍්‍රස්තවාදයට විරුද්ධව යුද්ධ කරන්න බය උනා. අද ඔය රට බේරගත්තා ආදී වශයෙන් මහා ලොකු කතා පවත්වන හුඟක් දෙනෙක් එදා සාමය රැකීම ගැන තමයි කතා කළේ. තමන්ගේ විදේශ ඇමතිවරයාව ඝාතනය කරලා තිබෙන කොට සටහන් කරන්න  ඕනෙයි කියලා හිතුවෙ නැහැ. ඒ වගේම තමන්ගේ සන්නද්ධ හමුදා ප‍්‍රධානියා හමුදා මූලස්ථානය ඇතුළේ ඝාතනය කරන්න හැදුවහමත් යුද්ධ කරන්න විරුද්ධ වුණා. ඒ වෙනුවට සාමය කරන්න  ඕනෙයි කිය කිය හිටියා. මේ වගේ

දීන වූ සමාජයක අවසානයේ අපි ත‍්‍රස්තවාදය පරාජය කළා. නොයෙක් දෙනා නොයෙක් ආකාරයට මේ ගැන විවරණ ගෙන ආ නමුත් අපේ මේ ගෞරවනීය මහා සංඝරත්නය ඒ වෙනුවෙන් ජීවිත පූජා කළා අධිෂ්ඨානයෙන් කි‍්‍රයා කළා. ඒ අධිෂ්ඨානයෙන් කි‍්‍රයා කළ සෑම දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කළ යුතුයි. මේ රට ඒකීය රටක් හැටියට ඉදිරිය ගෙනයන්න අවස්ථාව ලබාදීම ගැන.

ඒ වගේම යම් යම් අය අද ත‍්‍රස්තවාදීන් සමරන්න කටයුතු කරන අය මතක තබා ගත යුතුයි, ඔවුන් එහෙම කටයුතු කරන කොට ඒ ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ කි‍්‍රයාවල වගකීමත් ඒ සෑම සැමරුමකදීම ඒ අය  දැරිය යුතු බව. ඒ නිසා අපට මේ රටේ එකට ජීවත්වීම අවශ්‍යයි. සහජීවනය අවශ්‍යයි. නමුත් කවුරුන් හරි වෙන්වෙලා යන්න  ඕනෙයි කියනවා නම්. ඒ සඳහා යුද්ධ කරන්න  ඕනෙයි කියනවා නම් පරණ ත‍්‍රස්තවාදී ම්ලේච්ඡු කි‍්‍රයා වීරාභිවාදනයට නංවනවා නම් අපටත් සිදුවනවා ඒ අනුව පියවර තබන්න. ඒ නිසා මා හිතන්නෙ මේ රටේ ඉදිරි කාලයේදී මෙවැනි ප‍්‍රශ්න ඇතිකිරීමට  ඕනතරම් බලමුළු උත්සාහ දරයි. නමුත් මේ අතීත අත්දැකීම් වලින් ඉගෙන ගෙන අපි නැවත එවැනි ලේ වැගිරීම් ඇති නොවන්න කටයුතු කරන්න  ඕනේ.