(අතුල බණ්ඩාර)

මේ ආණ්ඩුව හැදුවේ අපි. අපි හදපු ආණ්ඩුවේ වාඩිවූ ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා කැබිනට් ප්‍රකාශකධුරයෙන් මා ඉවත් කරන්නේ කොහොමද. මම කකුල් දෙක දෙපැත්තක තියාගෙන දේශපාලනය කරන කෙනෙක් නොවෙයි. මම ඉන්න තැන කකුල් දෙකම තියාගෙනයි දේශපාලනය කරන්නේ. කකුල් දෙක දෙපැත්තේ තියාගෙන දේශපාලනය කරන අය කියන කථා අපට අදාළත් නැහැ.

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (07) අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් හමුවේ එසේ ප්‍රකාශ කළේ ඔහු කැබිනට් ප්‍රකාශක ධුරයෙන් ඉවත් කළ යුතු බවට ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නට යන බවට පුවත්පත්වල පළවී තිබූ වාර්තා සම්බන්ධයෙන් ඔවුන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

අනුරාධපුර හෙද විදුහලේ රුපියල් මිලියන 950 ක වියදමින් අලුතෙන් ඉදිකිරීමට යන සය මහල් ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ ඔවුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් මෙසේ පැවැසීය.

කැබිනට් මණ්ඩලයේ පසුගිය වතාවේ රැස්වීමට මම සහභාගි නොවූ අවස්ථාවේදීයි ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා මේ කතාව කියලා තියෙන්නේ. මම හිටියනම් ඔය කතාව කියන එකකුත් නැහැ. මම කතා කරන්නේ වගකීමක් ඇතිවයි. ජනාධිපතිතුමා දැනුවත්වයි මම යමක් කියන්නේ. ඔය එක එක ඇමැතිවරු මොන මොන කතා කිව්වත් ජනාධිපතිතුමා සරත් ෆොන්සේකා මහත්මයයි මමයි එක්ක ඒ ගැන කතා කළා. ඔය ඇමැතිවරු විරුද්ධ වුණාට පස්සේ තමයි අපි දීර්ඝ වශයෙන් කතා කළේ රජයට එරෙහිව වැඩ වර්ජනයක් ආවොත් ඒකට මුහුණ දෙන්න කොහොමද කියලා.

මම කතා කරන්න සිදුවෙන යථාර්ථය මිසක් ඔය එක එක්කෙනා එක එක තැන කියන කතා නොවෙයි. අපි වැඩවර්ජන මර්දනය කරන්න බලකායක් හදන්නේ නැහැ. රටේ ජාතික ආරක්ෂාවත් අත්‍යවශ්‍ය සේවාවත් අඛණ්ඩව ගෙන යාමත් ඒවා කඩා කප්පල් කර ජනතාව අසීරුතාවයට පත් කිරීම වැළැක්වීමටත් ජන සමාජය කඩා කප්පල් කරන්න ක්‍රියාකරන්නේ නම් කොයි විදිහටද ඊට මුහුණ දෙන්නේ කියන එකත් ගැන තමයි ජනාධිපතිතුමා සරත් ෆොන්සේකා මහතාත් මාත් සමගත් කතා කළේ.

ඒ වැඩපිළිවෙළට මේ වන විට අපි අත ගහලයි තියෙන්නේ. ජනතා වරමින් පිහිටුවූ පසු ආණ්ඩුවක් වෙනත් ක්‍රියාමාර්ගවලින් පෙරළන්න හදනවා නම් ඊට ඉඩ දීලා බලාගෙන ඉන්නද අපිට කියන්නේ. අපි එහෙම බලාගෙන ඉන්නේ නැහැ. ජනතාව අපිට කියන්නේ ඒ අය ඕනෑම වෙලාවක අපේ සහායට එන බවයි.

තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැහැයි කියලා දැන් තැන තැන කිය කියා යන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තීන්දුවක් ගත්තේ හිටපු ජනාධිපතිවරයකුගේ ආරක්ෂාවට යෙදවිය හැකි සංඛ්‍යාව කොපමණද කියලා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට එරෙහිවයි. ඒ එතුමිය එල්.ටී.ටී.යෙන් බෝම්බ කාලා ඇහැකුත් නැති කර ගත් කාන්තාවක්. ඒ වගේ තර්ජන වලට ලක්වූ හිටපු ජනාධිපතිනියට ආරක්ෂාවට දිය යුත්තේ ආරක්ෂක භටයින් තිහක් පමණක් බවට අධිකරණය තීන්දු කළා. ඒ තීන්දුව ක්‍රියාත්මක කරපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කොහොමද කියන්නේ එයාගෙ ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ කියලා.

එල්.ටී.ටී.ඊ. බෝම්බයෙන් ඇහැකුත් නැතිවුණු චන්ද්‍රිකා මැතිනියට ආරක්ෂකයින් තිස් දෙනෙක් පමණක් දී සිටියදී මහින්ද මහත්තයාට දැනටමත් කී දෙනෙක් ඉන්නවද ආරක්ෂක භටයින්. එහෙම බලද්දී මේ දීලා ඉන්න ගණන වැඩියිනේ යැයිද කීය.