(මනෝප‍්‍රිය ගුණසේකර)

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කි දීමට රාජකාරීමය හේතූන් මත අද (17) අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහත්වරු නීතීඥවරයෙකු මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාට අද (17) දැනුම් දුන්නේය.

මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ මහත්වරු අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඒ බව දැනුම් දුන් අතර මෙම නඩුව යළි විභාග කෙරෙන ලබන දෙසැම්බර්  4 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දැනුම් දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාට විනිසුරුවරයා දැනුම් දුන්නේය.

විත්තිකාර එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද අධිකරණයේ පෙනී සිටියේය.

මෙම නඩුවේ පැමිණිල්ලේ ප‍්‍රධාන සාක්කිකරුවන් දෙදෙනා වන ජනපති හා අගමැතිට අමතරව පැමිණිල්ලේ  සාක්කිකරුවන් 15 දෙනාගෙන් තිදෙනෙකු හැර සෙසු සියලු සාක්කිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව ලබන දෙසැම්බර් 4 වැනිදා සිට 12 වැනිදා දක්වා විභාග කිරීමට තීරණය කෙරිණි.