(මනෝප‍්‍රිය ගුණසේකර)
ගොවියකුට ලිපියක් ලබාදීම සඳහා එම ගොවියාගෙන් රුපියල් 5,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මහවැලි අධිකාරියේ ගල්කිරියාගම හිටපු ඒකක කළමණාකරුවකුට වසර 10 ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නඩුවට අදාළ සිද්ධිය හේතුවෙන් පැමිණිලිකාර ගොවියාට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙකක වන්දියක් ගෙවීමටද නියම කළේය.
ගොවියාට සිදුවු පාඩුව වෙනුවෙන් නියම කළ රුපියල් ලක්‍ෂ දෙකක වන්දි මුදල නොගෙවුවහොත් අමතර වසර දෙකක සිරදඬුවමකට ඔහු යටත් කළ විනිසුරුවරයා ඊට අමතරව ඔහුට රුපියල් 10,000/- ක දඩයක් ද නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මහවැලි අධිකාරියේ ගල්කිරියාගම හිටපු ඒකක කළමණාකරුවකු ලෙස සේවය කළ ජනක උපාලි දිසානායක නමැත්තාටය.
2011 දෙසැම්බර් මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මහවැලි අධිකාරියේ ගල්කිරියාගම ඒකකයේ කළමණාකරුවකු ලෙස කටයුතු කරමින් ගොවියකු වු අලුත්ගෙදර අබේකොන් නමැත්තාට ලිපියක් ලබාදීම සඳහා ඔහුගෙන් රුපියල් 5,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා නඟා තිබිණි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් ඔහු අදාළ චෝදනාවට වරදකරු බව විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ තුෂාරී දයාරත්න මහත්මිය සමඟ පෙනී සිටි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ භක්ති චේතනා මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් ගැනීම මේ වන විට අප රටේ එක්තරා කලාවක් වී ඇතැයි කීවාය.
අල්ලස් ගැනීම සමාජය වෙළාගත් පිළිලයක් බවට පත්ව ඇතැයි කී අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ තුෂාරී දයාරත්න මහත්මිය සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.
COMMENTS
අවුරුදු භතක් ගියා නඩුව විභාග කර තීන්දුව දෙන්න. මේ අල්ලස ගත් මනුස්සයාට ඒකම ඇති දඬුවම ලෙස, අවුරුදු හතක් තිස්සේ උසාවියට බඩ ගාන්නයි, නීතිඥයාට ගිණි ගෙවන්නයි ගියාම පළමු දවසේම චෝදනාවට වැරදිකරු කියලා හිරේ ගියා නම් මෙලහකටත් දඬුවමින් තුනෙන් දෙකක් ගෙවිලා...
පොඩි පගාකාරයින් හිරේ යනවා. ලොකු පගාකාරයෝ සැප විඳිනවා. කුඩු මුදලාලිලාගේ පවරාගත් දේපළ ආපසු දෙනවා. ලංකාවේ අධිකරණයට විශේෂ කුසලානයක් දෙන්න ඕනේ...
දඬුවම බොහොම මදි. ප්‍රයිඩ් රයිස් කන්න සල්ලි ඉල්ලලා තියෙන්නේ . කල්දේරම් රයිස් කන්නදෙන්න තිබුනේ අවුරුදු විසි පහකට. අල්ලස් වලට අවම දඬුවම අවුරුදු විස්සක් සහ අල්ලස් මුදල මෙන් 200% දඩ වියයුතුය.
මේ පුද්ගලයාට දඬුවම් කිරීම ඔහුගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමක් නොවේද? පගා ගැහීමේ හිමිකම තිබෙන්නේ දේශපාලුවන්ට පමණක්ද?