(දිලීප් ජයසේකර)

සුරියවැව විහාරගල හා හබරත්තවෙල යන ප්‍රදේශවල සිදු කළ වැටලීම් වලින් ගංවතුරට හසුව මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයේ පවතින සහල් වේලමින් සිටි සැකකරුවන් දෙදෙනකු සහල් සමග අත්අඩංගුවට ගත් බව සුරියවැව පොලීසිය පවසයි.

සුරියවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද තොරතුරකට අනුව සුරියවැව පොලීසිය හා එක්ව විහාරගල පොළ භූමියේ තබා වේලමින් තිබූ සහල් තොගයක් හා සුරියවැව හබරත්තවෙල විද්‍යාල භූමියේ තබා වේලමින් සිටි සහල් සොයා ගැනිණි. විහාරගල පොළ භූමියේ තිබී සහල් කිලෝ 1000ක් පමණ හා සුරියවැව හබරත්තවෙල විද්‍යාල භූමියේ තිබී නරක් වු සහල් කිලෝ 3000ක් පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

පසුගිය 29 වැනිදා ද මේ ලෙසම සුරියවැව මීගහජදුර ක්‍රිකට් ක්‍රිඩාංගණය අසල තබා ගංවතුරට හසුව වේලමින් වේලමින් තිබු සහල් කිලෝ 50,000ක් පමණ පොලිස් අත්අඩංගුවට පත් විය.අත්අඩංගුවට පත් සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර සහල් තොග රාජසන්තක කිරිමට හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝ කළේය.