තරිඳු ජයවර්ධන

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයයේ ගුරුවරයකුට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බව ලංකා ගුරු සංගමය කියයි.

කුලියාපිටිය මැදි විදුහලේ ගුරුවරුන් කිහිප දෙනකුටම  දිගින් දිගටම මෙවැනි තර්ජන ගර්ජන තිබුණු බව කියන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයද අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බව පවසයි.

හර්ෂ ධම්මික දෙමටාවල නම් ගුරු මහතා ප්‍රහාරයකට ලක්ව ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ය. ඔහු යතුරු පැදියෙන් නිවසට යද්දී පිටුපසින් තවත් යතුරු පැදියක් පැමිණ ඇති බවත්, එහි සිටියතු යකඩ පොල්ලකින් පිටට පහර දී ඇති බවත් ගුරුවරයා පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම ගුරුවරයා ඉගැන්වීම් කටයුතු කරමින් සිටිය දී හදිසියේ කාලසටහන් ඉවත් කළ අතිරික්ත කර ඇති බවත්, ඔහු පාසල් පරිපාලනයේ යම් යම් ක්‍රියාවන්ට  එරෙහි වූවකු බවත් ලංකා ගුරු සංගමය පවසයි.

යකඩ පොලු ප්‍රහාරයකට ලක්වූ දෙමටාවල මහතා කුලියාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.

කවි ලියා ෆේස්බුක්හි පළ කරන බව කියන තරුණ ගුරුවරයකු ස්ථාන මාරු කළේ ද මෙම පාසලෙන්ය. ඔහු ද පාසල් පරිපාලනයේ ඇතැම් ක්‍රියා විවේචනය කළ ගුරුවරයකු බවත්, ඔහු මාරුව ලැබුණු විගස පාසලෙන් ගියේද පහරකෑම්වලට ලක්වීමේ අවධානමක් තිබුණු නිසා බවත් දැනගන්නට ඇත.