(තරිඳු ජයවර්ධන)
කතරගම කිරි වෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මානන්ද නාහිමියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට දේවාලයක කපු මහතකු ලෙස කටයුතු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසියේ ආරංචි මාර්ග කියයි.
පෙර දින රාත්‍රියේ දී වාහනයකින් පැමිණි තිදෙනකු ඒ හිමියන්ට වෙඩි තබා පලා ගොස් තිබුණු අතර තුවාල ලැබූ විහාරාධිපති හිමි සහ තවත් හිමි නමක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. ඒ හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගෙන ඒමට මීට ටික වේලාවකට පෙර හම්බන්තොට රෝහලෙන් රැගෙන ගිය බවත්, ගුවන් මගින් කොළඹට වැඩම කරවීමට නියමිත බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යූ.පී සීඒජී 8531 දරණ ජීප් රිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
කිරිවෙහෙර පුදබිමේ තිබෙන මහසෙන් දේව මන්දිරයේ අයිතිය සම්බන්ධයෙන් හම්බන්තොට පළාත් බද මහාධිකරණයේ නඩුවක් පැවැති අතර වසරකට පෙර දුන් එහි තීන්දුව අනුව දේව මන්දිරයේ අයිතිය ඓතිහාසික කිරිවෙහෙර විහාරස්ථානයට පැවරිණි. නඩුතීන්දුව අනුව එම කටයුතු සිදුවූයේ ගෙවුණු මැයි මස 17 වැනි දාය.
නාහිමියන්ට වෙඩි තැබීමට හේතුව මෙම මහසෙන් දේව මන්ධිරයේ ආරවුල බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම ආරවුල හා සම්බන්ධ පුද්ගලයකු මීට ඉහත දී ද නාහිමියන් අසලට පැමිණ අවියක් පෙන්වා මරණ තර්ජනය කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතැයි ද, පොලිස් ස්ථානාධිපතිවරයා ද දැනුම්වත් කර ඇතැයි ද දැනගන්නට තිබේ. නමුත් පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නැතැයි කිරිවෙහෙර ආරංචි මාර්ග කියයි. කිරිවෙහෙර නාහිමියන්ට හා කටයුතු කරන තවත් පුද්ගලයකුට මීට පෙර තර්ජන එල්ල වී ඇති අතර ඔහුද ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබුණු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුවූ වා නම් පෙරදින රාත්‍රී වෙඩි තැබීම වළක්වා ගත හැකිව තිබුණු බව එම ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතාගෙන් විමසීමේදී ඒ මහතා පැවසුවේ මීට පෙර නාහිමියන්ට තර්ජනය තිබූ බවට තොරතුරු නොලැබුණු බවයි. මේ සම්බන්ධයෙන් දැන ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.


COMMENTS
ඔය කපුවෝ කියන ජාතිය කරන්නේ මාකටින් කරලා සාක්කුව පුරවා ගන්න එක... කතරගම දේවාලය වටේ ඉන්න කට්ටිය දැක්කම තව මොන කතාද?
කතරගම මැණික් ගඟ අසබඩ මහා මන්දිරයක් ඉදිකිරීමක් ගැන මේ ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද හෙළිදරව්වක් මේ සිදුවීම පිටුපස තිබෙන බවත් කියැවෙනවා.
පොලිසිය මොනවත්ම දන්නේ නේ නැහැ.
ඔය තියෙන්නෙ වෙඩි තැබීම, මරණතර්ජන අනුමත කරන්න බැරි වුනත්, මෙතන මුදල් , දේපළ පිළිබඳ ගැටුමක් තියෙන්නේ. දේවාල යනු තමන් පිළිබඳ විශ්වාසයක් නැති මිනිසුන්ගේ මුදල් යහමින් කඩාවඩා ගන්නා මාර්ගයක්. බුද්ධ දර්ශණය අනුන්ට දේශණා කලාට, තමන් පිළිපැද්ද නැති හැඩයි. තණ්හාය ජායතී සෝකෝ!
දේවාලයක හිමිකම උදෙසා නා හිමියන්ටම වෙඩි තියන්නේ ඒ කපුවාට " දේව භක්තිය" උපරිමව ඇති. බලන්න ඕන කපුවෝ ගතකරන සුඛෝපභෝගී ජීවිතය. කපුවෙකුට දෛනික වැටුපක් පමණක් ලබාදී දේවාලයෙන් එන ආදායම වෙන පුණ්‍ය කටයුතු සඳහා යොදාගත යුතුයි මේ "පඬුරු " පෙරේතකම නැතිවෙන්න.
දේවාලවල කපුවන් කරන්නේ ස්වං රැකියාවක්. රටේ මෝඩයන් වැඩිවුණා තරමට ඒ අයට වාසියි. ඒ අයගේ අදායම වැඩිවෙනවා.
මාර වැඩේනේ දේසපලකයන්ගේ මතක නැතිවීමේ ලෙඩේ පොලිසියටත් බෝවෙලා වගේනේ. බයේ බෑ අපිටත් බෝ වෙයිද දන්නේ නැ.
බොරු දෙවිවරු බොරු ආගම් අදහමින් වල්මත්වූ මෝඩ සෙනගක් ඉන්නා රටක් මේ ලංකාව.
ඔය කපුවාට අනිවාර්යයෙන්ම දේශපල්කයෙකුගේ රැකවරණය ලැබිලා ඇති, නැත්නම් පොලිසියෙන් මෙලහකට කුදලාගෙන ඇවිල්ල...
ස්වාමීන්වහන්සේලාටත් වෙඩි තියන්න තරමට අද රට පත්වෙලා. අපරාධකරුවන්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන් තත්ත්වයට අද රට පත්වෙලා තියන්නේ. දිනපතා කොහේ හරි මිනි මැරුම්, බාල වයස් දුෂණ. අපරාධකරුවන්ට දඬුවම් දෙනවයි කියමින් බලයට ආපු මේ රජය, අද ඉතිහාසයේ නොදුටු තරමට ඔවුන්ව ආරකෂා කරනවා.
දෙවියන් පිලිබඳ විශ්වාසය මිථ්‍යාවක් ලෙස අර්ථ කථනය කලත් , ඉන් සමාජ චින්තනයට බලපෑමක් කල හැකි අදහසක් මතුවෙන්නේ නැහැ. එහෙත් එම ඊනියා දේව බල මහිමය බලපාන පුද බිම ,ශිෂ්ට සම්පන්න ලෝකයාම කම්පා කරවමින් වෙඩි හඩින් ගිගුම් දෙන විට අප කුමක් සිතුවත් බැතිමත්හු කම්පා නොවෙති.
මේ ප්‍රවෘතියෙන් පෙනෙන්නේ මුදලට තිබෙන තණ්හාව නිසා ඇතිවුන ප්‍රස්නයක් බවයි. බුදු රජාණන්වහන්සේ දේශනා කල විදිහට දිවි පැවැත්ම ගෙනයන හාමුදුරුවරුන්ට කවදාකවත් හොර සතුරන්ගෙන් කරදරයක් වෙන්නේ නැහැ.
තිබෙන ආරංචි හැටියට කොළඹ බංගලාවක්, නෝනා කෙනෙක් හා දරුවෙක් ඉන්නවා. කොතන හෝ අපරාධයක් ඇත්නම් එතැන ගැහැනියක් හෝ ත්‍රිවීල් එකක් ඇති. මේ කථා වල ඇත්ත මම දන්නේ නැහැ. ඒ අවට අය දන්නවා.
සිවුරු දාගෙන දේශපාලනයට හේත්තුවෙලා තනතුරු අරගෙන පවුලුත් නඩත්තු කරනවා.. මේ වගේ උදවියට අනුකම්පා කරන්න නරකයි.
ශ්‍රී ලාංකික සමාජය මියැදෙන අන්දම අතිශයින් සාපරාධීය. අප ජීවත් වෙන ගොළු සමාජය, තවත් කෙටියෙන් පවසන්නේ නම් අපේ නිවස පවා වුවමනාවට වඩා නපුරුය. පීඩාකාරීය. වසර 70ක් තිස්සේ රැවටුණු, එ් නිසාම කල්පාන්ත මුරුගසන් වර්ෂාවට තෙමුණු මිනිසුන් සේ එකිනෙකා මරා ගනිමින් ජීවත් වේ. අතීත රජ දරුවන් තැනු වෙහෙර විහාරවලින් නොව විද්‍යුත් මාධ්‍යවලින් ඇසෙන බණ, පිරිත් අසමින් නින්දට යති. උදෑසන පිබිදෙති. පෞරාණික පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කරන හඬ නොඇසුන සේ සිටිති. තෙද බලැති දෙවියන් වැඩ වසන පුද බිමකින් ඇසෙන වෙඩි හඬට කැළඹෙති. එහෙත් මොහොතකින් ගොළු වෙයි. මගේ මව්බිම පුරා වුවමනාවටත් වඩා ඇති වෙහෙර විහාර නටඹුන් වෙද්දී, පන්සලකට අවශ්‍ය ආර්ය මහා සංඝයා වහන්සේලා නැතිකමින් වැසි යද්දී, කෙනෙක් අලුතින් චෛත්‍ය විසිපහක් ගොඩනැගීමට කතා කරති. බඩගින්නෙන් හෙම්බත් වූ මිනිසුන්ට අවශ්‍ය කෑම ටිකක් මිස වෙන දෙයක් නොවේ.