(ජයරත්න වික්‍රමාරච්චි)
 
බීමත්ව අසල්වැසි තරුණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයකු අනෙකාගේ කනකට පිහියකින් ඇන බරපතල තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන විමර්ශනයක් සිදුකර ගෙන යන බව නවගත්තේගම පොලීසිය කියයි.

ඊයේ (05) රාත්‍රී මෙම අනතුර සිදුවී ඇති අතර එහි දී තුවාල ලබා ඇත්තේ නවගත්තේගම පොලිස් වසමට අයත් ඉඟිනිමිටිය ප්‍රදේශයේ 32 හැවිරිදි පුද්ගලයෙකු බවත් පවසන පොලිසිය මෙහිදී ඔහු සුවසැරිය ගිලන් රථ සේවය ඔස්සේ නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නිකවැරටිය රෝහල වෙත මාරුකර යවා ඇති බවත් පවසයි.

මෙම සිදුවීමෙන් පසුව තුවාලකරුගේ පාර්ශවයට පෙර සැකකරු පොලීසියට පැමිණ තුවාලකරු තමාට පහරදීමක් සිදු කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිටි බවත් එම අවස්ථාවේ දී රෝහල් පොලිසිය කළ දැනුම්දීමකට අනුව සැකකරු පොලිස් ස්ථානය තුළදීම අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ මෙහෙයවීමෙන් එම අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.එම්.පී.කේ. දිසානායක මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් විමර්ශන සිදු කරති.