(රොමේෂ් මධුෂංඛ)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් 13වැනිදා උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සහාය දෙන්නැයි දෙමළ ජනතා සභාව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කර ඇත.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව හා දේශපාලන සිරකරුවන් මුදවා ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන එම්.ශක්තිවේල් පියතුමන් විසින් මෙම ඉල්ලීම සිදු කොට ඇත.
මේ වන විට යාපනය සරසවිය විසින් හර්තාලයට පූර්ණ සහය දක්වන බවට දැනුම් දී ඇති අතර වෙළඳ හා ප්‍රවාහන සංගම් මෙන්ම ධීවර සංගම් ඇතුළු සිවිල් සංවිධානවලද සහාය ඉදිරියේදී ලැබෙනු ඇති බවට වාර්තා වෙයි.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයේ අවධානය ඉතා ඉක්මනින් යොමු විය යුතු බවටත්, දැනට දේශපාලන සිරකරුවන් බන්ධනාගාර වල රඳවා ඇත්තේ මරණ දඩුවම නියම වූ සිරකරුවන් සමග වන හෙයින් එය ඉතා අසාධාරණ ක්‍රියාවක් බැවින් ඔවුන් වහාම වෙනත් මැදිරිවලට මාරු කළ යුතු බවටත්, දේශපාලන සිරකරුවන්ට නඩු පැවරීමේදී වව්නියාව අධිකරණයේදී නඩු පැවරිය යුතු බවටත් ඒ අතර උපවාසයේ යෙදුණු දේශපාලන සිරකරුවන් වෙනුවෙන්ද ඉක්මන් විසඳුමක් ලබා දිය යුතු බවටත් කියමින් ඔවුහු හර්තාලයකට සූදානම් වෙති.