පාසල නිමවී නිවෙසට පැමිණි මා ඇඳුම් අහවර කිරීමට සැරසුණා පමණි.
නෝනා.... නෝනා... යනුවෙන් අමතමින් ගේට්ටුවට ගසන හඬක් ඇසුනෙන් ගැලවූ සාරි කටුව, නැවත අමුණමින් සාලයට පැමිණ ජනේලයෙන් එබී බැලුවේ එම අවස්ථාවේදී නිවසේ සිටියේ මා පමණක් බැවිනි.
විඩාබර ස්වභාවයෙන් යුතු ගැබිනි කාන්තාවක්, ගේට්ටුවට බරවී සිටිනු දුටු මට සිහි වූයේ මීට සුළු වේලාවකට පෙර ඉදිරිපස නිවසේ ගේට්ටුවට ගසමින් සිටි ගැබිනි කත මැය බවයි.
තනිව නිවසේ සිටින විට කිසිවකු නිවෙසට වැද්ද නොගන්නා ලෙස සැමියා කොතෙක් උපදෙස් දී තිබුණත් ගැබිනි කතගේ ස්වභාවය දුටු මම විගස දිව ගොස් ඇය කැඳවාගෙන විත් පුටුවක වාඩිකළේ දෙවරක් නොසිතාමය.
" අනේ! නෝනා...මට වතුර ටිකක්"
ඇය පැවසූවේ අපහසුවෙනි.
ආරක්ෂාව පිළිබඳව මදකට අමතක කළ මම ගෙතුළට ගියේ ඇයට වතුර වීදුරුවක් ගෙනැවිත් දීමටය.ඇය එය බොන අතර පත්තරයක් අතට ගත් මා ඇයට පවන් සැලුවේ ඒ වන විටද ඇය ක්ලාන්ත ස්වභාවයකින් සිටි නිසාය.
මෙහිදී ඇයට නොදැනෙන ලෙස ඇය පිළිබඳව විමසිලිමත් වීමටද මම අමතක නොකළෙමි.
වයස විසි ගණන්වල අග භාගයේ සිටිතැයි අනුමාන කළහැකි,උස සිරුරක්, එයට සරිලන මහතක් හා අඳුරු පැහැ සමක් හිමි ඇය ,දරුවා ලැබීමට ආසන්න අවස්ථාවක පසුවූවාය.ඇගේ අත පය ඉදිමී තිබූ අතර තොල් කළු පැහැයට හැරී තිබිණි. ගවුම් කර අතරින් ඇගේ ළය පෙදෙස ගෙල දක්වාම පිලිස්සුම් කැළැල් වලින් පිරී ඇති බවක් ද මට දක්නට ලැබුණේ අහම්බෙන් මෙනි.
කෙමෙන් පියවි තත්වයට පත් ඇය , තමන් සුනාමියෙන් අවතැන් වූවන් සඳහා රතු කුරුසයෙන් තනා දුන් මහල් නිවාස සංකීර්ණයක වෙසෙන බවත්, තවත් කුඩා දරුවන් දෙදෙනකු නිවසේ සිටින බවත් පැවසුවාය.කිසිදු චකිතයකින් තොරව තම සැමියා බන්ධනාගාර ගතව සිටින බව ද ඇය මා හට පැවසුවාය.
සැණෙකින් යම් සැකයක් මගේ සිත වෙලාගත්තත්,එය ඇයට නොපෙන්වා සිටීමට මම උත්සාහ කළෙමි.
කතා කරන අතරම ඇය,පොඩිවී දහඩියටම කිලිටි වූ කොල කැබැල්ලක් මා අත තැබුවාය.එය රජයේ රෝහලකට දරු ප්‍රසූතිය සඳහා ඇතුළු වීමේදී රැගෙන යායුතු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් ලැයිස්තුවකි.
ඇය උත්සාහ කර තිබුණේ ගෙයක් ගෙයක් පාසා ගොස් ලැයිස්තුවේ සඳහන් බඩු මිලට ගැනීම සඳහා අවශ්‍ය මුදල සොයාගැනීමටය.නමුත් දරුවා ලැබීමට ආසන්නව සිටි ඇයට එය මහත් වෙහෙසකර කටයුත්තක් වූවාට සැකයක් නැත.
ඇය ,අල්ල දිගහැර එහි ගුලි ගසාගෙන තිබූ මුදල මට පෙන්වූ නමුත් එහි තිබුණේ රුපියල් පන්සීයක් වැනි මුදලකි.එම මුදල කිසිසේත් ඇයගේ අවශ්‍යතාව සඳහා නොසෑහිනි.එමෙන්ම තවදුරටත් ඒ සඳහා උත්සාහ කිරීමටද ඇයට ශක්තියක් ඒ වන විට නොතිබිණි.
දෙවරක් නොසිතාම ගෙතුළට ගිය මම ආපසු පැමිණියේ ඇයට අවශ්‍ය වනු ඇතැයි සිතූ මුළු මුදලම රැගෙනය. එය ඇය අත තබමින් මා සිතුවේ මගේ දරුවන්ගේ සහ නිවසේ වුවමනා එපාකම් ඉදිරි දින කිහිපයේදී පිරිමසාගන්නා ආකාරයයි.
එම මුදල දුටු ඇගේ මුහුණ විස්මයෙන් පිරී ගිය අතර දැසේ කඳුළු දිලිසිනි.වදනකුදු නොදොඩා නැගී සිටි ඇය , ගේට්ටුවෙන් පිටවී පැමිණි දෙසටම ඇවිද යන අයුරු මම බොහෝ වේලාවක් බලා සිටියෙමි.
දින ,සති ගෙවෙද්දී දහසකුත් එකක් වැඩ කන්දරාව මැද මට ඇය පිළිබඳ මතකය අමතක විය.
එදින.... සෙනසුරාදා උදෑසනකි.මිදුලේ සිටි මට,
නෝනා.... නෝනා...
යැයි අමතන හඬක් ඇසිනි. ගොස් බැලූ විට රෙදි කිහිපයක එතූ කුඩා පොදියක් තුරුළු කරගත් ඇය ගේට්ටුව අසල සිටියාය.කාල වර්ණ මුව මදහසකින් ඔප වැටී තිබුණේ පෙරදාට වඩා ඇයට ළාබාල පෙනුමක් ලබාදෙමිනි.
ඇය ගෙතුළට කැඳවූ මම පෙර දින ඇය හිදගත් පුටුවේම හිදගැනීමට සැලැස්සීමි.
රෙදි පොදිය සීරුවෙන් ඈත් මැත් කළ ඇය සිඟිති මුව පොඩියක් මා වෙත පෑවාය.රෝස මලක් වැනි සිඟිත්තිය, සුව පහසුව නිදමින් සිටියාය.
"මම ආවේ නෝනට දරුවා පෙන්වලා යන්න"
ඇය පැවසූවේ විලිබරවය.
"ඒ ඇගේ කෘත ගුණ සැලකීමයි."
"ඇගේ ස්තූතියයි."
මගේ උගුර සිරවී, දෑසට කඳුළු පිරුණේ නිමේෂයකිනි. කිසිදු මුදලක් හෝ වෙනත් උපකාරයක් නොඉල්ලූ ඇය, නැගී සිට ගේට්ටුව දෙසට යනුත් ඉන් පිටවී දරුවාත් තුරුළුකරගෙන පැමිණි මග දිග ආපසු යනුත් මා බලා සිටියේ කඳුළු අතරිනි.
වසර ගණනක් ගෙවි ගොසිනි. නැවත මම ඇය නොදිටිමි. එහෙත්,ඇය දුන් තිළිණය තවමත් මා හදවතේ සුරැකිව ඇත.
කිහිපවරක් ඇඟ තෙමා ගත්ත ද දාහයේ අඩුවක් නොවුණ නිසා මම ටකරන් දොර මෑත් කොට එළියට බැස ගතිමි. තනිකර ම ටකරන්වලින් නිමවා තිබූ නිවෙසින් එළියට බසිත් ම මට කිසියම්
ඇඳුම් ආයිත්තම් වලින්තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්.වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙ
මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.
’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.
සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ
සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කෘතගුණ