බට්ටා ෆෝන් එකෙන් නංගිලා, මල්ලිලා, අක්කලා විතරක් නෙවෙයි දැනට ජීවතුන් අතර ඉන්න නැන්දලා ,මාමලාටත් කතාකර කර හිටපු මට ස්මාට් ෆෝන් එකට හුරු වන්නට පහසු වූයේ නැත.

යමක් ඉගෙනගන්නා කල වයස පහුකර සිටින අපට ස්මාට් ෆෝන් එකක ඇති සුකුරුත්තන් සියල්ලම ඉගෙනගන්නට නම් තරුණ මොලයක් බද්ධ කරගැනීමට සිදුවෙයි. බෑනා රාජකාරි ගමනකට චීනයට ගෙස් එද්දී මටම කියා ගෙන ආ දුරකථනය පාවිච්චි නොකලොත් බෑනාගේ හිත රිදෙන්නට ඉඩ ඇති බැවින් ලොකු මිනිබිරියට කියා දවස් ගණනක් තිස්සේ එය ක්‍රියාකරවන ආකාරය අසාගත්තත් බට්ටා ෆෝන් එක තරම් හිතට ඇල්ලුවේ නැත.
         රස්සාවෙන් විශ්‍රාම ගෙන අවුරුදු දෙකක් පමණ ගතවී ඇතත් යහළු යෙහෙළියන්ගේ අඩුවක්ද නැත. මීට අවුරුදු පහකට පෙර දූලාගේ තාත්තා අන්තරා වෙද්දී මාව වැටෙන්නට නොදී අල්ලාගෙන හිටි කන්තෝරු මිතුරන් මේ වනතුරුද මා අතහැර නැත. කන්තෝරුවෙන් යන විනෝද ගමනකට පමණක් නොව දානයකට මරණයකට වුවත් මාව සම්බන්ධ කරගැනීම ඔවුන්ගේ සිරිතයි. මේසියලු සම්බන්ධීකරණ කටයුතු සිදුවන්නේ දුරකතනය හරහාය. ගෙදර දෙන්නා දෙමහල්ලන් වැඩටත් දරුවන් පාසලටත් ගිය පසුව ඉතිරිවන්නේ මා පමණි. මගේ දහවල් කාලය ගෙවී යන්නේ කවුරුන් සමග හෝ දුරකතනය ඔස්සේ අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි.

" අත්තම්මට මරු වැඩක් කියලා දෙන්නම්.
අත්තම්මගේ ඉස්කෝලේ කාලේ යාළුවෝ වුණත් හොයාගන්න පුළුවන්. "

               පොඩි මිනිපිරිය සාදා දුන් "ෆේස්බුක් " ගිණුමට මා එකතු වූයේ ඒ ආකාරයෙනි. මුලදි මුලදී කොපමණ කියාදුන්නත් නොවැටුණු මට එක්වරම සියලුම ඥානය පහළ විය. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, මිතුරු ඇරියුම් ඇක්සෙප්ට් කරන්න පමණක් නොව පැරණි මිතුරු මිතුරියන් සොයාගන්න ගතවූයේ ටික දවසකි. 

" ඒ කාලේ අත්තම්මා පත්තරවලට කවි ලිව්වා කියලා අම්මා කිව්වා. 
දැන් අත්තම්මට ෆේස්බුක් එකේ කවි ලියන්න පුළුවන් "
             ලොකු මිනිපිරිය අලුත් දොරක් ඇර දුන්නාය. කවි ලියන්න, පෝස්ට් හදන්න ඉගෙනගත්තේ රැකියාවට යද්දී කොම්පියුටරය අතපත ගා ලබාගත් දැනුමේ බලමහිමයෙනි. අලුත් මිතුරු කැළක් මා වටා රොක් විය. පැරණි මිතුරු මිතුරියන් මා සොයා ආහ. දුරකතනය වල්පල් දෙඩවීමට පමණක් නොව ඊට එහා ඉසව්වක් වෙත කැඳවාගෙන යන මෙවලමක් බව ප්‍රත්‍යක්ෂ විය. 
          මැසෙන්ජරය හරහා ලැබෙන ඇමතුම් හෝ පණිවිඩ පිළිබඳව මාහට දැනුමක් තිබුණේ නැත. එයට අතගසන්නට ගියේද නැත. එහෙත් මැසෙන්ජරය ඔස්සේ කළ හැකි කාර්යන් පිළිබඳව පොඩි මිනිපිරිය පහදා දුන් දින සිට පැමිණෙන පණිවිඩ විවර කර බලන්නට සිත් විය. කොල්ලන්ට කෙල්ලන්ට මා " අක්කා " වී තිබිණි. නාඳුනන පිරිමින්ට හිතවතිය වී තිබිණි. සමහරුන්ට රසවතිය වී තිබිණි. හායි, බායි, කොහොමද ? හොඳින්ද? 
කෑවද?  බිව්වද?  නෑවද? 
උත්තර දෙන්නේ නැත්තේ තරහද ?
      නානාප්‍රකාර සමයංවලින් එය පිරී තිබිණි.
 
" අම්මා ඔය මැසෙජස් බැලුවට කමක් නැහැ.
එකකටවත් උත්තර දෙන්න යන්න එහෙම එපා "

       දියණිය දිනක් අනතුරු ඇඟෙව්වාය.
          දිනපතාම උදෑසනට රෝස මල් එවන, උණු උණු කෝපි බඳුනක් සමග Good morning කියා දමන පිරිමි පරාණ කීපයක්ම හිටියත් මා ඒ කිසිවෙකුටවත් පිළිතුරු සපයන්න ගියේ නැත. එහෙත් ආරම්භයේදී " සුබ උදෑසනක් " කියා දැමූ පුද්ගලයෙක් සති කිහිපයක් ගිය තැන පැරණි සිංහල ගීත, මන මෝහනීය හින්දි ගීත ඇතුළත් චිත්‍රපට කොටස් එවන්නට විය.
           ඒවා අපේ කාලයේ නැතිනම් හැටේ හැත්තෑවේ දශකවල ඒවාය. එම ගීත රසවිඳි මා බොහොම ස්තූතියි, හරිම ලස්සනයි, මම රසවින්දා වැනි පිළිතුරු යවන්නටත් එවැනි ගීත ඛණ්ඩ නොපැමිණි දිනවලදී එනතුරු බලාසින්නටත් හුරු විය. අඩුම ගණනේ ඔහුගෙන් උදෑසන සුබ පැතුමවත් නාවොත් මට දැනුණේ යම් සාංකාමය හැඟීමකි.
         මේ ඇසුර මාස කීපයක් තිස්සේ ඇදී යද්දී මට ඔහුගෙන් දැනුණේ යම් හුරු බවකි. දැන හැඳුනුම් කමකි. විශ්වාසවන්ත බවකී. පිංතූරයේ පෙනෙන විදියට ඔහු මට වඩා වසර පහ හයක්වත් බාල අයකු විය යුතු යැයිද සිතිණ.
              එදා සතියේ දිනයකි. වෙනත් සතියේ දිනවල වාගේම සියලුදෙනාම පිටව ගියත් පොඩි මිනිපිරිය නිවසේ රැඳුණේ ඇගේ වාර විභාග අවසන්වී තිබූ නිසාය. එහෙත් ඒ වන විටද ඇය අවදිව තිබුණේ නැත. දුරකතනය හැඬුවේ වෙනස්ම හඬකිනි. මා සිතුවේ බෑනාගේ දුරකතනය අමතකවී දමාගොස් ඇතැයි කියාය. ඒත් නැවතත් නාද වෙද්දී එය මගේ දුරකතනය බව අවබෝධ විය. ඇමතුම ලැබී තිබුණේ මැසෙන්ජරය ඔස්සේය. ඒ වන විට මැසෙන්ජරය ඔස්සේ ලැබෙන ඇමතුමකට සම්බන්ධ වන ආකාරය මා දැන සිටියේද නැත. එහෙන් මෙහෙන් අතපතගානා විට ඇමතුමට සම්බන්ධ විය. එහි සිටියේ ඔහුය. 

"හලෝ
සුබ උදෑසනක්
ඉතින් කොහොමද  ?
හොඳින් ඉන්නවද  ?

             ඔහු විමසුවේ ආචාරශීලී ළයාන්විත හඬකිනි.

" ඔව් , හොඳින් ඉන්නවා "
         මා පිළිතුරු දුන්නේ මදක් පැකිලෙමිනි.

" ඉතින් නංගී
ඔයාගේ තොරතුරු කොහොමද  ?
මහත්තයත් අන්ත්‍රා වෙලා නේද  ?
          ඔහු දිගු කතාවකට මුලපිරීය.

      මට එක විටම මතකයට ආවේ ගිය සතියේ ෆේස්බුක් එකට දැමූ පින්තූර ටිකය. ඒ පිංතූර ගත්තේ සැමියා වෙනුවෙන් නිවසේ පැවති දානමය පින්කම දිනයේය.

" මම නංගි කෙනෙක් නෙවෙයි.
පැන්ෂොන් කාරියෙක්.
අත්තම්මෙක්
මිනිපිරියෝ දෙන්නෙක්ම ඉන්නවා. "

          මම පිළිතුරු දුනිමි.

" ඉතින් මොකද  ?
මාත් සීයෙක්
මුනුපුරු මිනිපිරියෝ පස්දෙනෙක් ඉන්නවා.
හැබැයි තනිකඩ. "

            මම නිහඬ වු⁣ණෙමි.

" මොකෝ කතා නැත්තේ.
අපි දෙන්නා හොඳට ගැළපෙනවා "

        එහා පැත්තෙන් ඇසුණේ පිටතට පුපුරා යන තරමේ මනමාල හිනාවකි.
          වටපිට බැලූ මම තිරය නිවාදමා දුරකතනය සෙටිය මතට වීසි කළෙමි. එය නැවත නැවතත් හඬතැලුවේ වියරුවෙන් මෙනි.
              සාලයේ ටීපෝව උඩ ඇති පිංතූරයේ සිට සැමියා මා දෙස බලා සිටියේ වරදක් කර අසුවූ දැරියක දෙස බලාසිටිනවා වැනි බැල්මකිනි.