ඈ සොයා ගැනීමට මා නොගත් ආයාසයක් නැත. මම මාස ගණනක් ම කොළඹ නෘත්‍ය ශාලාවලට දිනපතා ගියෙමි. මා නෘත්‍ය ශාලාවලට ගියේ නෘත්‍ය බැලීමට නොව, ඈ සොයා ගැනීම සඳහාය. මම නෘත්‍ය ශාලාවලට ගොස් එහි ටිකට් විකුණන තැන පසෙක සිටගෙන එහි එන තරුණා කාන්තාවන්ගේ මුහුණු දෙස මහත් සෝදිසියෙන් බැලීමි. මම ගැහැනුන්ගේ රූප සෞන්දර්යය දැකීමෙන් ප්‍රීති ආස්වාදයක් ලැබිය නොහැකි දැඩි සිතක් ඇත්තෙක් නොවෙමි. එහෙත් මා නෘත්‍ය ශාලාවලට ආ කාන්තාවන්ගේ මුහුණු බැලුවේ ඔවුන්ගේ රූප සෞන්දර්යය බලන අටියෙන් නොව, ඇය හඳුනාගත හැකි ලකුණු ඔවුන්ගෙන් එකියකගේ මුහුණෙහි හෝ ඇති දැයි දැනගැනීම සඳහා ය. මම කොළඹ නගරයෙහි නෘත්‍ය ශාලාවලට පමණක් නොව කාන්තාවන් රැස් වන වෙනත් තැන්වලට ද ගියෙමි. එහෙත් මට ඇය සොයාගත නොහැකි විය. ඉක්බිති ව දිවයිනෙහි වෙනත් නගරවල ද ගැහැනුන් රැස්වන තැන්වල මම හැසිරෙන්ට වීමි. නගර පරීක්ෂා කිරීමෙන් ඇය සොයාගත නොහැකි වූ විට මම ගම්වල හැසිරෙන්නට වීමි. මා ගම්වලට ගියේ විශේෂයෙන්ම ගොයම් කපන කාලයෙහි ය.
ගොයම් කපන කුඹුරුවල ද ගම්වල ගැහැනුන් රැස් වන වෙනත් තැන්වල ද මම මුහුණු පිරික්සමින් හැසුරුණෙමි. එහෙත් මට ඇය සොයා නො හැකි විය.
දිනක් මම දුම්රියෙන් ගමන් කරමින් සිටියෙමි. දුම්රිය, දුම්රිය පළක නැවැත් වූ විට තුරුණු කාන්තාවක් ද මහලු කාන්තාවක් ද මා සිටි රිය කාමරයට නැගී මා ඉදිරියෙහි වූ අසුනෙහි හිඳ ගත්හ.
තරුණ කාන්තාවගේ මුහුණ දුටු මම ත්‍රස්ත වීමි. ඒ ඈය. මගේ හෘදය ගැස්ම වේගවත් විය. සිහින් හදිය බිඳු මගේ තළලෙහි නැගිණ. මට මගේ දෙනෙත් අදහාගත නොහැකි විය. මම කීප වරක් ම ඇගේ මුහුණ දෙස බැලීමි. ඇය හඳුන්වන ලකුණු ඒ කාන්තාවගේ මුහුණේ පැහැදිලි ව තිබිණ.
ඇගේ මුහුණ පළමුවනවරට දුටු විට ඇති වුයේ විස්මයටත් ප්‍රීතියටත් වඩා භීතියයි.
ඇය දැකීමෙන් භීතිය ඇති වුයේ මන්දැයි මව නොදනිමි. එහෙත් ඉක්මනින් එය පහ වී ගොස් මා තුළ ප්‍රීතියක් ඇති විය. එසේ ද වුවත් ඊට පසු ද ඇතැම් විට ඇගේ මුහුණ දැකීමෙන් මා තුළ බියත් ඇති වු බව කිව යුතුය.
ඈ මනා ව වැඩුණු අග පසඟ ඇති හීන්දැරි සිරුරකින් යුත් රූමත් කාන්තාවකි. ඈ නිතර අඩක් වැසුණු නෙත් ඇත්තී ය.
එහෙත් එවැනි නිදිබර නෙත් ඇය හඳුන්වන ලකුණක් නො වීය. රන් පැහැගත් ඇයගේ මට සිළුටු නළලෙහි මැද ගම්මිරිස් ඇටයක් පමණ වූ දැඩි කළු පැහැයෙන් යුත් උපන් ලපයක් විය. සිහින්ව වැඩුණු ඇයගේ නැහැයෙහි කෙළවර ද ඊට කුඩා වූ තවත් උපන් ලපයක් තිබිණ. ඇය හඳුනාගත යුත්තේ නළලෙහි ද නැහැයෙහි අග හා නිකටෙහි ද පිහිටන එවැනි ලකුණු වලි නැ යි පුස්කොළ පොතෙහි කියා තිබුණේය.
මට පුස්කොළ පොත ගැන මෙහි මුලින් ලිවීමට අමතක විය. මා මේ විස්තර පටන් ගත යුතු ව තිබුණේ පුස්කොළ පොත මට ලැබීම පිළිබඳ ප්‍රවෘත්තියෙනි. මෙය පහසුවෙන් වටහාගත හැක්කේ එය පිළිබඳ සිදුවීම් පිළිවෙලින් විස්තර කළ විට ය. එහෙත් දැන් මට කතාව යළිත් මුල සිට පටන්ගත නොහැකිය.
එසේ යළි ලිවීමට ආරම්භ කළ හොත් වෙන කිසිවක් මට අමතක විය හැකිය. දැන් මට කිසිවක් කෙරෙහි සිත යොමු කිරීම අපහසු ය. මා තුළ ඇති වන චිත්ත තත්වය යයි සිතමි. එහෙත් මට උමතු නොවැටෙන බව මම දනිමි. මෙය ලිවීම කෙළවර කළ වහා ම මා දැන් සිටින කාමරයේ වහලයේ පරාලයක ලණුවක් ගැට ගසා ගෙලෙහි වැල ලාගෙන දිවි නසා ගනිමි.
පුස්කොළ පොත පිළිබඳ පුවත කෙටියෙන් මෙසේ ය. මීට අවුරුදු හතරකට පමණ පෙර මම වුවමනාවකට දඹුල්ලට ගියෙමි. එහිදී මම ගම් වැසියකුගෙන් පැරණි පුස්කොළ පොතක් රුපියල් පහක් දී මිලයට ගතිමි. එය පැරණි කඩයිම් පිළිබඳ පොතකැයි සිතීමි. මිලයට ගනිද්දි එය පෙරළා තැනින් තැන ටිකක් කිය වූ විට කඩයිම පිළිබඳ තොරතුරු එහි වන බව මට පෙනිණ. දොළොස්වන ශත වර්ෂයට පෙර ලංකාවේ සිටි රජවරුන් හා ප්‍රභූන් පිළිබඳ තොරතුරුත් ඇති බව පසුව සෙමින් කිය වූ විට මට වැටහිණ. පෙර සිටි එක්තරා රජකු කහවනු කෝටි ගණනක් වටිනා මුතු මැණික් ද ස්වර්ණාභරණ ද කැලයක පිහිටි විශාල ගලක් බිඳුවා එහි නිදන් කළ බව ද එය රැකීමට නළලෙහි හා නැහැයෙහි අග ද නිකටෙහි ද ක්‍රමයෙන් කුඩා වන උපන් ලප ඇති තරුණියක් බිලි කළ බව ද පොතෙහි කියා තිබිණ. බහිරවයාට පූජාවක් පවත්වා මන්ත්‍ර වගයක් කියා යට සඳහන් කළ උපන් ලප ඇති තරුණ ස්ත්‍රියක බිලි කළොත් නිධානය ඇති ගල් ගෙයි දොර ඇරෙන බව ද එහි වැඩි දුරටත් කියා තිබිණ. පොතෙහි ආ මේ පුවත මගේ සිත තරයේ අල්ලා ගත්තේය. නිධානය ඇති ගල් ගෙය ඇත්තේ සබරගමු පළාතේ පෙදෙසක බව පොතෙහි ආ විස්තරයෙන් මට වැටහුණේය. මම එය සොයන්ට වීමි. එය සොයා ගැනීම බොහෝ දුෂ්කර නොවීය. මා කළ දෙය තවත් කෙනෙකු විසින් කළ හැකි හෙයින් ගල් ගෙය පිහිටි තැන විස්තර කිරීමට මම අකමැත්තෙමි. කැලයෙහි පිහිටි ගලක විශාල යකඩ මුද්දක් සවි කොට ඇත. මුද්ද අවට ගලෙහි සතරැස් කොටුවක් කොටා ඇත. මේ සතරැස් කොටුව ගල් ගෙයි දොර යැයි මම සිතීමි.
යට විස්තර කළ ලෙස උපන් ලප පිහිටි තරුණ ස්ත්‍රියක සෙවීමට මා පටන් ගත්තේ ගල් ගෙය ඇති තැන සොයා ගත් පසුය.
ඇය දුම්රියෙහිදී මට හමු වූ විට මා තුළ බියක් ද ඇති වූ බව යට කීවෙමි. තමන් දුම්රියට නැගුණු තැනින් දුම්රියපළවල් තුනකට ඈතින් පිහිටි දුම්රියපළකදී තරුණිය ද ඇය හා සිටි මහලු කාන්තාව ද දුම්රියෙන් බැස්සාහ. මා දුම්රියට නැගුණේ ඊට බොහෝ ඈතින් පිහිටි තැනකට යෑමට වුව ද ඇය වසන තැන දැන ගැනීම සඳහා මම ද දුම්රියෙන් බැස්සෙමි. ඔවුහු දුම්රිය පළෙන් පිට වී පයින් ගමන් කරන්ට වූහ. මම ඔවුන් පසුපස්සෙහි ගියෙමි. ඔවුන්ගේ නිවෙස පිහිටියේ දුම්රියපළෙන් සැතැප්ම කාලකට පමණ ඈතිනි.
මම අසල් වැසියන්ගෙන් තරුණිය පිළිබඳ තොරතුරු ඇසීමි. ඈ අවිවාහක බවත් අවුරුදු කීපයකට පෙර ඇගේ පියා මිය ගිය බවත් ඈ දස හැවිරිදි පමණ වූ සොහොයුරකුත් මවත් සමග ඒ ගෙයි වසන බවත් මට දැනගන්ට ලැබිණ.
මා රූප සම්පන්නයෙකැ යි මගේ මිත්‍රයෝ කියති. මම එකල ධනය ගැති ව සිටි නමුත් අසූ දාහක පමණ වත්කම් ඇත්තකු ලෙස සාමාන්‍යයෙන් සලකනු ලැබුවෙක්මි. එහෙයින් මා හා විවාහ වීමට ඇය සතුටු කරවා ගැනීම අපහසු නොවී ය.
මා අයිරින් විවාහ කොට ගත්තේ ඈ බිලි කොට නිධානය ලබාගන්නා අදහසින් බව කිව යුතුය. එහෙත් විවාහයෙන් පසු ඒ අදහස යටපත් විය. පෙර ඇයගේ මුහුණෙහි වූ ලප කෙරෙහි පමණක් සිත් යොමු කළ මට ඇගේ රූප සෞන්දර්යය වැටහුණේ විවාහයෙන් පසු ඈ හා එක් ව වසන්න පටන් ගත් විට ය. මම ඇයට දැඩි ලෙස පෙම් කරන්ට වීමි. ඇගේ රූපය මෙන්ම ඇගේ විනීත ගති ගුණ ද සිහින් මිහිරි කට හඬ ද ඇය කෙරෙහි මා තුළ දැඩි ස්නේහයක් ඇති වීමට හේතු විය. ඇය බිලි කොට නිධානය ගැනීමට මුලදී සිතු මට, විවාහයෙන් පසුව ඇයට රළු පරළු වචනයක් කීමට තරම්වත් සිත දැඩි කොට ගැනීම අපහසු වූයේය.
ඈ මා කෙරෙහි දැක් වූ ප්‍රේමය ඈ කෙරෙහි මා තුළ වූ ප්‍රේමයටත් වැඩි වී යයි සිතමි.
ඇය නිදා සිටින විට ඇගේ මුහුණෙහි වූ උපන් ලප දැකීම මා තුළ බියක් ඇති කළේ ඇයි දැයි මට නිසැක ලෙස කිව නො හැකිය. එහෙත් බිය ඇති වීමට හේතු වූයේ ඇය කැලයේ ඇති නිධානය පාලනය කරන බහිරවයා ද අතර සම්බන්ධය මට සිහි වීම නිසා විය හැකැ යි සිතමි.
විවාහයෙන් පසු මගේ ණය ක්‍රමයෙන් වැඩි විය. අයිරින්ගේ කනස්සල්ලට හේතු වෙති යි යන බිය නිසා මුදල් පිළිබඳ දුෂ්කරතා මම ඇගෙන් සැඟවීමි. ණයකාරයන් මා සතු සියලු දේපළ විකිණීම නිසා මාස කීපයක් ගත වීමට පෙර මා කිසිවක් නැති දිළින්දකු විය හැකි බව මට වැටහිණ.
සිතෙහි කරදර නිසා මට රාත්‍රියෙහි නිදා ගැනීම අපහසු විය. පෙරේදා රාත්‍රියෙහි මම ඇඳෙහි කල්පනා කරමින් සිටියෙමි. මගේ බිරිඳ ඇඳෙහි පසක නිදා සිටියා ය. පිටතින් කාමරයට වැදුණු අඩ සඳක ආලෝකයෙන්
ඇගේ මුහුණ මට යන්තමින් පෙනිණ. ඇගේ මුහුණෙහි උපන් ලප පෙනීමට තරම් සඳ එළිය දැඩි නො වීය. එහෙත් ඒ ලප අඳුරෙහි පෙනෙන්නාක් මෙන් මට දැනුණේ ය.
කැලයෙහි නිදන් කොට ඇති මුතු මැණික් ද ස්වර්ණාභරණ ද මට සිහි විය. අයිරින් මරා බිලි දී නිධානය ගත හැකි නම් ණය කාරයන්ගෙන් ගැලවී මගේ ගෞරවය රැකගත හැකැයි මට සිතිණ. මගේ සියලු දේපළ ණයට විකිණී යාමෙන් මා දීන තත්ත්වයකට පත් විය හැක යන බිය මා අයිරින් කෙරෙහි දැක් වූ ප්‍රේමයට වඩා බලවත් විය. මේ බිය නිසා මම සාහසිකයෙක් වීමි. පසු දින ඇය කැඳවාගෙන කැලයට ගොස් ඈ බිලිදී නිධානය ගැනීමට මම සිතුවෙමි. පසු දිනම එය කිරීමට මා සිතුවේ කල් දැමුවොත් මගේ සිත යළිත් මොළොක් විය හැක යන බිය නිසාය. එදින පහන් වන තෙක් ම මට නිදාගත නො හැකි විය.
මගේ මහලු මාමා කෙනෙක් සබරගමුවේ ඈතගමක වසයි. ඔහු අසනීපයෙන් සිටින බව මට දන්වා තිබෙන බවත් ඔහු බැලීමට අයිරින්න්ද මා සමග යා යුතු බවත් මම පසු දින උදෑසනම ඇයට කීවෙමි. ඈ මා සමග යාමට කැමති විය.
මම බහිරව පූජාවට වුවමනා ද්‍රව්‍ය ගෙන අවුත් මගේ මෝටර් රථයෙහි සැඟවීමි. ඈ මා සමඟ ගෙදරින් පිට වී ගිය බව මෙහෙකරුවන් දැන ගැනීම වැළැක්වීම මට අවශ්‍ය විය. මට කටයුත්තක් සඳහා යාමට තිබෙන බව ද
ඈ පිටකොටුවට ගොස් මගේ නෑයන්ට තෑගි දීම සඳහා රෙදි පිළි මිලයට ගෙන මා හමුවීමට කොටුවේ දුම්රියපළ අසල සිටිය යුතු බව ද මම ඇයට කීවෙමි. අපට සමහර විට එදින ආපසු ඒමට නොහැකි විය හැකි හෙයින් අප ඈතකට යන බව මෙහෙකරුවන්ට නො කිය යුතු යයි මම ඇයට කීවෙමි. ඈ මෙහෙකරුවන් කෙරෙහි කිසි ම විශ්වාසයක් නො තැබුවා ය.
කොටුවේ දුම්රියපළ අසල දී ඈ මෝටර් රථයට නංවා ගත් මම නිධානය ඇති කැලය බලා පිටත් වීමි.
අපි දවල් එකට පමණ කැලය අසලට පැමිණියෙමු. අප රථය නවත්වා අප සමග ගෙන ගොස් තිබුණු පාන් ආදිය කෑ යුතු යයි මම ඇයට යෝජනා කළෙමි. ඈ ඊට කැමති විය.
අසල කැලයේ නිධානයක් ලබාගත හැකි යි පුස්කොළ පොතක කියා ඇති බවත් ඉඩ ලැබුණොත් පූජාව කිරීම සඳහා අවශ්‍ය උපකරණ මා ගෙනා බවත් කා බී අවසන් වූ පසු මම ඇයට කීවෙමි.
පූජාවට සහභාගි වීමට ඈ කැමති වූවාය.
මම ඇය ද කැටුව කැලයට වැදුණෙමි. ගල්ගෙය හාරා තිබුණේ අඩි එක සියයකට වඩා උස් වූ පර්වතයක ය. ගල් ගෙයි දොර ඉදිරියෙහි අඩි හතක් පමණ දික් වූ ද පුළුල් වූ ද ගල් පුවරුවක් විය. පූජාව ගල් පුවරුව උඩ කළ යුතු යැයි මම අයිරින්ට යෝජනා කළෙමි. පූජාවට වුවමනා ද්‍රව්‍යවලින් කොටසක් උසුලාගෙන ආ ඈ ඒ ද්‍රව්‍යවලින්
කළ යුත්තේ කුමක්දැ යි මගෙන් ඇසුවා ය. ගල් පුවරුවෙහි මල් තැබිය යුතු සැටි ද කපුරු හා පහන් දැල්විය යුතු සැටි ද මම ඇයට විස්තර කළෙමි. මම පිරුවටයක් හැඳ සාම්ප්රාණි පුළුස්සමින් මන්ත්‍ර කීමට වීමි, පුජාවෙහි කිව යුතු මන්ත්‍ර පුස්කොළ පොතෙහි ඇත. මම පැය දෙකක් පමණ මැතුරුවෙමි. බිලි පුජාව කළ යුතු අවස්ථාව පැමිණියේ ය. අයිරින් මා අසල බිම හිඳ සිටියාය. මම ඉණෙහි සඟවාගෙන සිටි උල් පිහියක් රහසින් එළියට ගතිමි. මම ඈ දෙසට හැරුණෙමි. මන්ත්‍ර මතුරන සැටි එතෙක් පුදුමයෙන් බලා සිටි ඈ මගේ මුහුණ දෙස බලා මද සිනහවක් පෑවාය.
මා බිලි පූජාව කළ සැටි විස්තර කළ නොහැකිය. ඈ වේදනාවෙන් ද භීතියෙන් ද නැගූ හඬ මට දැනුත් සිහියට නැගේ.
එය කළේ මා නොව මා තුළ සැඟ වී සිට එවේලෙහි මට ආවේශ වූ යක්ෂයෙකු විසිනැයි සිතමි.
බිලි පූජාව කළ නමුත් පර්වතයෙහි වූ දොර නො හැරුණේ ය. මම උමතු වූවකු මෙන් මතුරන්ට වූවෙමි. එහෙත් ගල් දොර නො හැරිණ. මම ගලෙහි වූ යකඩ මුද්ද දෑතින් අල්ලා මගේ මුළු ශක්තිය ම යොදා ඇද්දෙමි. එහෙත් දොර නො සෙලවුණේ ය. ඉක්බිති ව මම උස් හඬින් බහිරවයාට කළ යාච්ඥාවෙන් ද පලක් නොවීය.
මම ගල් දොර පරික්ෂා කරන්ට වීමි. එය ගල් දොරක් නොව පර්වතයෙහි මතුපිට කෙටූ සතරැස් කොටුවක් පමණය යන සැකය මා තුළ ඇති විය. පුස්කොළ
පොතෙහි සඳහන් කොට ඇත්තේ වෙන පර්වතයක ඇති ගල් ගෙයක් ය යන සැකය මා තුළ ඇති වූයේ ය. තවත් ගල් ගෙවල් ඇත්දැයි බැලීමට මා තුළ ආශාවක් නො වී ය. දැඩි ශෝකයක් හට ගත්තේය. මට ඈ දෙස තවත් බැලිය නොහැකිය. මා හැඳ සිටි රෙද්ද ලෙයින් වැකී තිබුණු හෙයින් මම එය ඉවත් කොට මා කැලයට ඇතුළු වෙද්දී හැඳ සිටි ඇඳුම් වහ වහා හැඳගෙන කැලයෙන් පිටත තිබුණු මෝටර් රථය දෙසට දුවන්ට වීමි.මා ගෙදර පැමිණෙන විට වෙලාව රාත්‍රියෙහි දෙකට පමණ ඇත.
දැන් පහන් වීමට ළං වී ඇතැයි මම සිතමි. මෙහෙකරුවන් අවදි වීමට පෙර මා දිවි නසා ගත යුතුය.අයිරින් මා සමඟ ගිය බව කිසිවෙකු නොදනී. එහෙයින් ඈට කුමක් වී දැයි මා නොදන්නා බව කියා මට නීතියෙන් ගැලවිය හැකැයි සිතමි.
එහෙත් තවත් ජීවත් වීමට ආශාවක් මා තුළ දැන් නැත.
ඈ සොයා ගැනීමට මා නොගත් ආයාසයක් නැත. මම මාස ගණනක් ම කොළඹ නෘත්‍ය ශාලාවලට දිනපතා ගියෙමි. මා නෘත්‍ය ශාලාවලට ගියේ නෘත්‍ය බැලීමට නොව, ඈ සොයා ගැනීම සඳහාය.
කිහිපවරක් ඇඟ තෙමා ගත්ත ද දාහයේ අඩුවක් නොවුණ නිසා මම ටකරන් දොර මෑත් කොට එළියට බැස ගතිමි. තනිකර ම ටකරන්වලින් නිමවා තිබූ නිවෙසින් එළියට බසිත් ම මට කිසියම්
ඇඳුම් ආයිත්තම් වලින්තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්.වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙ
මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.
’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.
සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නිධානය