IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


හයිකු කවියට උපත දුන් ’රෙන්ගා’

 

 

ජපානයේ මූල කාව්‍ය මාර්ගය වූ වකා හෙවත් ටන්කා සම්ප්‍රදායයෙන් අනතුරු ව, 13 වැනි සියවසේ දී එක් වෙසෙස් කාව්‍ය විලාසයක් පෙරමුණට පැමිණියේ ය.හෙයිඅන් යුගය ( 794 - 1191) අවසන් වන සමයෙහි ජපන් රාජසභා කවියන් විසින් මෙකී නව කාව්‍ය ආකෘතිය පිළිබඳ පුහුණු වීම් කරන ලද බව අර්ල් මයිනර් ((Earl Miner) නම් විද්වතා සිය Japanese Linked Poetry නම් කෘතියෙහි ලා සඳහන් කරයි.පුරා සියවස් හතක පමණ දීර්ඝ කාලයක් මුළුල්ලේ වකා කවියෙහි නියැළුණු අධිරාජයා ගේ කවියන් හට මේ නව කාව්‍ය ආකාරය ,එකී ඒකාකාරී බන්ධනයෙන් මිදීම සඳහා ප්‍රමාණවත් ඉඩ හසරක් විවර කෙළේ ය.

අපේ ගී කාව්‍ය සම්ප්‍රදාය කෙමෙන් පසුබා ගොස් 13 වැනි සියවසෙහි දී සන්දේශ කාව්‍යය පෙරට පැමිණියාක් වැනි සංසිද්ධියකි මේ.ජපානයේ රාජසභා කවියන් ( court poets ) බරපතළ වකා කාව්‍ය නිර්මාණයේ නොයෙදෙන කල,"රෙන්ගා" නම් අභිනව කාව්‍ය මාර්ගයකට යොමු වූ හෙයින් ,එය එවක යම් අවිධිමත් හැරැවීමක් ලෙස අර්ල් මයිනර් දකී.මෙරට තිසර මයූර වැනි සන්දේශ කාව්‍ය රචනා වූ වර්ෂයෙහි ම ,එනම් 14 වැනි සියවසෙහි ජපානයේ ප්‍රශස්ත කවියකු වූ "නිජෝ යොෂිමොතෝ " විසින් (1320 -1388 ) තමා නියැළුණු අධිරාජ්‍ය කාව්‍යයේ බැරෑරුම් සාහිත්‍යයික ස්වරූපයක් ලෙස රෙන්ගා කාව්‍යය කාව්‍යය පිළිගන්නා ලදි.

මෙකල " ජිගෙ" නම් රෙන්ගා ආචාර්‍යවරු ද විසූහ.ඔවුන් කලින් නියම කරගත් ආගමික වැදගත්කම් රෙන්ගා කාව්‍යයට උකහාලීම ද මෙසමයෙහි සිදු විය.මේ වනාහි එතෙක් පැවැතුණු අඛණ්ඩ රාජසභා සාහිත්‍ය සම්ප්‍රදායයෙන් වෙන් වීමකි.වංශාධිපතීන් අතෙහි වූ කාව්‍යයේ රසවින්දන විධීන් ඉක්මවා ,අනතුරු ව එනම් 15 වැනි සියවසේ දී පහළ පන්තියේ වෘත්තීය රචකයෝ පෙරමුණට පැමිණියහ.

 

රෙන්ගා නැතහොත් linked verses ( chain poetry )

සමඟ සැසැඳිය හැකි කවි මඟක් මුළු ලොවෙහි ම නැත.බටහිර සාහිත්‍යයේ සොනට් ද මේ හා නො සම වෙයි. රෙන්ගා කවිය හැඳින්වීම පිණිස මෙහි දී "සබැඳි කවි" හා " දාම කාව්‍ය " ( වැල් කවි ) යන දෙයෙදුම භාවිත කරනු කැමැත්තෙමි . කවියන් තිදෙනකු හෝ කිහිප දෙනකු එකට එක් ව, එක් කවියකුට පසු ව තවෙකකු යනආදි ලෙස මාරුවෙන් මාරුවට ලිවීමෙන් පූර්ණ රෙන්ගා කාව්‍යාවලියක් නිමැවේ.හඉකඉ යනුවෙන් ද මේ කාව්‍ය ක්‍රමය හඳුන්වන බව ද පැවැසිය යුතු ය.මේ සාමූහික නිර්මාණ ක්‍රියාවේ දී එහි සිටින කෘතහස්ත කවියා විසින් ,රෙන්ගා කාව්‍යයේ මුල් පේළි තුන වන "හොක්කු" කව ලියනු ලැබේ.

නිදසුනක් ලෙස බොන්චෝ , බෂෝ හා කියොරායි නම් කවියන් තිදෙන ගේ, කවි 36 කින් යුත් " නගරය පුරා " ( Throughout the Town ) නම් දාම කාව්‍යයේ ආරම්භක හොක්කු කවිය ගෙන බලමු.

 

" Ichinaka wa

mono no nioi ya

natsu no tsuki "

මෙහි ඉංග්‍රිසි අනුවාදය මෙ සේ ය.

"Throughout the town

above the welter of smelly things

the summer moon "

 

Boncho

මේ හොක්කුව මවිසින් අනුවාද කැරුණේ මෙ සේ ය.

නගරය පුරා

ගැලෙන දුගඳැති දේට ඉහළින්

ගිම්හාන සඳ

 

එක් කවියකු ,තිදෙනකු හෝ කිහිප දෙනකු විසින් නිමැවෙන දිගු දාම කාව්‍යයක,හොක්කු යැ යි හැඳින්වෙන ප්‍රථම කොට ලියැවෙන කවියට නිදසුනකි ඒ.මේ පේළි තුන මුල් ජපන් කවියේ දී පිළිවෙලින් මාත්‍රා 5 - 7 -5 ක් වේ.මේ පේළි තුන ජපන් බසින් " කමිනොකු" නම් වෙයි.ඊළඟ කවියා මේ පේළි තුනේ කොටස යළි එලෙස ම ලියමින් තමා ගේ පද පේළි දෙකක් ඊට එක් කරයි. එ සේ එකතු කරන දෙපේළිය හඳුන්වනුයේ " ෂිමිනොකු" යන වදනිනි.එ සේ නම් මුල් හොක්කුවට දෙවැනි කවියා ඈඳූ දෙපේළිය සමඟ මුළු කවිය ම දැන් ගෙන බලමු.

 

" Throughout the town

above the welter of smelly things

the summer moon

how hot it is,how hot it is

says a voice at every house -gate"

 

බොන්චෝ ගේ හොක්කුවට ,මේ අවසන් පේළි දෙක එක් කෙළේ සුප්‍රකට මත්සුඕ බෂෝ කවියා ය.තම කවියේ මුල් කොටස ලෙස බෂෝ ,පෙර කවියා ගේ කොටස ඈඳා ගත්තේ ය.එකී මුළු කවියේ සිංහල පරිවර්තනය ද මෙහි දී දැක්වීම අවශ්‍ය ය.

" නගරය පුරා

ගැලෙන දුගඳැති දේට ඉහළින්

ගිමත් සඳ

කොතරම් උණුසුම් ද එය,කොතරම් උණුසුම් ද එය

හඬක් කියයි හැම නිවෙසක ම දොරකඩින්"

 

මේ අයුරින් රෙන්ගා කාව්‍යයේ එක් කවක් පේළි පහකින් යුතු වේ.මුළු කවියේ 5,7,5,7,7 ලෙසින් මාත්‍රා යෙදේ.එ සේ ම මුලින් ලියූ කවකට තවත් නව කවියක් සම්බන්ධ කිරීමේ දී ,ඒ නව කොටසේ මුල් අඩ ලෙස පැරැණි කවිය භාවිත කරන බව පෙර සඳහන් කෙළෙමි.පෙර කවියා ලියූ කවිය ම දෙවැන්නා තම කවියේ මුලට යොදාගැනීමෙන්,එහි පැරැණි අර්ථය වෙනසකට භාජන වේ.මේ සඳහා නිදසුන් ලෙස ,කවි සියයකින් යුත් " මිනාසෙ සන්ජින් " නම් දාම කාව්‍යයේ කවි හතරක අනුවාදයක් ඉදිරිපත් කරමි.මෙමඟින් රෙන්ගා කාව්‍යයේ ස්වභාවය ද ඔබට හැදිනගත හැකි වනු ඇත.

 

"හිම මඳක් තිබිය දී වුව

මීදුම් පැතිර යේ කඳු පාමුල

අඳුරු දසුන"

 

සෝගි

"හිම මඳක් තිබිය දී වුව

මීදුම් පැතිර යේ කඳු පාමුල

අඳුරු දසුන

ජලය ඈතට ගලා යන තැන

ගම ම මනරම් උමෙ මලින් දිදුලයි"

 

ශෝහකු

ජලය ඈතට ගලා යන තැන

ගම ම මනරම් උමෙ මලින් දිදුලයි

ගඟි'නෙන සුළං දහරේ,

තනි ව නැඟ හිඳිනා විලෝ තුරු

වසත් කල පැහැසපුව පෙන්නයි

 

සෝචෝ

ගඟි'නෙන සුළං දහරේ

තනි ව නැඟ හිඳිනා විලෝ තුරු

වසත් කල පැහැසපුව පෙන්නයි

රිටි හබල් ඔරුවක් රළ පෙළනා නදින්

දිවා උදාව එළැඹෙනු පැහැදිලි යි

 

සෝගි

මුළු ලොව පුරා ප්‍රචලිත ජපන් හයිකු කවියේ පහළ වීමට මූලාධාර වූයේ මෙකී රෙන්ගා කාව්‍ය විලාසය යි.බෂෝ කවියා ජපානය පුරා කළ මහා සංචාරයන්හි දී රෙන්ගා කාව්‍යයේ හොක්කු කොටස ආකාරයේ කවි බොහෝ ස්ථානයන්හි දී ප්‍රබන්ධ කරන්නට යෙදිණි.බෂෝ හයිකු කවියෙකැ යි හැඳින්නුව ද,හෙතෙම හොක්කු කවියෙකි.රෙන්ගා වැනි දිගු දාම කාව්‍ය මාර්ගයකින් මුදා,හොක්කුව කේවල කවියක් ලෙස භාවිතයට පැමිණ වූයේ එතුමා ය.එහෙයින් හයිකු කවියට ද්වාරය විවර වූයේ රෙන්ගා කාව්‍ය ඇසුරින් බව අවධාරණය කළ යුතු ය.

1694 ඔක්තෝබර් 12 වැනි දා මේ පුරෝගාමී කවීන්ද්‍රයා පාචන රෝගයෙන් ගිලාන ව අභාවතාවට පත් විය.ඊට පෙරාතුව මරණය අබිමුව සිට ඔහු ලියූ අවසන් කවිය ද හොක්කුවකි. ඒ කව මෙ සේ ය:

 

"tabi ni yande

yume wa kareno o

kakemeguru"

" ill on a journey :

my dream roam round

over withered fields"

ගමනක දි ගිලාන ව:

මගෙ සිහිනය නිදැල්ලේ සරයි

වියැළි කෙත්බිම්වල

 

ආරම්භයේ දී කවි 50 -100 දක්වා වූ රෙන්ගා කාව්‍ය දක්නට නො වී ය.එකට යා කැරුණේ කවි දෙක තුනක් පමණි.එහෙත් කල් නොගොස් දාම කාව්‍ය සඳහා කවි 44,50, 100 වැනි නිශ්චිත ප්‍රමාණ යොදාගැනිණි.ඒ මොහොතේ ම කවියන් කිහිප දෙනකු විසින් ලියනු ලබන හෙයින් කල්ගත වීමේ දී ඒවා අවුල් සහගත ඒකාකාරී,වෙහෙසකර ස්වභාවයකින් යුක්ත වීමේ අන්තරායය පළ කෙළේ ය.මේ තත්ත්වය වළක්වාගනු පිණිස නීතිරීති ස්ථාපිත කිරීමට ද සිදු විය.රෙන්ගා පාසල් බිහි වූයේ කමකුරා යුගයේ(1192 - 1333) දී ය.ඒවා බරපතළ හා සරල රෙන්ගා වශයෙන් වර්ග කිරීමක් ද සිදු විය.කමකුරා යුගය අවසානයේ හා මුරොමචි (1393 -1602 ) යුගයේ රෙන්ගා කණ්ඩායම් කවියන් ගේ සංඛ්‍යාව ඉහළ ගියේ ය.මේ අතර සෝගි නම් විශිෂ්ට රෙන්ගා කවියා (1421 -1502)ගේ ආගමනයත් සමඟ මේ දාම කාව්‍ය කලාව පරිපූර්ණත්වයට පැමිණි බව නොබුයුකි යුආසා නම් විද්වතා පවසයි.



අදහස් (0)

හයිකු කවියට උපත දුන් ’රෙන්ගා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1960 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1544 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site