මෙරට දේශපාලනයේ දන්නා ඉතිහාසය තුළ ඉකුත් සතිය තරම් ආන්දෝලනාත්මක සතියක් කිසිවකුත් අසා නැති තරම්ය. එක්දහස් නවසිය හතළිස් අටේ සිට මේ දක්වා සිටි කිසිදු රාජ්‍ය නායකයකුට අත්නොවූ ඉරණමක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අත් වූවා යැයි කීම කිසිවකුත් ප්‍රතික්ෂේප නොකරනු ඇත. රටේම අපේක්ෂා පොදි බැඳගෙන හැට නව ලක්ෂයක අතිවිශාල ජනවරමකින් හරියටම මීට වසර දෙකකුත් මාස අටකට පෙර ජනාධිපති ධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ පමණක් නොව, වෙනත් රටකට පවා යාමට නොහැකි තත්ත්වයට අසරණ විය.

මහ රෑ ගමන

ඔහුට ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන්නට වූයේ ඉකුත් සතියේ සෙනසුරාදා ය. රට වැටී තිබෙන අර්බුදය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත්වන්නැයි බල කරමින් ‘‘ගෝඨා ගෝ ගම’’ ආරම්භ කළ අරගලය ඉකුත් සෙනසුරාදා වනවිට උච්චතම තැනට පැමිණෙමින් තිබිණි. කලින් දවසේ රාත්‍රිය වන විට ජනාධිපතිවරයාට ලැබුණ බුද්ධි අංශ තොරතුරුවලින්ද තහවුරු වූයේ සෙනසුරාදා දිනය එතරම් සුබදායී නොවන බවකි. ඒ හේතුවෙන් ජනාධිපතිවරයාගේ නියෝග මත, පොලිස්පතිවරයා විසින් කලින් දින රාත්‍රියේ හදිසියේම දින නියමයක් නොමැතිව පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවද, එය කිසිවකුත් ගණන් ගත් බවක් පෙනෙන්නට නොතිබිණි. විවිධ පාර්ශවවලින් එල්ල වූ විරෝධය හමුවේ පසුදින අලු‍යම එය ඉවත් කරගන්නට පොලිස්පතිවරයා කටයුතු කළේය. මිරිහානේ සිය නිවෙස ඉදිරිපිට පැවැති විරෝධයෙන් පසුව කොටුව මන්දිරයේ පදිංචියට ආ ජනාධිපතිවරයා එතැන ද සිටිය නොහැකි තත්ත්වයට අසරණ කර තිබිණි. ඇඳිරි නීතිය පැනවීමත් සමඟ රාත්‍රියේ ම ඔහු සිය බිරිය සමඟ කොටුව ජනාධිපති මන්දිරයෙන් පිටව ආරක්ෂිත ස්ථානයක් කරා ගියේ තත්ත්වය එන්න එන්නම දරුණු වූ බැවිනි. දැනගන්නට ඇති පරිදි එදින රාත්‍රිය වන තෙක්ම බැසිල් රාජපක්ෂ මහතාද ඔහු සමග කොටුව මන්දිරයේ සිටි බව වාර්තා විය.


කලින් දිනයේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය පසුදිනම හකුලා ගනු ලැබුවේ විවිධ පාර්ශව වලින් එල්ල වූ දැඩි විරෝධය සැලකිල්ලට ගනිමිනි. රටේ සිව් දිගින් රොද බැඳ ගත් ලක්ෂ සංඛ්‍යාත ජනකාය හමුවේ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ඒ වන විට වලංගු භාවයක් නැති තැනට පත් කර තිබිණි. කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරයත් අරගලකරුවන් විසින් අත්පත් කර ගනු ලැබුවේ මෙරට ඉතිහාසයේ අලු‍ත් පරිච්ඡේදයක් ආරම්භ කරමිනි. තත්ත්වය කෙතරම් දරුණු වුවද, ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක ගෝඨාභය නොසිටියේය. සවස් වන විට ඔහුට එම තීරණය වෙනස් කර පසු බසින්නට සිදු විය.


ඇතිව තිබූ තත්ත්වය හමුවේ එදින පස්වරුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයෝ රැස්වූහ. එහිදී පක්ෂ නායකයින් සියලු‍ දෙනාම පාහේ කියා සිටියේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වහා ඉල්ලා අස්විය යුතු බව ය. පක්ෂ නායකයින් ගත් මේ තීරණය කතානායකවරයා එදින පස්වරුවේ ම ජනාධිපතිවරයා වෙත ලිඛිතව ලබා දෙන්නට ද පියවර ගෙන තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා එදින සවස කතානායකවරයාට ලිපියකින් දැනුම්දී තිබුණේ තමා දහතුන් වැනිදා සිය ධුරයෙන් ඉවත්වන බව ය.
ඇතිව තිබූ තත්ත්වය හමුවේ දින දෙක තුනක් යනතෙක් ම ජනාධිපතිවරයා සිටින තැනක් දෙතුන් දෙනෙකු හැරෙන්නට කිසිවෙක් නොදැන සිටියහ. ඔහු 13 වැනි දා තෙක් කල් අරගෙන තිබුණේ ආරක්ෂාව හේතුවෙන් රාජ්‍ය නායකයා ලෙස මේ රටෙන් පිටත් වීමටය. ඔහුගේ මුල් සැලසුම තිබුණේ ඇ​ෙමරිකාව බලා පිටත්ව යාම වුවත්, අදහස අකමැත්තෙන් වුවද ඉවත් කරගන්නට සිදු වූයේ ඔහුට වීසා ලබාදීම ඇමෙරිකාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. මේ තත්ත්වය එන්න එන්නම දරුණු වූ බැවින්, රට තුළ විසීම අනාරක්ෂිත බව ඔහු තේරුම් ගත්තේය. ඔහු මාලදිවයිනට යන්නට මුලින් තීරණය කර තිබුණ ද එරට රජය ඒ සඳහා මුලදී කැමැත්තක් දක්වා නොතිබිණි. තවත් රටකින්ද ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණ.


ඔහුට සිංගප්පූරුව බලායාම සඳහා තාවකාලික නවාතැනක් ලෙස මාලදිවයිනට යන්නට අවස්ථාව ලැබුණේද එරට හිටපු ජනාධිපති මෙන්ම වත්මන් කතානායක නසීර් අහමඩ්ගේ මැදිහත් වීමෙනි. අනතුරුව ගුවන් හමුදාවේ විශේෂ ජෙට් යානයකින් ඔහු බදාදා අලු‍යම මාලදිවයිනට රැගෙන යනු ලැබීය.
මේ තත්ත්වය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් බදාදා හවස හතරට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ ද ඔහු පැමිණියේ නැත. ඔහු පැමිණෙන තෙක් රැස්වීම ආරම්භ කිරීම විනාඩි පහළොවක් පමණ ප්‍රමාද වූ නමුත් කතානායකවරයා කීවේ රැස්වීම පටන් ගමු කියාය. සභා නායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න ඇතුළු පක්ෂ නායකයෝ ද ඊට සහභාගී නොවූහ. ආණ්ඩුව පැත්තෙන් සහභාගි වූයේ ටිරාන් අලස් සහ ඩග්ලස් දේවානන්ද යන දෙදෙනා පමණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රංජිත් මද්දුම බණ්ඩාර, අනුර දිසානායක, එම්.ඒ. සුමන්තිරන්, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. මෙහි විශේෂත්වය වූයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ද පොලිස්පතිවරයාද මේ රැස්වීමට පැමිණ සිටීම ය.


රැස්වීම ආරම්භ කරමින් කතානායකවරයා කීවේ ජනාධිපතිවරයා මාල දිවයිනට ගොස් ඇති බවත්, ගමනාන්තයට ගිය වහාම ඉල්ලා අස්වීමේ ලිපිය එවන බවත් ය. එදින රාත්‍රි දොළහට පෙර ලිපිය ලබාදෙන්නට පොරොන්දු වූ බවද කතානායකවරයා කීය. ඒ සමගම ඔහු කීවේ අගමැතිවරයා ඉවත්වුවහොත් කැබිනට් මණ්ඩලය අහෝසි වන බවයි. රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය බව ඔහු කීවේය.”‍ කලින් පැවති පක්ෂ නායක රැස්වීමේදී අපි තීරණය කළේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙන්නටම ඉවත් වෙන්න කියලා. අගමැතිවරයා ඉවත් වුණොත් සාමාන්‍ය කටයුතු කරගෙන යන්න බැහැ කියන එක බොරු. කතා නායකතුමාට වැඩබලන ජනාධිපති විදිහට පත් වෙන්න පුළුවන්. රතන හිමියෝ කීහ. සුමන්තිරන් කිව්වේ හදිසි නීතියයි ඇඳිරි නීතියයි දැමීම නිසා ප්‍රශ්නය ඇති වූ බවය. රංජිත් මද්දුමබණ්ඩාර කීවේ අගමැතිවරයා ඉවත් නොවුණු නිසයි ජීවිතයක් නැතිවුණේ. ඒ නිසා ඒක එතුමා බාර ගන්න ඕනැ”‍ කියාය. මේ කතාබහ යන අතරේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා කීවේ අපට මෙතන විකල්ප දෙකයි තියෙන්නේ එක්කෝ අපිට මේක මර්දනය කරන්න බලය දෙන්න. නැතිනම් අපේ හමුදාවලට ආත්ම ගරුත්වය තියාගෙන අයින් වෙන්න ඉඩ දෙන්න. මේ විදිහට ත්‍රිවිධ හමුදාව හෑල්ලු‍වට ලක් කරන්න ඉඩ දෙන්න බෑ”‍ කියාය. අනතුරුව කතා කළේ අනුර කුමාර දිසානායක මහතා ය”‍. ඒක ආණ්ඩුවෙන් අහන්න ඕනැ ප්‍රශ්නයක්. අපෙන් අහන්න ඕනැ ප්‍රශ්නයක් නෙමේ. ඔහු කීවේය. ‘‘ඔබතුමාලත් මේ අරගලයට සම්බන්ධ නිසා මීළඟ ජනාධිපතිතුමා පත්වනතුරු රටේ සාමකාමීව ඉන්න කියලා ජනතාවට කියන්න’’ ශවේන්ද්‍ර ඉල්ලීමක් කළේය.
‘‘‘අපට එහෙම ඉල්ලීමක් කරන්න පුළුවන් ජනාධිපති අගමැති දෙන්නම ඉල්ලා අස් වුණොත් විතරයි’’ අනුර කීවේය.

පක්ෂ නායකයෝ පැන යති

මේ කතාබහ යන අතරේ ද පාර්ලිමේන්තුව අවට විරෝධතා ක්‍රියාත්මක විය. හමුදා ප්‍රධානියකු කීවේ මේ වන විට පාර්ලිමේන්තුවේ පළමු ආරක්ෂක වළල්ල කඩාගෙන විරෝධතාකරුවන් ඉදිරියට එන බවය. මේ ආකාරයට ගියොත් දෙවැනි ආරක්ෂක වළල්ල ද කඩා දමනු ඇතැයි ඔහු කීවේය. ඒ සමගම පක්ෂ නායකයෝ ද කලබල වූහ. කතා නායකවරයා ද කීවේ අපි පස්සේ නැවත සාකච්ඡා කරමු අදට නවත්තමු කියාය. ඒ වන විටත් පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේ පිටුපස දොරටුවෙන් පිටව ගොස් තිබුණේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව ද අත්පත් කරගනු ඇතැයි සිතූ බැවිනි.

 

ජනපති සටනට රනිල්,  සජිත්, ඩලස්, ෆොන්සේකා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ කතානායකවරයා වෙත එවා තිබිණි. ජනාධිපති ධුරය සඳහා නම් කීපයක් මේ වන විට යෝජනා වෙමින් තිබේ. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම සහ සරත් ෆොන්සේකා යන සිව්දෙනා මෙම සටනට එක්ව සිටින බව වාර්තා වේ. ඒ සිවුදෙනා වෙනුවෙන්ම මන්ත්‍රීවරුන් දිනාගැනීමේ සටනක් ආරම්භ වී ඇත.


රනිල් දිනවීමේ සටන පොහොට්ටුවේම ප්‍රබලයන් පිරිසක් අතට ගෙන ඇති බව පැවසේ. ඩලස් දිනවීමේ සටන අතට ගෙන ඇත්තේද පොහොට්ටුවේ ම පිරිසකි. මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩායමක් ඩලස් වෙනුවෙන් ඡන්ද එකතු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. හවුල් පක්ෂ නවයේ කණ්ඩායම සිටින්නේද ඩලස්ගේ සහයට බව දැනගන්නට ඇත. ඩලස් ඇතුළු කණ්ඩායම ගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හමු වූයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේදීය. ශ්‍රීලනිපයේ ද මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් කොටස් තුනක් සිටින බව දැනගන්නට තිබේ. කොටසක් රනිල්ටය, තවත් පිරිසක් ඩලස්ටය. තවත් පිරිසක් සජිත්ටය.


රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක ඇතුළු පිරිස සජිත් දිනවීමේ මෙහෙයුම ආරම්භ කර ඇත. අනුර යාපා ඇතුළු කණ්ඩායමේ පිරිසක් ද සජිත් වෙනුවෙන් ඉදිරිපත් වී සිටින බවක් පෙනේ. සරත් ෆොන්සේකා මහතා ද, මන්ත්‍රීවරුන්ට කතා කරමින් තමන්ගේ අපේක්ෂාව ගැන දැනුවත් කරමින් සිටින බව වාර්තා වේ
මේ අතර, වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සර්වපාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයකු නම් කරන ලෙස කතානායකවරයාට ඉකුත් බදාදා රාත්‍රී දැනුම් දුන්නේය. ඒ අනුව පක්ෂ නායකයෝ පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා දහවල් තලවතුගොඩ මොනාක් හෝටලයේ දී රැස්වූහ. අතුරලියේ රතන හිමි, මහාචාර්ය තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ, එම්. ඒ. සුමන්දිරන්, මනෝ ගනේෂන්, රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. එහිදී විවිධ නම් යෝජනා කළ අතර, තීරණය වූයේ පසුදා රැස්වී පක්ෂ නායක රැස්වීමේදී එම නම ඉදිරිපත් කිරීමට ය. එහෙත් සාකච්ඡාවෙන් පසුව එළියට ආ රතන හිමියන් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම අගමැති ධුරය සඳහා ඉදිරිපත් කිරීමට යෝජනා වූ බවය.


සාකච්ඡාවෙන් අනතුරුව හවුල් පක්ෂ නවයේ කණ්ඩායමද සූම් තාක්ෂණය ඔස්සේ රැස්විය. ඊට ද වාසුදේව, ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, ගෙවිඳු කුමාරතුංග, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජයන්ත සමරවීර, මුසම්මිල්, අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් සහභාගි වූහ. එහිදී තීරණය වූ ප්‍රධාන කරුණක් වූයේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව සිකුරාදා නොහැකි නම් සෙනසුරාදා හෝ රැස් විය යුතු බවය. එදින දහවල් පක්ෂ නායකයින් රැස්වී කළ සාකච්ඡාවේ දී අගමැති ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද කතාබහට ලක් විය. ඔවුන් කීවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වී ඇති නිසා අගමැතිවරයකු අලු‍තින් පත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් කෙළින්ම ජනාධිපතිවරයා තෝරාගැනීමේ කටයුතු කඩිනම් කළ යුතු බවත්ය.


අලු‍තින් පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා ද තරගයක් නිර්මාණය වී ඇතැයි පැවසේ, අනුර ප්‍රියදර්ශන යාපා, දිනේෂ් ගුණවර්ධන, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ඒ සඳහා උනන්දු වන බව දැනගන්නට ඇත.

ආණ්ඩුවට එරෙහිව  විපක්ෂය එකතු වෙයි

දිනෙන් දින වෙනස් වන සහ උත්සන්න වෙමින් පවතින දේශපාලන අර්බුදය සම්බන්ධව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන තැනට කටයුතු යෙදුණේ ඉකුත් 9 වෙනිදා කොළඹට ආ ජනතාවගේ අරගලය හේතුවෙනි.
රටේ පවත්නා බැරෑරුම් දේශපාලන තත්ත්වය පිළිබඳව සජිත් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම දීර්ඝව සාකච්ඡා කළේය.


“දවසින් දවස මෙහෙම ගියොත් මුළු රටම අරාජික වෙනවා. අපි ඉතාම ඉක්මනට බුද්ධිමත්ව තීන්දුවක් ගන්න ඕනැ”‍ සජිත් මන්ත්‍රී කණ්ඩායමට පැහැදිලි කළේය.
“වෙන විකල්පයක් නෑ, මේ වෙලාවේ රටේ ජනාධිපති කොහේ ඉන්නවද මොනවා කරනවද කියලා අපි දන්නේ නෑ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්න ඕනැ.”‍ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


ඒ සඳහා මන්ත්‍රී කණ්ඩායම අනුමැතිය ලැබුණු සැනින්ම රංජිත් මද්දුමබණ්ඩාර නැගිට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන බවට යෝජනා කළේය. එසැනින්, පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් එය ස්ථිර කරනු ලැබීය. එම යෝජනා ස්ථිරත්වය සමස්ත මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය.
මේ අතර රටේ පවතින දේශපාලන තත්ත්වය දවසින් දවස වෙනස් වෙන සුළු විය. එහි වෙනස් වීමත් සමග දේශපාලන තත්ත්වය ද අලු‍ත් වෙන්නට පටන් ගත්තේය. ජනාධිපතිවරයා රටින් පිටමං වීමත් සමග වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්විය.


එදිනම දවස පුරාම කොළඹ අවට ප්‍රදේශවල දක්නට ලැබුණේ යුද පිටියක ස්වරූපයකි.
එක් අතකින් උදෑසනම විශාල ගුප්ත බවක් ඇති වූ අතර තැන් තැන්වලින් ඉහළට නැගෙන හෙලිකොප්ටර්වලින් යම් බැරෑරුම් දෙයක් සිදුවෙමින් පවතින බවට සලකුණු පැතිරෙන්නට විය.
“අරගලකරුවෝ ඇවිල්ලා අග්‍රාමාත්‍ය කාර්යාලය වට කරලා. ඒ අයට පහර දෙනවා කියලා ආරංචියක් තියෙනවා”‍ සජිත්ට ඉහළ පෙළේ ආරක්ෂක අංශයකින් ආරංචි ආවේය.
“කොහොමද එහෙම කරන්නෙ. මේ රටේ අරගලය කරන තරුණ තරුණියන් අරගල කරන්නේ, රට ප්‍රජාතන්ත්‍රවාදීකරණය කරන්න කියලා. එහෙම නැතුව එක එක්කෙනාට තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර හදන්න නෙවෙයි.”‍ එහෙම කී සජිත් වහාම මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේය.
“අපි ආරක්ෂක අංශවලට කියනවා දෙදෙනකු ආරක්ෂා කරනවා වෙනුවට දෙකෝටියක් ජනතාව ආරක්ෂා කරන්න.”‍


“මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ජනතාව විසින් සිදුකරනු ලැබූ සාමකාමී අරගලයට එරෙහිව ආණ්ඩුව දුර්දාන්ත ලෙස මර්දනය ආරම්භ කරලා. එකකට එකක් පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සන්නද්ධ ආරක්ෂක අංශ ලවා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කොට ජනතාව මර්දනය කිරීම සඳහා ආණ්ඩුව කැස කවනවා”‍ සජිත් කීවේය.
එපමණක් නොව ඔහු ආරක්ෂක අංශවලට ද විශේෂ දැනුම් දීමක් කළේ ය.
“බල උන්මාදයෙන් පෙළෙන ජනාධිපති අගමැති ප්‍රමුඛ කල්ලියේ ප්‍රෝඩාව වහා නතර කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන ජනතාවට එරෙහිව මර්දනයේ හස්තය යොදන්න එපා. ආරක්ෂක අංශ කෙරෙහි ජනතාව තුළ ඇති ගෞරවය සුරකින්න”‍ සජිත් කීවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබී නැතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවැසීය.


කතානායකවරයා කීවේ මධ්‍යම රාත්‍රියට පෙර ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත යොමු කරන බව මීට පෙර දුරකථනයෙන් දැනුම් දුන් බවයි.
“මේවා මේ විහිළු කතා. මේ හදන්නේ තවදුරටත් මේ රට ලේ විලක් කරන්න.”‍
සජිත් කීවේය. මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සොයා බලන ලෙස සජිත් මහලේකම් රංජිත් ඇතුළු පිරිසට භාර දුන්නේය.


මේ අතර විවිධ කට කතා නිමා කරමින් 14 වැනිදා කතානායකවරයා විශේෂ ප්‍රකාශයක් කළේය.
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

 

විපක්ෂයේ පක්ෂ අතර  විශේෂ හමුව!

රටේ උද්ගතව පවතින වත්මන් තත්ත්වයට විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින් සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම උදෙසා සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සහ විපක්ෂයේ පක්ෂ අතර හමුවක් 14 වැනිදා පෙරවරුවේ පැවැත්විණි.


රට ගොඩනැගීම උදෙසා වූ පොදු වැඩපිළිවෙළක් ඔස්සේ තීරණාත්මක කාල පරාසයක් උදෙසා වැඩපිළිවෙළක් බිහි කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විණි.
“මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහට රටේ නායකයා වෙලා ජනාධිපතිකම් කරන්න බලයක් නැහැ. ඒ විතරක් නෙවෙයි අයිතියකුත් නැහැ.”‍ දයාසිරි ජයසේකර කීවේය.


“ඒක ඇත්ත. මේ රටේ මිනිස්සු කිව්වේ ගෝඨාභය යන්න, රනිල් යන්න කියලා. එහෙම කියපුවම හැට නවලක්ෂයක් ඡන්දෙ ගත්ත ගෝඨාභය යනවා. විසිපන්දාහක් ඡන්ද ගත්ත රනිල් ජනාධිපති වෙනවා. මේක ලජ්ජා නැති වැඩක්”‍ රවුෆ් හකීම් කීවේය.
“මේ වෙලාවේ පාර්ලිමේන්තුව ඇතුළේ බෙදීමක් ඇති වෙන්නේ නැති විදිහට අගමැති තනතුර තෝරාගමු. මේ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉතාම ප්‍රශස්ත විදිහට කටයුතු කරනවා. ඒ ගැන අපි අපේ ප්‍රශංසාව ඔබතුමාට පිරිනමනවා”‍ දුමින්ද දිසානායක කීවේය.
අදාළ පක්ෂ නායක හමුව අවසානයේ එම ස්ථානයේ දී ම සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද පැවැත්විණි.


ඊට ඉඩ ලබාදෙමින් පක්ෂ නායකයන් එතැනින් පිටතට යන අතරතුර දයාසිරි තලතා අතුකෝරල සමග පිළිසඳරක යෙදෙමින් සිටියේය. ඊට මඳක් ඔබ්බෙන් චන්දිම වීරක්කොඩි ද මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සමඟ සුහද කතාබහක යෙදෙමින් සිටියේය.
“දයාසිරි ඔහොමම වාඩිවෙන්න. ගෲප් එකට ඉඳලා යමු.”‍ කබීර් සිනාසෙමින් කීවේය.
“චන්දිම ඔයා එනවද, නැත්නම් සජබ ගෲප් එකට වාඩි වෙනවද?”‍ කලබල වූ දයාසිරි ද සිනාසෙමින් යාබදව සිටි චන්දිමට කීවේය.
“නෑ, නෑ ඔයා ඉන්න. මං යන්නම්”‍ චන්දිම ද සිනාසෙමින් ප්‍රතිචාර දැක්වීය. 

 

​මෛත්‍ර්‍රිගේ පොත් පිච්චුවාට
අගමැති කනගාටුවෙන්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතිය ආරම්භයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කටයුතුවල යෙදී සිටියේය. විවිධ පුද්ගලයන් හමුවෙමින් අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුකරනු ලැබුවේය. පසුගිය 9 වැනිදාත් ඔහු අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැඩ කටයුතුවල යෙදී දහවල් වන විට නිවසට පැමිණියේය. මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ද සුපුරුදු පරිදි පොතක් කියවමින් සිටියාය. හවස් වන විට ආරක්ෂක අංශ ප්‍රධානියෙක් පැමිණ අරගල කරන අය මේ නිවස ආසන්නයෙන් එහා මෙහා යනවා. ප්‍රශ්නයක් ඇති කරල නැහැ. නමුත් සර් මෙතැනින් යන්න’ යනුවෙන් ප්‍රකාශ කර සිටියේය. ඒ ඉල්ලීමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වැඩි එකඟතාවයක් නොදැක්වුවත් ඔහු අකමැත්තෙන් තම බිරිඳ සමග නිවසෙන් ඉවත්ව ගියේ හැඳ සිටි ඇඳුමෙනි.


ඊට සුළු මොහොතකට පසු පිරිසක් පැමිණ යම් කලබලකාරී තත්ත්වයක් ඇතිකළ අතර ආරක්ෂක අංශ ඔවුන් මෙල්ල කර පලවා හැරියේය. මේ සිද්ධීන් වන විට රැඳී සිටි මාධ්‍ය ආයතන නියෝජිතයන්ට ද ඉන් ඉවත්වන ලෙස ආරක්ෂක අංශ දැනුම් දී තිබුණි.


මේ සියල්ල සිදුවන පැය 4 ක පමණ කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අළු බවට පත්කර තිබුණි. වික්‍රමසිංහ - තුඩුගල පරම්පරා තුනක බඩු බාහිරාදිය මෙම ගින්නෙන් විනාශයට පත්විය. වර්ෂ 1900 දී රනිල්ගේ මිත්තනියක් තෑගි දී තිබූ පියානෝවක් ද ඒ අතර විය. පර්චස් 20 ක භූමියක පිහිටි මෙම නිවස ඉදිකර තිබුණේ රනිල්ගේ මෑණියන් වූ නාලිනී වික්‍රමසිංහ මැතිනිය විසිනි. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමේදී වන්දි වශයෙන් ලබා තිබූ මුදල් මෙම නිවස ඉදිකිරීමට යොදවා තිබුණි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ සොයුරු චන්න වික්‍රමසිංහ මහතාගේ නිවස වෙන්වී තිබුණේ එක් බිත්තියකිනි. නිවාස දෙකට එහා මෙහා යාමට දොරත් තිබුණත් එය අඟුළු දා තිබූ බව සඳහන් වේ. රනිල්ගේ නිවස ගිනිබත් කළ පිරිස චන්නගේ නිවසද විනාශ කර තිබුණි.


නිවසට ගිනි තැබූ ආරංචිය ප්‍රචාරය වීමත් සමග රනිල්ගේ හා මෛත්‍රිගේ දුරකථනවලට විවේකයක් නොවීය. දුරකථනයෙන් සිද්ධිය විමසූ අය අතර ගංගාරාමයේ කිරින්දේ අස්සජි හිමියෝද වූහ. ‘මට නැතිවෙන්න දෙයක් නැහැ. බිත්ති හතර විතරක් ඉතිරි වෙලා තියෙනවා.’ අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.’ මෛත්‍රි මැතිනියට අවුලක් නැහැනේ.’ අස්සජි හිමියෝ යළි විමසා සිටියහ. ‘මට මේ සිද්ධියෙන් බොහොම තදින් බලපාලා තියෙන්නෙත් ඒකයි. මෛත්‍රි බොහොම තදින් පොත පත කියවන කෙනෙක්නේ. එයාට පොත්පත් නැතිවීම බොහොම තදින් දැනෙන දෙයක්.’ අගමැතිවරයා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුදින උදෙන්ම රනිල්ගේ ගිනිගත් නිවස බැලීමට ගියේය. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටේ පදිංචිකරුවන් පැමිණ රුවන් සමග කතා කළේය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ නිවසේ පදිංචිව සිටියාට අපට කිසිම කරදරයක් තිබුණේ නැහැ. විශේෂයෙන් එතුමාගේ ආරක්ෂක අංශය අපට කිසිම මානසික පීඩාවක් කළේ නැහැ. අපේ දරුවො මේ නිවසේ තිබූ පුස්තකාලයේ පොත පත පරිශීලනය කළා. හරිම අපරාධයක් කළේ.’ යනුවෙන් ඔවුහු ප්‍රකාශ කළහ.


මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ මොහොතේදී රටට සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය වී ඇති බැවින් ඒ සඳහා ඉඩ ලබා දීමට තමන් සූදානම් බවයි. ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමටත් ව්‍යවස්ථාව තුළින් ජනමතයට කන්දීමටත් තමන් බැඳී සිටින බවයි.
මේ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට ගිය සතිය බෙහෙවින් කාර්ය බහුල විය. විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළේය.

ජන අරගලයේ ජවිපෙ කොටස

ජනතාව මුහුණ පා සිටින ගැටලුවලට විසඳුම් ලබා දීමට සුදුසුම නායකයා අනුර කුමාර දිසානායක මහතා යැයි ජනතාව දක්වන අදහසට ඇහුම්කන් දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා ජාතික ජනබලවේගය නායක හමුවේදී ගිය සතියේ ප්‍රකාශ කළේය.


ගාලු මුවදොර අරගලයට ඉකුත් 9 වැනිදාට මාස 3 ක් පිරීම නිමිත්තෙන් ජනතාව ​කොළඹට කැඳවීමට සංවිධානය කර තිබූ අතර එයට දින දෙකකට පෙර අරගලකරුවෝ ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවූහ.


වෛද්‍ය නලින් ද ජයතිස්ස, ආචාර්ය අනුර කරුණාතිලක යන මහත්වරුද මෙම සාකච්ඡාවට සහභාගි වූහ. අරගලයට ජනතා දායකත්වය අවශ්‍ය බැවින් ඒ සඳහා දක්වන සහයෝගය පිළිබඳව අරගලකරුවෝ විමසා සිටියහ. එහිදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ උපරිම දායකත්වය ලබා දෙන බවය. රජය දැනටමත් කඩාකප්පල්කාරී ක්‍රියා ආරම්භ කර තිබෙන අතර ඉන්ධන හිඟය ගෑස් හිඟය හා දුම්රිය, බස් වර්ජන පිටුපස විශාල බලපෑමක් කර තිබෙන බව ද මෙහිදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය.


පසුවදා පක්ෂ මහලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ගිය 9 වැනිදා විශාල පිරිසක් කොළඹට පැමිණියහ. රංජන් ජයලාල්, මහින්ද ජයසිංහ, වසන්ත සමරසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයෝ ගණනාවක් මෙම විරෝධතාවට සහභාගි වී සිටියහ.
එදින සවස අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණත් එයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමට ද ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබුණි. ඉන්පසු කතානායකවරයා එම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබූ අතර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ZOOM තාක්ෂණය ඔස්සේ එයට සහභාගි විය.
අරගල අවස්ථාවේ තුවාල ලබා රෝහල් ගතකර සිටින පිරිසගේ සුවදුක් විමසා බැලීමට සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුද රෝහලට ගියහ.

 

ගජබා