IMG-LOGO

පළාත් සභා ඡන්දය ​​පරක්කු කරන්නේ කවුද ?

කාලයක් තිස්සේ යට ගිහින් තිබූ පළාත් සභා මැතිවරණ කතාව දැන් යළිත් කරළියට පැමිණ තිබේ. ඒ ගිය සතියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් ද සමගිනි. පළාත් සභා ඡන්දය පැවැත්වෙන කාල වකවානු නිශ්චය වී නැතත් ඒ පිළිබඳ කතිකාවක් හෝ සමාජය තුළ අලුතින් ඇතිව තිබීම වැදගත් බව බොහෝ දෙනකුගේ අදහසය. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද ගිය සතියේ ප්‍රකාශයක් කරමින් දේශපාලන කරළිය ගිනියම් කළේය. ඔහු කීවේ ලබන නොවැම්බර් මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත්වන බවය. පළාත් සභා ඡන්දය නොපැවැත්වීම ගැන අතිශය කනගාටුවකින් කතා කළ ඔහු කීවේ ඡන්දය කල්දමන විට තමන්ගේ හෘදය වස්තුවට ද රිදෙන බවය. ඔහු එය කීවේ ඉවසා බැරිම තැනය.
සාමාන්‍ය පරිදි කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ අඟහරුවාද‌ා පෙරවරු 9.30 ට පමණය. එහෙත් මෙවර කැබිනට් රැස්වීම පැයකින් පමණ ප්‍රමාද කරන්නට ජනාධිපතිවරයාට සිදුවූයේ සිය හිතවතකුගේ අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙනි. 9.30ට ආරම්භ වීමට තිබූ කැබිනට් රැස්වීම ජනාධිපතිවරයා විසින් පැයකින් පමණ කල්දමනු ලැබුවේ සිය ප්‍රමාදය ගැන ඇමැතිවරුන්ද දැනුවත් කරමිනි. කැබිනට් රැස්වීම අඟහරුවාද‌ා උදේ 10.30 ට පමණ ආරම්භ වන බව ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලය හරහා සියලුම ඇමැතිවරුන්ට එදින උදේම දැනුම් දී තිබුණේ ඔවුන් පැමිණ රස්තියාදු වීම වළක්වා ගැනීමේ අපේක්ෂාවෙනි.


ජනාධිපතිවරයාට කැබිනට් රැස්වීම මඳක් ප්‍රමාද කරන්නට සිදුවූයේ අඹතලේ ප්‍රදේශයේ අලුතින් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත තේ කර්මාන්ත ශාලා සංකීර්ණයක් විවෘත කරන්නට යාමට තිබූ බැවිනි.


මැක්සිම්ස් හෝල්ඩින්ස් නමැති සමාගමේ තේ කර්මාන්ත ශාලාවක් වූ එහි හිමිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික මිතුරෙකි. ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ද වන ඔහු කලක් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකි. ඔහු නමින් වෛද්‍ය සමන් වීරසිංහය. ජනාධිපතිවරයා උදේ කැබිනට් රැස්වීමට යාමට සූද‌ානම් වී හදිසියේම අඹතලේ තේ කර්මාන්තශාලාව විවෘත කරන්නට ගියේය. ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ වෛද්‍ය සමන් වීරසිංහ විසිනි. ‘මම කැබිනට් රැස්වීමට යන එකත් පරක්කු කරලයි හදිසියේ ඇවිත් යන්න ආවේ.’ ජනාධිපතිවරයා කීවේ නව කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළු වෙමිනි. කර්මාන්තශාලා භූමියේ නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ ජනාධිපතිවරයා ‘මේක මෙහෙම හදිසියේ බලන්න බැහැ. මම ගෙදර අයත් එක්ක පස්සෙ වෙලාවක නිදහසේ ඇවිත් බලන්නම්.’ යැයි කීවේ ඉක්මනින්ම කැබිනට් රැස්වීමට යා යුතුව තිබූ බැවිනි. කර්මාන්තශාලාව ඇතුළේ පරික්ෂා කරමින් විනාඩි කීපයක් ගත කළ ජනාධිපතිවරයා පිටව ගියේ වෛද්‍ය සමන් වීරසිංහ ඇතුළු පිරිස සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටීමෙන් අනතුරුවය. ජනාධිපතිවරයා පිටව ගොස් පැයකට දෙකකට පසුව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් සුසිල් ප්‍රේම ජයන්ත මන්ත්‍රීවරයා ඇතුළු දේශපාලනඥයින් කිහිප දෙනකුත් එහි පැමිණ සිටිනු දක්නට ලැබිණි.


කැබිනට් රැස්වීම උදේ 10.30 ට පමණ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා මෙවර කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ විශේෂ කැබින් පත්‍රිකාවක් ද රැගෙනය. ඒ දිගින් දිගටම කල් යන පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් නොදමා ඉක්මනින් පැවැත්වීමට අද‌ාළ කැබිනට් පත්‍රිකාවකි. ජනාධිපතිවරණයක් ගැන කියමින් පළාත් සභා මැතිවරණය කල්දමන බවට ද ජනපති මෛත්‍රී මීට මාසයකට පමණ පෙරදී චෝදනාවක් ද කළේය. පළාත් සභා ඡන්දය තව තවත් කල් දැමිය යුතු නැතැයි තීරණය කළ ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ද රැගෙන මෙවර කැබිනට් රැස්වීමට පැමිණියේය.


ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් කීවේ පළාත් සභා සියල්ලේම මැතිවරණය ලබන මැයි මාසයේ 31 වැනිද‌ාට පැවැත්විය යුතු බවය. සියලු පළාත් සභාවල මැතිවරණ එකට පැවැත්වීම. පැරැණි අනුපාත ක්‍රමයට ඡන්දය පැවැත්වීම, අපේක්ෂක ලැයිස්තුවේ කාන්තා නියෝජනය සියයට 25 ක් වීම එම යෝජනා කිහිපයෙන් එකකි. එහෙත් එම කැබිනට් පත්‍රිකාව එදින සාකච්ඡාවට නොගත්තේ පළාත් සභා විෂය භාර ඇමැතිවරයාට ඒ සම්බන්ධ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙමිනි. ඒ අනුව මෛත්‍රීගේ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ සාකච්ඡාවට ගැනීමට තීරණය විය.


කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මත්ද්‍රව්‍ය සෝදිසි කිරීම් සඳහා විදේශීය සුනඛයින් 20 දෙනකු මිලදී ගැනීමට අද‌ාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ අර්ජුන රණතුංග ඇමැතිවරයා විසිනි. එක සුනඛයකුගේ වටිනාකම රුපියල් ලක්ෂ 20 කි. ඉන් සුනඛයින් 20 දෙනකු ගෙන්වා ගැනීමට අනුමැතිය ඉල්ලා තිබිණි. ඒ සඳහා වෙන් කිරීමට යෝජිත මුදල් රුපියල් මිලියන 46 කි. අර්ජුනගේ කැබිනට් පත්‍රිකාව දුටු ජනපති මෛත්‍රී හිනා වෙමින් ඇසුවේ දැන් එතකොට ඔය බල්ලො ගෙන්වන්නෙ ගෙවල්වලටත් එක්කද? කියාය. ‘අනේ සර් මට නම් එපා.’ යැයි අර්ජුන කීවේ ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. ‘මට නම් බල්ලෙක් ඕන.’ යැයි මංගල කීවේ ජනාධිපතිවරයා ද හිනස්සමිනි.
ඊළඟට කතාබහට ලක්වූයේ හෙක්ටයාර් 20,000 ක සීමාවට යටත්ව කටුපොල් වගා කිරීමට අද‌ාළ කැබිනට් පත්‍රිකාවකි. එය ඉදිරිපත් කර තිබුණේ නවීන් දිසානායක ඇමැතිවරයා විසිනි. ඒ කැබිනට් පත්‍රිකාවට වැඩි වෙලාවක් ගන්නට සිදුවූයේ ඊට පක්ෂව හා විපක්ෂව ඇමැතිවරුන් කිහිප දෙනෙකුම අදහස් දක්වන්නට වූ බැවිනි. විපක්ෂව අදහස් දැක්වූ ඇමැතිවරුන් කීවේ මෙම වගාවෙන් පරිසරය මුළුමනින්ම විනාශ වන බවය. කටුපොල් වගාව නිසා තේ සහ රබර් වගා ඉවත් කෙරෙන බව ද ඔවුහු කියා සිටියහ. ඊට පක්ෂව අදහස් දැක්වූ පිරිස කියා සිටියේ කටුපොල් වගාවෙන් හොඳ ආද‌ායමක් ලැබෙන බවය. කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කිරීම ලබන සතියට කල් දැමූ ජනාධිපතිවරයා කීවේ මට මේකට ඡන්ද විමසීමක් කරන්න වෙයි කියාය.



අදහස් (0)

පළාත් සභා ඡන්දය ​​පරක්කු කරන්නේ කවුද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 77 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site