IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


නින්ද ආයෙත් ඇක්ටිව්ද ?

ජවිපෙ මුදල් දැම්ම නම් ඒ ගැන කිව්ව නම් ඉවරයිනෙ 

බ්‍රහස්පතින්දා ජනපති පුරුදු පරිදි මුදල් අමාත්‍යාංශයට ආවේ පෙරදින එහි ඇතිවූ ගින්න ගැන ද කතා කරමිනි. මුදල් ඇමැතිගේ මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ කාර්යාලය පිහිටි දෙවැනි මහලේ මෙම ගින්න ඇතිව තිබූ අතර එය විදුලි කාන්දුවකින් ඇති වූ බව මෙහිදී හෙළිදරව් විනි.


ජනපති සමඟ සතියකට වරක් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද සහභාගී වෙන්නේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට අමතරවය. 

“ජනතා විමුක්ති පෙරමුණේ මුදල්, මෝල්ටාවේ ආයෝජනය කරලා කියලා පෙරටුගාමීන් කියනවා. ඒක ගැන තමයි දැන් සමාජයේ කතා කරන්නේ.” ඇමති ශෙහාන් කතාව ආරම්භ කළේය.

 

“ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මේ ගැන හරි ප්‍රකාශයක් ජනතාවට කළා නම් මේ මුකුත් ප්‍රශ්න නෑ. ඇත්තටම සල්ලි දැම්ම ද?, දැම්මා නම් ඒ කාගේ ඒවද? කියලා කිව්වා නම් මේ ප්‍රශ්නය විසඳෙනවා. දාලා නැතිනම් නෑ කියලා කියන්න ඕනෑ. මේ මුකුත් නොකියන නිසා තමයි ප්‍රශ්නය තියෙන්නේ.” ඒ පිළිතුරු ඇමැති සියඹලාපිටියගෙනි.
“අනුලා විද්‍යාලයේ කළ කතාව ගැන සමාජය අගය කරනවා. මෙතනදී ජනාධිපතිතුමා ජෙන් ඉසෙඩ්, ජෙන් ඇල්ෆා ගැන කියපු කතාව ළමයින්ට තේරුණාට වැඩිහිටියන් බොහෝමයකට තේරුණේ නෑ, මම හිතන්නේ.” මහාචාර්ය ආශු මාරසිංහ කීවේ එවැන්නකි.

 

“නෑ, මම කිව්වේ දේශපාලනඥයෝ තවම ඉන්නේ අතීතයේ. හැබැයි මේ දරුවෝ ටික ඉන්නේ වර්තමානයේ කියලා. මොක ද, ඉපදුණ වර්ෂය අනුව දරුවන් ඉන්න තැන නම් කරලා තියෙනවා. මේ වෙන විට පාසලේ ඉහළ ශ්‍රේණියේ ඉන්න දරුවෝ තමයි ජෙන් ඉසෙඩ් කිව්වේ. පළමු ශ්‍රේණියට එන දරුවෝ තමයි ජෙන් ඇල්ෆා කිව්වේ. ජෙන් එම්, ජෙන් වයි ලෙසත් දරුවෝ වර්ගීකරණය කරලා තියෙනවා. මම මෙතනදී කිව්වේ දේශපාලනඥයෝ අතීතයේ ඉන්න නිසා එයාලව වර්තමානයට ගේන්න ඕනැ. හැබැයි වාර්තමානයේ ඉන්න දරුවන්ට අනාගතයට යන්න පහසුයි කියන කාරණයයි.” ජනපති දීර්ඝ විස්තරයක් කළේය.

ඉන්දියවට හා චීනයට නව තානාපතිවරුන් පත් කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා වූ අතර ජනපති කීවේ තමන් සමඟ සෘජු සබඳතා පැවැත්විය හැකි විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨයන් ඊට පත් කරන බවය.


දැඩි නියඟය හේතුවෙන් රටම බරපතළ අර්බුදයකට මුහුණ දෙමින් සිටී. එක පැත්තකින් පානීය ජල ප්‍රශ්නයයි. අනෙක් පැත්තෙන් වගාබිම් විනාශ වීමයි. රට පුරා කුඹුරු ඉඩම් දස දහස් ගණනක් මේ වෙන විට නියඟය හේතුවෙන් විනාශ වෙමින් තිබේ. දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා වෙනුවට, ඒ ඒ පක්ෂවල දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් කටයුතු කිරීම මේ මොහොතේ ද දකින්නට ලැබෙන සත්‍යයයි. දේශපාලන වේදිකාවල කෙරෙන කතාබහවලින් ද ඒ බව පැහැදිලිය

පොහොට්ටු මන්ත්‍රීලා ක්‍රිකට් ගසති

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් අතර ක්‍රිකට් තරගයක් ඉකුත් සති අන්තයේ නුවරඑළියේ දී පැවැත්විණි. ‚එය නම් කර තිබුණේ,  මහින්ද රාජපක්ෂ අභියෝගතා කුසලානය ලෙසය. තරගය ආරම්භ කරමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සන්දර්ශනාත්මක ලෙස පන්දුවට පහරදුන් අතර, පසුව තරගය ආරම්භ විය. තරගය හවස් වෙන තෙක් පැවති අතර, තරගයේ වීරයා බවට පත් වූයේ ගයාෂාන් නවනන්දන මන්ත්‍රීවරයාය. හොඳම පන්දු රකින්නා බවට සී.බී. රත්නායක පත්විය. ප්‍රේමලාල් ජයසේකර හොඳම පන්දු යවන්නා බවට පත් වූ අතර, ඩබ්ලිව්.ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා හොඳම පිතිකරු බවට පත්විය.

විසුමක් නැති අස්වැසුම

අස්වැසුම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇති විය. ඊට  විපක්ෂයෙන් පමණක් නොව, ආණ්ඩුවේම පිරිසකගෙන් ද, විශේෂයෙන් පොහොට්ටුවේ  මැති  ඇමැතිවරුන්ගෙන් ද ඊට දැඩි විවේචනයක් එල්ල විය. පොහොට්ටුවේ විවේචනය වුණේ, අස්වැසුම නුසුදුස්සන්ට  ලබාදෙන බව සහ සමෘද්ධිය යටපත් කරන බවය. මේ අතර අස්වැසුම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන සමාජ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න ගිය සතියේ ඉන් ඉවත් විය. ඔහුගේ ඉවත් වීමට හේතු වූයේ, අස්වැසුම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ  පවතින අර්බුදකාරී තත්ත්වයක් බව දැනගන්නට ඇත. ඔහු  කියා තිබුණේ මේ තියෙන තත්ත්වය අනුව අස්වැසුම  මේ වසරේ ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් තිඛෙන බවය. එය ලබන වසරේ ක්‍රියාත්මක කරන්නට සිදුවෙන බව ද ඔහු  කියා තිබිණි‚. මේ තත්ත්වය හමුවේ ඔහුට ඉන්  ඉවත් වෙන්නැයි ආණ්ඩුවේ ඉහළින් දැනුම් දී තිබූ අතර, ඔහු වෙනුවට නව සභාපතිවරයෙක් එදිනම පත් කරනු ලැබීය.

රනිල්ගේ ගුණ වයන ප්‍රසන්න 

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා හා ප්‍රාදේශීය සභාවල හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ගිය සතියේ පැවැත්වුණේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. එහිදී හිටපු මන්ත්‍රීවරයකු ඔහුගෙන් විමසුවේ ‘සර් අලියා පිටේ නගින්න ද හදන්නෙ ?’ කියාය. ’නෑ, මම  අලියා පිටේ නගින්නෙ නෑ. අපි හදපු  පක්ෂයක් තියෙනවනේ’ කී  ප්‍රසන්න සඳහන් කළේ,‘‘රනිල් වික්‍රමසිංහ මහත්තයා  ජනාධිපති කරන්න පක්ෂය තීන්දු කරාම මම ඒකට හිත හදාගත්තෙ බොහොම  අමාරුවෙන්. හැබැයි මම ඒ ගත්තු තීන්දුව ගැන අද සතුටු වෙනවා. ඔහු එක්ක කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. සජිත්ට අනුරට එයත් එක්ක හැරෙන්නවත් බෑ’’යැයි කීවේය .

 

ලංසාගේ කණ්ඩායම ප්‍රියංකරගෙ ගෙදර රහස් සාකච්ඡාවක 

පොහොට්ටුවෙන් ඉවත්ව සිටින නිමල් ලාන්සා ඇතුළු කණ්ඩායම ගිය  සතියේ, පිටකෝට්ටේ එපිටමුල්ල පිහිටි ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයාගේ නිවසේ හදිසි සාකච්ඡාවක නිරත විය. අනුර ප්‍රියදර්ශන යාපා, නලීන් ප්‍රනාන්දු, දුමින්ද දිසානායක, නිමල් ලන්සා, ප්‍රියංකර ජයරත්න ඇතුළු පිරිසක්  ඊට එක්ව සිටියහ. සාකච්ඡාවට මුලපුරමින් පියංකර ජයරත්න කීවේ රාජපක්ෂලාගේ කඳවුරත් එක්ක දේශපාලනය මෙතනින් අවසන් කරන බව ය. 

රාජපක්ෂලාගේ දේශපාලනය එපා වෙච්ච අය  තමයි  මෙතෙන්ට ආවෙ‘ ප්‍රියංකර කීවේය. ජනාධිපතිතුමාගේ  කකුලෙන් ඇදීමට පොහොට්ටුවේම පිරිසක් කටයුතු කරන බව ඔහු කීවේය .අනුර යාපා කතාවට එක්වෙමින් කීවේ  තර්ටීන් ප්ලස් කියලා දෙන්න ඕනැ කියලා කියපු පොහොට්ටුවේ අය දැන් දහතුන දෙනවටත් විරුද්ධයි. ඒක දැන් සාගර කාරියවසම්  හැම තැනම කියාගෙන යනවා. අනුර යාපා කියද්දී ප්‍රියංකර කිව්වේ ඒගොල්ලො හැමතිස්සේම බලන්නෙ දේශපාලන වාසි ගන්න කියාය.

 

ශ්‍රීලනිපයේ අවුල

 

සංවත්සරය ලබන මස දෙවැනි දාට යෙදී  ඇත. ඒ වෙනුවෙන් සංවත්සර සමුළුව  පැවැත්වීමට මුලින්  සූදානම් කර තිබුණේ පක්ෂයේ මහලේකම් දයා සිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ආසනය වන  හෙට්ටිපොළ ප්‍රදේශයේය. සමුළුව වෙනුවෙන් හට් ගසා 5000 ක පමණ පිරිසක් ගෙන්වීමටද  කලින් සැලසුම් කර තිබිණ. ඒ සඳහා  කමිටුවක් ද පත්කර තිබූ අතර, එහි සභාපතිවරයා ලෙස පත්කර සිටියේ ෂාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාය. කෙසේ හෝ අවසානයේ සංවත්සර සමුළුව හෙට්ටිපොළින් කොළඹට ගෙන එන්නට තීරණය වී ඇත. ඒ අනුව සංවත්සර සමුළුව  ලබන තුන් වෙනිදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල්  හෝටලයේ දී පැවැත්වේ.දැනගන්නට ඇති පරිදි පක්ෂයේ මහ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් සිටින්නේ දැඩි කලකිරීමක  බව පැවසේ. එසේ වුවද කොළඹ දී පවත්වන්නට හේතු සාධක වී ඇත්තේ, ආණ්ඩුවට එක්ව සිටින නිමල් සිරිපාල, මහින්ද අමරවීර කණ්ඩායමේ ඉල්ලීම මත බවට පක්ෂය තුළ කතාබහට ලක්වෙමින් තිබේ මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන ෂාන්  විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාගේ උපන්දිනය ඉකුත් බදාදාට යෙදී තිබූ අතර, ඔහු ද පුදුම කරවමින් ඔහුගේ ආධාරකරුවන් ඔහු වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණ. ෂාන්ගේ උපන් ගම මෙන්ම, ආසනය ද වන අම්බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක මකර තොරණක් ද  ෂාන් වෙනුවෙන් ඉදිකර පූජා කිරීමට ඔහුගේ ආධාරකරුවන් කටයුතු යොදා තිබිණ‚. ඔහුට කියා තිබුණේ, උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද කිරීමේ පින්කමක් විහාරස්ථානයේ පැවැත්වෙන බව ය. 

 

 

ඊට සහභාගි වෙන්නට ගිය ෂාන්ට පිරිස ආරාධනය කළේ ඔවුන් විසින් ෂාන් වෙනුවෙන් ඉදිකරන ලද මකර තොරණ විවෘත කරන ලෙසය. මේ අමාරු කාලයේ මෙවැනි කටයුත්තක් කිරීම ගැන ෂාන් ඔවුන්ට ස්තුති කළේ උපන්දින තෑග්ග මහත් සේ අගය කරමිනි.

ජනාධිපතිවරණයට සැරසෙන  උත්තර සභාගය 

ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීම ස්ථීර ය. එය නියමිත කාලයට පැවැත්වෙනවා ද, එසේත් නැතිනම් කලින් පැවැත්වෙන වාද යන්න සම්බන්ධයෙන් තවමත් ස්ථීර නිගමනයක් නැත. ඒ කෙසේ වුවද දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් වෙන සූදානම නම් දැන් කල එළි බසිමින් තිබේ. තම තමන්ගේ කඳවුරු ශක්තිමත් කරනවාට අමතරව, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තැන තැන කෙරෙන රහස් කතාවලින්ද අඩුවක් නැත. උත්තර ලංකා සභාගයේ  මන්ත්‍රී කණ්ඩායම ද ගිය සතියේ දී රැස් විය. කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවති  එම හමුවට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, වෛද්‍ය ජී. වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
එහිදී කතාබහට ලක්වුණේ ජනාධිපතිවරණයක් කවදා පැවැත්වුණත් දැන් සිටම සූදානම් වීම අවශ්‍ය බවය. ඒ සඳහා වන වැඩපිළිවෙළකට සූදානම් විය යුතු බව ඔවුහු කීහ.

■ ගජබා



අදහස් (0)

නින්ද ආයෙත් ඇක්ටිව්ද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1356 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 488 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site