ගම්පෙරළිය නවකතාව මුල් වරට පළ වන්නේ 1944 දීය. මේ දක්වා මෙම නවකතාව යථාර්ථවාදී විචාර සම්ප්‍රදාය අතර හෙම්බත් විය. ඉන් අදහස් වන්නේ ගම්පෙරළිය දිගින් දිගටම ගමක වෙනස පිළිබඳ කියැවෙන නවකතාවකැයි යන ආස්ථානයේ දිගේලිව තිබුණ බවය.යථාර්ථවාදී විචාර සම්ප්‍රදාය අනුදත් පරිදි ඔවුන් මෙම නවකතාව තුළ හැම විටම සෙව්වේ සමාජය සහ එහි වෙනස්වීම් කවරාකාරයෙන් නියෝජනය වී තිබේද යන්නය. මෙම කියැවීම නිසා නවකතාවේ පාත්‍ර වර්ගයා පිළිබඳ ගැඹුරු කියැවීමක් සඳහා වූ අවස්ථාව කියවන්නියට අහිමි විය.වෙනත් ලෙසකින් කිවහොත් නවකතාවේ චරිත හරහා ආත්ම මූලිකත්වය (subjectivity) හඳුනා ගැනීමෙන් යථාර්ථය පුපුරා යන අයුරු කිසිවකුට හසු නොවිණි.
සම්ප්‍රදායික කලා විචාරය තුළ යථාර්ථය(reality) ලෙස තොරොම්බල් කරන්නේ අපගෙන් බාහිර පවතින සත්‍යයක් පිළිබඳ ඇදහීමය. එහෙත් යථාර්ථය තුළම පවතින අභ්‍යන්තර පසමිතුරුතාව විසින් එහි පිපිරීමක් සලකුණු කරන ආකාරය ගම්පෙරළිය නැවත කියැවීම තුළ අපට පෙනීයනු ඇත. නිදර්ශනයක් ලෙස කිවහොත් නන්දා ජිනදාසගේ අවමඟුල පැවැත්වීමේ අවස්ථාව අපට පෙන්විය හැකිය. ජිනදාස මිය ගිය බව නන්දා දැන ගන්නේ තම සැමියා මියගිය බව දන්වා සිටි විදුලි පුවතක් ලැබීමෙනි. මියගොස් තිබුණේ ඇගේ පෙර සැමියා වූ ජිනදාසය.පියල්ගේ මව ද සමග රත්නපුර රෝහලට යන නන්දා චාරිත්‍රානුකූල කෙටි අවමඟුලක් පවත්වා ජිනදාස භූමදානය කරන්නීය. මෙම තොරතුරු දැන ගන්නා පියල් එක්වරම පවසන්නේ ජිනදාස භූමදානය කිරීම සඳහා වියදම් කර තිබුණේ තමාගේ මුදල් බවය.
යටකී සිදුවීම කියවීමේදී යථාර්ථයේ සංකේතික ස්වරූපය පිළිබඳ වැටහීමක් අපට තිබිය යුතුය . සංකේතිකය (symbolic)අපගෙන් බාහිර පවතින්නේ යයි අදහන ඊනියා යථාර්ථය( නැතහොත් සමාජය) පිළිබඳ අපහේ බැඳීමට කියන වෙනත් නමකි.මෙය හැමවිටම භාෂාත්මකය. සම්ප්‍රදායික ස්ත්‍රිය මෙම සංකේතිකයේ නියමයන්ට මහත් සේ බැඳී හුන්නාය. ජිනදාස ආපසු නොඑන බැවින් තමා සමග විවාහ වන ලෙස පියල් දිගින් දිගටම කරන ලද ඇවිටිලි ඇය ප්‍රතික්ෂේප කරන්නේ මෙම සංකේතික බැඳීම නිසාය. ඇය බැඳී සිටියේ ජිනදාස සමග පැවති සංකේතික විවාහයටය. එහෙත් ජිනදාස මිය ගොස් ඇති බවට කරෝලිස් ගෙනා බොරු ආරංචිය ලැබීමෙන් පසු ඇය පියල් සමග විවාහ වීමට එකඟ වන්නීය.
පියල් සමග විවාහ වීමට පැවති එකී සංකේතික බාධාව පිළිබඳ කියැවීම සිහි ගන්වන්නේ නිකෝල් කිඩ්මන් රඟ පෑ Eyes Wide Shut නමැති සිනමා පටයයි.සිනමා පටයේ එක්තරා අවස්ථාවක බීමත්ව සිටින කිඩ්මන් ලිංගික සබඳටතාවක් සඳහා පොළඹවා ගැනීම්ට කිසියම් පුද්ගලයකු තැත් කරයි. ඇය එම අවස්ථාව මග හරින්නේ තම අතේ වෙදැඟිල්ලේ පැළඳි මුදුව පෙන්වමනි. ඔහුගේ යෝජනාවට එකඟ වීමට ඇයට ඇති බාධව ඉන් සංකේතවත් වන ඇගේ විවාහයයි. කෙසේ වෙතත් ගම්පෙරළිය නවකතාවේ යථෝක්ත සිදුවීම් මගින් යථාර්ථය ඇතුළතින් පුපුරා යන සැටි අපට පසක් කරවයි.
යම් කලා කෘතියක කලාත්මක භාවය පිළිබඳ ජිජැකියානු අර්ථ දැක්වීමක් මීට පෙර මම මළගිය ඇත්තෝ පිළිබඳ ලියද්දී අවදාරණය කළෙමි. එනම් කිසියම් කලා කෘතියක පවතින හිස් තැන්ක් වටා සමස්ත කලා කෘතිය කැරකෙන බවය. ඒ අනුව වීනස් ප්‍රතිමාව එහි අංග ඡේදනය වී තිබීම මගින් තම කලාත්මක බව තීව්‍ර කරයි. මළගිය ඇත්තෝ නවකතාවේ කලාත්මක බව තීව්‍ර කරන ලක්ෂණය වන්නේ දෙවෙන්දොරා සංගේ අතීතය රික්තමය අවකාශයක රහෝගත්ව තිබීමය. ඒ අනුව මළගිය ඇත්තෝ නවකතාව ලියවෙන්නේම දෙවෙන්දොරා සං ගේ ළමාවිය පිළිබඳ රික්තමය බව වටාය. නවකතාවේ යථාර්ථය හුදු පරිකලපනයක් බවත් එකී පරිකල්පනයම යථාර්ථය වන බවත් ඉන් අපට වැටහී යයි.
ගම්පෙරළිය නවකතාවේ එම රික්තමය අවස්ථාව ජිනදාසට සිදුවූයේ කුමක්දැයි නන්දා තබා කියවන්නිය ද නොදැන සිටීමය. ගම්පෙරළිය ටෙලි නාට්‍යයකට නගන අවස්ථාවේදී එහි තිර රචකයා වූ තිස්ස අබේසේකර එම හිස්තැන පුරවමින් ජිනදාසගේ කතාව පරිකල්පනය කරයි. එය සමාන වන්නේ වීනස් ප්‍රතිමාවේ අත් සවිකර එම අත්වලට තෝමර කඩු කිනිසි ආදී වූ අවි සපයා දීමක් බඳු තත්වයකි. එවිට සිදු වන්නේ වීනස් ප්‍රතිමාව බාල කලා නිර්මාණයක් බවට පිරි හෙළීමය. තිස්ස අබේසේකරගේ තිර නාටකය තුළ ගම්පෙරළියට අත් වන්නේ එබඳු ඉරණමකි.
කෙසේ වෙතත් ජිනදාසගේ මරණ කටයුතු කළේ තමාගේ මුදල්වලින් යයි පියල් කියන විට නන්දා තැති ගන්නීය. සංකේතිකය ඇතුළතින් පුපුරා යන්නේ එම නිමේෂයේදීය. එනම් ඇයට සංකේතනය කළ නොහැකි යථ (Real) මුණ ගැසීමය.පියල් සමග විවාහ වීමෙන් තමා ලබමින් සිටියේ සතුටක් නොව වේදනාවක් බව ඇය වටහා ගනී.
ගම්පෙරළිය නවකතාව මා කියවන්නේ පෙම් කතාවක් ලෙසය. එය රාගයත් ලිංගිකත්වයත් රහෝගතව පවතින කතාවකි. සම්ප්‍රදායික යථාර්ථවාදී විචාරයට හසු නොවුණ ද ලෙස්ටර් නවකතාව සිනමාවට නගන විට එය උදීරණය කරයි. සිනමාව කොහොමටත් අපට ආශා කිරීමට උගන්වන විපරීත කලාවක් වීම වෙනම කරුණකි. සිනමා පටය පිළිබඳ වික්‍රමසිංහ මහතා නොපහන් වන්නේ එබැවිනි. ගම්පෙරළිය නවකතාවේ පෙම් පුවතට එක්තරා ආකාරයකින්න් සමානතාවක් දරන නවකතාවක් ලෙස ජේන් ඔස්ටින්ගේ Pride and Prejudice නම් වූ සම්භාව්‍ය නවකතාව සැලකිය හැකිය. එහිදී තරුණයා ධනවත් කුලීනයකු වන අතර තරුණිය දුගී බවට පත් මධ්‍යම පාන්තික පවුලකට අයත් වෙයි. ඔවූහු එකිනෙකාට ආකර්ෂණයවී සිටිති. එහිදී තරුණයාගේ විවාහ යෝජනාව තරුණිය ප්‍රතික්ෂේප කරන්නීය.
ජේන් ඔස්ටින්ගේ මෙම චරිතවල හැසිරීම පිළිබඳ විවරණයක යෙදෙන ස්ලාවෝ ජිජැක් දෙදෙනාගේ මෙම දෙයාකාර නැතහොත් අන්‍යෝන්‍ය ලෙස හඳුනගැනීම එකිනෙකා අනෙකාගේ පණිවිඩය තමාගේම විපර්‍යස්ථ (conversely ) පණිවිඩය සේ ගැනීමෙන් සැකසෙන්නක් බව සඳහ්න් කර ඇත. එලිසෙබත්ට (තරුණිය) අවශ්‍ය තමා මනා පැවතුම් ඇති තරුණියක ලෙස පෙනී සිටීමය. ඇයට ඔහුගෙන් ලැබෙන පණිවිඩය වන්නේ ඔබ බොරු ප්‍රශස්ත කමක් පෙන්වන හිස් මනසක් ඇති එකියක යන්නය. ඩාර්සිට (තරුණයාට) අවශ්‍ය තමා අභිමානවත් ධනවතකු ලෙස පෙනී සිටීමය.එවිට ඔහුට ඇයගෙන් ලැබෙන පණිවිඩය වන්නේ ඔබගේ අභිමානය යනු බොරු අහංකාර කමකි. ඔවුන්ගේ ප්‍රේමය බිඳ වැටීමෙන් පසු සිදුවන සිදුවීම් හරහා එකිනෙකාගේ නියම ස්වභාවය ඔවූහු වටහා ගනිති. ඇය වූකලී ඩාර්සිට අවශ්‍ය මෘදු සංවේදී ස්ත්‍රියකි. ඔහු වූකලී ඇයට අවශ්‍ය නියම ගරු කටයුතු ප්‍රඥාවන්ත අයෙකි. නවකතාව අවසන් වන්නේ ඔවුන්ගේ විවාහයෙනි.
ගම්පෙරළිය නවකතාව අවසන් වන්නේ පියල් සහ නන්දා විවහ වී සිටින යුවළක් වශයෙනි. එහෙත් මුලදීම ඔවුන්ගේ ප්‍රේමය බිඳ වැටී නන්දා අනෙකකු සමග විවාහ වන්නීය. යම් ලෙසකින් පියල්ගේ උගත්කම සහ ධනවත්කම කයිසාරුවත්තට ගැළපී ඔවුන් විවාහ වූවා නම් සිදුවිය හැකිව තිබුණේ කුමක්ද? ජේන් ඔස්ටින්ගේ නවකතාවේදී ඔවුනොවුන් කෙරේ වූ වරදවා හඳුනා ගැනීම ඵලදායී කොන්දේසියක් ලෙස වැඩ කර ඇත.
එහෙත් එවැන්නක් නොවීමෙන් පියල් නන්දා ප්‍රේමය බිඳ වැටීම ඔවුන්ගේම යහපත පිණිස විය. යම් ලෙසකින් මුලදීම ඔවුන් විවාහ වූවා නම් එය බොරු අහංකාරයකින් දැපුන ගැහැනියක සහ ධනවත් කමින් සහ උගත් කමින් හිස උදුම්මා ගැනීම නිසා කුලවත්කම මිලදී ගැනීමට සිතන මිනිසකු අතර සිදුවන වනචර විවාහයක් වීමට ඉඩ තිබිණ. වරදවා හඳුනා ගැනීම් (mis recognition) හරහා යාමෙන් අනෙකාගේ සැබෑ ස්වභාවය වටහා ගැනීමට අවස්ථාවක් ලැබීම තුළ තම අඩුව ජය ගැනීමට හැකිවීම නිසා ඩාර්සිට ඔහුගේ බොරු අහංකාරයෙන් මිදීමටත් එලිසෙබෙත්ට ඇගේ අග හිඟ කමින් මිදීමටත් හැකි විය. එහෙත් එබඳු අවස්ථාවක් පියල්ට සහ නන්දාට එළැඹෙන්නේ නන්දාගේ ප්‍රථම විවාහය ද බිඳ වැටීමෙන් පසුවය.
ඇත්තටම එතනදී සිදුවූයේ පියල්ගේ හිස උදුම්මා ගැනීම සහ නන්දාගේ බොරු අහංකාරය එකිනෙකාගෙන් ස්වායත්තව නැතහොත් ස්වධීනව පැවතුන කිසිවක් නොවීමය.හෙගලියානු අපෝහකයට අනුව (dialectics) විවරණය කළහොත් ඌනතාව (lack) ලෙස සංජානනය කරන්නේ ඔහුගේ/ඇගේ ආත්ම මූලිකත්වයේ ව්‍යාජ බවය. ජිජැක්ට අනුව අනෙකාගේ ඌනතාවය යනු සරලව කිවහොත් තමාගේම දැක්මෙහි විකෘත වීම (distortion) වස්තුකරණය (objectification ) කිරීමකි. ඒ අනුව නන්දා පියල් තුළත් පියල් නන්දා තුළත් ස්ථානගතව සිටියහ. එනම් පියල්ගේ උද්දච්ඡ කම යනු නන්දාට පරම්පරාවෙන් උරුම වූ බොරු අහංකාර කමමය. නන්දාගේ බොරු අහංකාරය යනු පියල්ට තම ධනය, ඉහළ යාමේ අශාව සහ උගත්කම විසින් සපයන ලද උද්දච්ඡකමය.
සම්ප්‍රදායික යථාර්ථවාදී විචාරය හුදු ගමක පෙරළියක් බවට ලඝු කර තිබූ ගම්පෙරළිය නවකතාව සංකීර්ණ ප්‍රේම කතාවක් වන්නේ එලෙසය.
එක්තරා කාලයක අරුන්ද රෝයි අපේ රටේ සාහිත්‍යකරුවන් අතර අධිනිශ්චය වී තිබිණි. කොටින්ම සති අන්ත සිංහල පුවත්පත්වලට අරුන්දතී රෝයි නැතුවම බැරි විය.
සමන් නන්දලාල් මුහුණු පොතෙහි සටහනක් තබමින් තමන් පොතක් ගැන ලංකාදීප ’’මතුමහල’’ විශේෂාංගයට ලියන ලිපිය නවත්වන බව නිවේදනය කර තිබිණ. ඒ අතරම තමාගේ ලිවීම විචා
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගම්පෙරළිය ප්‍රේම කතාවක්