IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මළගිය ඇත්තෝ යළි නොමරනු !

 

කලකට පෙර මම සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ නවකතාව ප්‍රස්තූත කොට ගනිමින් “මළගිය ඇත්තෝ යළි ඉපදෙති” යනුවෙන් ග්‍රන්ථයක් රචනා කළෙමි. මේ පොත කියවූ එරික් ඉලයප්ප ආරච්චි ලේඛකයා ඔහු ලියූ “සමකාලීන සාහිත්‍ය විචාර - සුචරිත දීප්ති සමන්” නමැති ග්‍රන්ථයේ මෙසේ සටහන් කරයි.

“ඇලිස්ගේ විස්මලන්තයට පිවිසෙන අයුරින් සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ නවකතාව පරිච්ඡේදයෙන් පරිච්ඡේදය කියවන සමන් වික්‍රමාරච්චි එතෙක් කලක් කිසිදු විචාරකයකු නුදුටු තරමේ අගයක් ඒ තුළ දකියි. මනෝ විශ්ලේෂණාත්මක ලෙස ඒ තුළ පවත්නා සංගත භාවය පැහැදිලි කිරීම හැරුණු විට ඒ නවකතාවේ සැබෑ අන්තර්ගතයට පිටුපා අනම් මනම් දොඩවන්නන්ටද එයින් පිළිතුරු ලැබේ. මළගිය ඇත්තෝද “සතුටේ ඉරණම” පිළිබඳ වෘතාන්තයක් බව එම දීර්ග විචාරයෙන් පැහැදිලි වේ. දෙදෙනෙකු පෙමින් බැඳීමෙන් ළඟා කර ගන්නා සතුට, ලිංගික සතුට, කලාව හැදෑරීම් සතුට කවර ආකාරයේ ඉරණමක් කරා ළඟා වී තිබේද යන බව එහි විවරණය වී ඇත.”

- එරික් ඉලයප්ප ආරච්චි - සමකාලීන සාහිත්‍ය විචාර, 151 පිටුව -

 

මොනවා වුණත් එරික්ගේ මේ ලිවීම කුහක කමින් බොරුවට නිදා සිටින්නන්ට කනට පහරක් දී ඇහැරවයි. මගේ කියවීමේ යතුර මනෝ විශ්ලේෂණය බව එරික් හඳුනා ගනියි. එහෙත් එරික්ට සේම මටද මග හැරුණ කරුණක් එහි වේ. එම විචාරයේ ලා මා මනෝවිශ්ලේෂණය භාවිතා කරන්නේ යාන්ත්‍රික ලෙසය. සරලව කිවහොත් එය ඥාන විභාගාත්මක ප්‍රවේශයකි. මේ නිසා දෙවෙන්දොරා සංගේ ආසියාතික ගැමි ආත්මය පිළිබඳ කියවීම අපට මග හැරෙයි.

එයට පටහැනි ලෙස මෙම ලිවීම තුළ මා උත්සාහ කරන්නේ සත්භාවාත්මක (ontological) ප්‍රවේශයක් තුළ දෙවෙන්දොරා සංගේ ආසියාතික ගැමි ආත්මය ඔබට සම්ම්මුඛ කරවීමට ය. මළගිය ඇත්තෝ නවකතාවේ මුල් පරිච්ඡේද හතර මගින් විස්තර වන්නේ දෙවෙන්දොරා සං ජපානය සමග ප්‍රාථමික ලෙස අනන්‍ය වන අයුරුය. එහෙත් ඔහු අනන්‍ය වන්නේ කවර වූ ජපානයක් සමගද?

දෙවෙන්දොරා සංගේ ආත්මයට (subject) ගැළපෙන ජපානයක් ඔහුට හමුවන්නේද?

නවකතාව ආරම්භයේ සිටම දෙවෙන්දොරා සං රට රටවල සංචාරය කරමින් තම අනන්‍යතාව පිළිබඳ ගැටලුව සමග පොර බදන සැටි දැක්වෙයි. පළමුව එය ඉදිරිපත් වන්නේ මෙසේය.

“අනතුරුව මම නේපාලය හා භූතානයට ද තිබ්බතයටද ගොස් ඒ රටවල තිබෙන තාන්ත්‍රික චිත්‍ර කලාව මැනවින් පුහුණු කළෙමි. මා ආපසු ලක්දිව අවුත් මෙහිදී ප්‍රදර්ශනයක් පැවැත් වූ කල විවේචකයන් කීවේ මටම හිමි වූ ශෛලියක් මා තාම සොයා ගෙන නැති බවය.”

- මළගිය ඇත්තෝ - පිටුව 2 -

 

ඉන් කියවෙන්නේ විචාරක මතයම නොව ඔහුගේම ෆැන්ටසියයි.ඔහු සිටින්නේ අනන්‍යතා අර්බුදයක බව ඉන් ගම්‍ය වන ප්‍රධාන කරුණ ලෙස සැලකිය යුතුය. ඉන් පසු එංගලන්තයට ගොස් චිත්‍ර ප්‍රදර්ශන පවත්වන දෙවෙන්දොරා සං ගිහියකුව සිටිය ද සිවුරු ලා ගෙන ඒවාහී පෙනීසිටි බව කීමෙන් ඔහු පැටලී සිටි අනන්‍යතා අර්බුදය කැපී පෙනෙයි. ඔහු ජපානයට පැමිණීමට පෙර එංගලන්තයේ ගත කරන ජීවිතය පිළිබඳ පවසන කරුණු ඔහුගේ බෙලහීන ලාංකීය ගොවි ආත්මයේ ප්‍රකාශනයකි. එතනදී එක් අතෙකින් ඔහු තමා අරවින්ද බඳු බෙලහීන චරිතයක් බව එළිදරව් කරන අතර එහි කැපී පෙනෙන කරුණ නම් දෙවෙන්දොරා සං ගේ චරිතයෙහි ආසියාතික ගුප්ත භාවය ඉන් ප්‍රකට වීමය.

“සිවුරු හැරියායින් පසු, හුදු චිත්‍ර කරුවකු වශයෙන් මගේ රටේ මට ජීවිකාවක් සපයා ගත නොහැකි බව මම දැන සිටියෙමි. එහෙත් එංගලන්තයෙහිද මට හැමදාම ජීවත් විය නොහැකිය . එහි කාමරයක් තුළට වී ලන්ඩනයේ ගතකළ ජීවිතය ද මට එපා විය. එහෙයින් අවුරුද්දක් පමණ එංගලන්තයෙහි වාසය කොට මම ආපසු සිය රට බලා පිටත් වීමි.”

- මළගිය ඇත්තෝ - පිටුව 3 

 

දෙවෙන්දොරා සං ගේ මෙම විගලිත චරිත ස්වභාවය අපට සිහිපත් කරවන්නේ විරාගයේ අරවින්දය. තත්කාලීන නවකතා තුළ නිරූපණය වූ සියලු චරිතවල ලක්ෂණය වූයේ මෙම අරවින්දියානු බෙලහීන බවයි.එනම් ඉන් ප්‍රකට කළේ ආසියාතික ගැමි ගුප්ත භාවයයි. දෙවෙන්දොරා සං ජපානයට අනන්‍ය වීමේදී සිතන්නේ තමාගේ ආත්මයට ගැළපෙන රට හමුවූ බවය.

මෙම පෙරදිග රටකට අනන්‍ය වීමේ ගුප්ත භාවය කවරාකාර වේද යන්න ජිජැක් The Parallax View (අසම්පාතක දෘෂ්ටිය) නමැති ග්‍රන්ථයේ පැහැදිලි කරයි. එය එක්තරා ආකාරයකින් යමක් පවතින බව විශ්වාස කිරීමකි. ජිජැක්ට අනුව ඇලන් බදියු (Alain Badiou) ඔහුගේ නොපළ කෘතියක පවසන්නේ “මම විශ්වාස කරමි” යන  අස්ථ්‍යාර්ථයෙහි (affirmation) නිශේධනය නම් “මම හැබෑවටම විශ්වාස නොකරමි. විශ්වාස කරන බවට හුදු හැඟවීමකි” යන්න බවය. හෙගලියානු නිශේධනයේ නිශේධනය එයයි. එහි අර්ථය නම් “මම විශ්වාස කරන බව අඟවන බව අඟවමි.” යන්නය. එනම් මා සැබවින්ම විශ්වාස කරන්නේ ඒ ගැන වැටහීමක් නොමැතිව යන්නය. ජපානය ආසියාතික මායාවී ලෝකයක් ලෙස දෙවෙන්දොරා සං ගේ මනසේ නිර්මාණය වන ප්‍රබන්ධය මෙම ජිජැකියානු කියවීම් සමර්ථනය කරයි. යථාර්ථය යනුවෙන් අප හඳුනා ගන්නේ ප්‍රබන්ධය සහ මායාව සං‍රචකයක් ලෙස ගත් කිසිවකි. ප්‍රබන්ධය සහ මායාව (fiction and illusion) ප්‍රතික්ෂේප කළ සැණින් යථාර්ථය අපට අහිමි වී යයි. කොටින්ම ප්‍රබන්ධය යථාර්ථයෙන් ලඝු කළ විට යථාර්ථය එහි අනවස්ථිත - තාර්කික අචල බව අහිමි කර ගනී. ( ජිජැක් ගේ The tarrying with the Negative (නිෂේධය සමග තාවර වීම) කියවන්න.

ජිජැක්ට අනුව ලැකානියානු අරුතින්,යථාර්ථය යනු සියල්ල නොවේ.(ජිජැක් මේ බව පවසන්නේ ග්ලින් ඩාලි සමග කළ සාකච්ඡාවෙදීය). යථාර්ථය තුළම යම් පරතරයක් පවතී. මෙම පරතරය පියවන්නේ ෆැන්ටසිය විසිනි.දෙවෙන්දොරා සං විස්තර කරන ජපානය ඔහුගේ ම ෆැන්ටසි ආස්ථානයයි. (ඔහුට අවශ්‍ය අනන්‍ය වීමට වස්තුවක් නොව දුරස්ථ බව නඩත්තු කළ හැකි තත්වයකි). එහෙත් මළගිය ඇත්තෝ යළි කියවන මහාචාර්ය සුචරිත ගම්ලත්ට එය මගහැරී යන සැටි විමසීම අපගේ මෙම කියවීම වෙනත් මානයක් වෙත කැඳවයි.

නවකතාවක අරමුණ යථාර්ථය ඥානනය කිරීමය යන ප්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිමින් මහාචාර්ය සුචරිත ගම්ලත් මළගිය ඇත්තෝ අරබයා කරන මෙම කියවීම උපුටා ගන්නේ 2010 දී ඔහු ලියූ “මළගිය ඇත්තෝ සමග නවකතා කලාව” ග්‍රන්ථයෙනි.

“නවකතාව නිරූපණය කරන්නේ ජීවන ප්‍රවාහයෙන් ඛණ්ඩයකි. ජීවිතයෙන් පෙත්තකැයි කියාද කිව හැකිය.

“නවකතාවත් එය විසින් නිරූපණය කෙරෙන මනුෂ්‍ය ජීවිතයත් සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් ප්‍රකාශනයකි.

“ජීවිතය නිරන්තර චලනයෙහි නියුතුයි. නවකතාවට ගෝචර වන්නේ ඒ චලන ප්‍රවාහයෙන් ඛණ්ඩයකි යනු මෙහි අර්ථයයි.

“දිගු කලක් චිත්‍ර කලාව සම්පර්කයෙන් කල් ගෙවූ හෙයින් දෙවෙන්දොරා සං ගේ රසඥතාව, රස සංවේදනය සියුම් බවට පත් වී ඇත. බැලූ බැලූ හැම අතම ඔහු දකින්නේ අපූරු සෞන්දර්යයකි. එයින් ඔහු අමන්දානන්දයට පත් වෙයි”.

සැබවින්ම මෙම විවරණය තුළ අපට හමුවන්නේ අතිශය විඥානවාදී ලෙස නවකතාව සහ නවකතාවෙහි එන චරිත සමග අනන්‍ය වන විචාරකයෙකි.ඔහු නවකතාකරුවාගේ විඥානවාදී අභිප්‍රායට යටත් වෙයි. අනතුරුව ගම්ලත් යථාර්ථවාදී නවකතාව ලෙස මෙහි ඉදිරිපත් කරන්නේ ෆෝස්ටරියනු වර්ගයේ කතා කලාවකි.

ඔහු මළගිය ඇත්තෝ නවකතාවෙන් දීර්ඝව උපුටා දක්වමින් ජපාන සෞන්දර්ය පිළිබඳ පාරභෞතික කියවීමක යෙදෙයි. එම දීර්ඝ කියවීම අවසන එළැඹෙන නිගමනය තථ්‍ය සමාන යථාර්ථය (virtual reality) තුළ ගිලී යන විචාරකයකු හමුවෙයි. මහාචාර් ය ගම්ලත් මෙසේ ලියයි.

“මෙවැනි සියුම් නිරීක්ෂණ කළ හැක්කේ තුණු රස සන්නිවෙදනයෙන් යුතු සෞන්දර්ය කාමියකුට පමණක් බව කියනුම කවරේද?” මෙබඳු ඌනිත කියවීමක් තුළ මග හැරී යන දේ නම් යථාර්ථය යනුම ප්‍රබන්ධයක් බව නොදැකීමය. එම නිරීක්ෂණ දෙවෙන්දොරා සං ගේම පරිකල්පනය. සැබවින්ම ජපාන සංස්කෘ තිය පිළිබඳ මෙම විස්තරය දෙවෙන්දොරා සං ජපානය දකින ආකාරයත් නොව ජපානය පෙරළා ඔහු දෙස බලන ආකාරයක් නැතහොත් බද්ධ දෘෂ්ටියක් (Gaze) බව අප වටහා ගත යුතුය. සරච්චන්ද්‍රයන් නිර්මාණශීලී විද්වත් ලේඛකයකු ලෙස අපට මතු කර ගත හැකි වනු ඇත්තේ එබඳු සියුම් වෙනස් ආකරයේ කියවීමකිනි. එසේ නොවන්නේ නම් සිදු වන්නේ මළගිය ඇත්තෝ යළි යළිත් මියෑදීමට ඉඩ හැරීමය.

සැබවින්ම සරච්චන්ද්‍ර මෙහි ලා නිර්මාණය කරන්නේ ආසියාතික (ලාංකේය) ගොවි ආත්මයට ගැළපෙන ස්ත්‍රියකි. ද්වෙන්දොරා සං ට නොවැටහෙන දේ නම් (නැතහොත් විචාරකයන්ට නොවැටහෙන දේ නම්) ඔහු විසින්ම නිර්මාණය කළ සංකේතික ලෝකයේම කොටසක් බවට තමා පත්ව සිටින බවය. අරවින්දයානු බෙලහීන ආත්මය ඉල්ලා සිටින ආත්මයක් ඔහු ජපාන ස්ත්‍රිය තුළ සොයයි. ඇය වූ කලී එංගලන්තය හෝ වෙනත් බටහිර රටක දැකිය නොහැකි සාරාත්මයකි.එහෙත් සැබෑව නම් තමාම නිර්මාණය කළ ලෝකය ඔහුට මළ පුඩුවක් (dead lock)වී තිබෙන බවය.



අදහස් (0)

මළගිය ඇත්තෝ යළි නොමරනු !

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 698 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17866 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site