
මහාචර්ය සුනිල් ආරියරත්නගේ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ බරපතළ සමාජ ඛෙිදවාචකයක ආත්මීය අඬහැරය සුවිශද කරයි.
නැසීගිය අග්‍රගණ්‍ය ගායන ශිල්පිනී නන්දා මාලිනීයන් මෙි ගීතය ගයද්දී හින්දි චිත්‍රපට රැල්ලක්,උන්මාදයක් ලාංකික සමාජය වෙළාගෙන තිබිණි.අනූව දශකයේ සමාජ පිළිබිඹුව මෙි සමස්ත ගීසපුව තුළ අන්තර්ගත නොවෙිද?එකල තරුණ තරුණියෝ ජීවිතය මහත් සැහැල්ලුවට ගෙන සිහින ලෝකවල ජීවත් වූහ.ඔවුහු නුගිනුරා ප්‍රේමයෙන් මුසපත්වී වල්මත් වූවෝය.මහැදුරු සුනිලුන් මෙි ගීතය ලියන වකවානුවේ බොළඳ හින්දි සිනමාව මෙරට තරුණ තරුණියන් මෝහනයට පත්කර තිබිණි.එහෙත් පූර්වෝක්ත ගීතය ලියූ මහැදුරු සුනිලුන්ට දෙඤ්ඤං බැටෙි විචාරකයෝ එළවා එළවා පහර දුන්හ.මෙම ගීතය සංකේතීය විචාරයකට ලක් නොකර ඇතැම් විචාර විදූෂකයෝ එහි ඝෘණාත්මක පැත්ත පමණක් උලුප්පා දැක්වූහ.
එහෙත් මෙම සුදුර්ලභ ගීමිණෙහි ඇති උපහාසය (Sarcasm ) සහ උත්ප්‍රාසය ( Irony) ඔවුහු නොදුටුවෝය.උපහාසය යනු කිම? සමාජයේ වැරැදි
දුර්වලතා,,නුනුවණ,අඳබාල මුග්ධ චර්යා සරදමට ලක් කිරීමය.උත්ප්‍රාසය වනාහි අපේක්ෂා කළ දෙයට හාත්පසින්ම වෙනස් ප්‍රතිවිරුද්ධ දෙයක් සිදුවීමය.එහෙත් මෙහිදී රචකයා සමාජය වෙත හෙළන්නේ සදය උපහාසයකි.අනූව දශකයේ සංස්කෘතික ආක්‍රමණය සුළුපටු නොවෙි.එකල අනුකාරක හින්දි ගී චිත්‍රපට රැල්ලට අමතරව බොළඳ මල් පත්තර කලාවක් ද ලංකාවෙි ව්‍යාප්තවී තිබිණ.සුවඳ,අරලිය,කුමරි,සඳරේණු වැනි ටැබ්ලොයිඩ් පත්තර පිටුපුරා අරක්ගෙන සිටියේ අමීර් ඛාන්,සලමන් ඛාන්,ෂාරුක් ඛාන්,මධුරි ඩික්සිත්,ජුහි චවුලා කාජල් වැනි නළු නිළියෝය.මෙකී නළු නිළියෝ එකල තාරුණ්‍යයේ සිහින කුමර කුමරියෝය.එහෙත් අවිචාරයෙන් වැළඳගත් අයථාර්ථවත් මෙි සින්තටික් සිහිනය යථාර්ථයයක් නොවන බව කියා පාමින් මහැදුරු සුනිල් ආරියරත්නයෝ මෙි ගීතයෙන් සමාජය වෙත ප්‍රබල කනේ පහරක් එල්ල කරති.
යනවානං අනේ මං අරන්
යන තැනකට යන්න රත්තරන්
හිඟා කකා කොළපතක් අරන්
ලුණුයි බතුයි කමුකො රත්තරන්
සීත හිමේ කඳු පාමුල
හින්දි සින්දුවක් කිය කිය
හිඟාන ආ ලුණුයි බතුයි කමුකො රත්තරන්
ඊට පස්සේ දුන්හිඳ ළඟ නටමු රත්තරන්
සතය සතය එකතු කරලා
රහසේ කැටයකට දමලා
නුවරඑළියෙ ටජ් මහලක් හදමු රත්තරන්
සාරි ඉරලා ජනෙල්වලට දමමු රත්තරන්
මෙි ගීතයේ කථකාව ලද බොළඳ තරුණියකි.ඇය තම පෙම්වතා සමඟ අහස් මාළිගා තනමින් ජීවත් වන්නීය.ඔවුහු පීඩත පන්තියේ ප්‍රේමවන්තයෝය.ඇයගේ ඒකායන අරමුණ වනුයේ සිඟමනට වැටී හෝ තම ආදර විජිතයේ යෙහෙන් වැජඹීමටය.එහෙත් මෙි වචන තුළ ඇත්තේ කුමන ජීවන යථාර්ථයයක් ද?ඇත්ත ජීවිතයත් පරිකල්පනීය ජීවිතයත් අතර අතරමං වූ මෙි තරුණ්‍ය වෙත රචකයා නගන සදය උපහාසය ගීතයේ ස්ථායි කොටසින් ම මොනවට පැහැදිලි වෙි.ලුණුයි බතුයි කමින් ජීවත් විය නොහැකී බව නොදන්නෝ කවරහුද?
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි යනුවෙන් කියමනක් ඇත.මෙහිදී දුගී ජිවන අපේක්ෂාවත් මනෝරාජික සිහිනයත් යන දෙකම එකම පද පේළියට ගැළපීම ප්‍රබල ප්‍රහසනයක් නොවෙිද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd