IMG-LOGO

2025 අගෝස්තු මස 30 වන සෙනසුරාදා


පැණි කුරුල්ලනේ

 

 

ලූෂන් බුලත්සිංහලයන්ගේ ධ්වනිතාර්ථ පූර්ණ ගේය පද රචනයෙන් ද මිල්ටන් මල්ලවාරච්විගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකරණයෙන් ද සුපෝෂිත මෙි ගීමිණ සොබාදහමේ සොඳුරු අසිරිය පිළිබඳ පමණක් නොව ඊට විනකටින මිනිසාට අත්වන භයානක ඉරණම ද මොනවට පැහැදිලි කරයි.

"මහ රජ ඔබ මේ වනයෙහි අයිතිකරු නොව භාරකරුවාය. මේ වන අරණෙහි නිදැල්ලේ සරන සතා සිවුපාවුන් මෙන්ම අහසේ පියා සරන විහඟුන් ද එහි උරුමකරුවෝය”

ක්‍රි:පූ 3 වැනි සියවසේ ලංකාවට බුදු දහම ප්‍රචාරය කිරීමට වැඩම කළ මිහිඳු මාහිමියෝ දඩබිමෙි සිටි දේවානම් පියතිස්ස රජුන්ට යටකී ප්‍රකාශය කළහ.මිහිඳු හිමියන්ගේ ඉගැන්වීමට අනුව සොබාදහමේ සැබෑ උරුමක්කරුවෝ සතාසිවුපාවෝය. මෙනයින් සොබාදහම විනාශ කිරීමට තැත් කරන්නෝ සියතින් ගෙල සිඳ ගන්නෝය.

මෙි වූකලි මිනිස් ක්‍රියාකාරකම් හමුවේ සොබාදහමට සිදුවී ඇති සන්තෑසිය අපූරුවට සුවිශද කරන මාහැඟි ගීමිණක් නොවෙිද ?මෙහිදී පුංචි පුතා යනු අලුත් පරම්පරාවයි.එහෙත් අලුත් පරම්පරාවට පැණිකුරුල්ලන්,නිල් කොබෙයියන් වැනි සුන්දර විහඟුන් දැක ගැනීමට වාසනාවක් කොහිද?මේ සියලු සතුන් ක්‍රමයෙන් වඳ වී ගොස්ය.කොන්ක්‍රීට් වනාන්තරයේ ජීවත්වන මිනිසාට සොබා සොඳුරු සිරි නැරඹීමට වෙිලාවක් නැත.කැලෑ පාළුවෝ ගස් කපති.මුළුමහත් පරිසරය ම සෝදාපාළු කරති.අවසානයේ කම්හල්,සංචාරක හෝටල් ඉදිකර සියලු වස විෂ සහිත රසායනික ද්‍රව්‍ය ඇළ දොළ ගංගා වෙත මුදාහරිති.සොබාදහමේ දායාද බඳු විවිධ ජීවිහු යටකී රසායනික ද්‍රව්‍ය මුසු ජලයට,වාතයට ගොදුරු වී අකාලයේ මිය ඇදෙති.තිරිසන් සතුන්ට පමණක් නොව මිනිසා ද මෙකී පාරිසරික විනාශයෙන් භයානක රෝගාබාධවලට ගොදුරු වෙයි.වකුගඩු රෝග එයිනුත් ප්‍රමුඛ තන්හිලා ගිණිය හැකිය.අපිරිසිදු වාතයෙන් ශ්වසන රෝග පවා වැළඳේ.තතු ⁣එසේ වූව ද සොබාදහමෙි වටිනාකම නොදැන මිනිසා එය මර්දනය කිරීමට නිතර උත්සාහ කරයි.ගස් නැත්නම් මිනිසා කම්බස්ය.

ආහාර නැතිව දින ගණනක් සිටිය ද ඔක්සිජන් නැතිව මිනිසාට එක තත්පරයක් සිටිය නොහැකිය.එබැවින් කැලේ ගහකොළ කපා විනාශ කිරීමෙන් සිදුවන්නේ මිනිසාගේ ආයූ කාලය තවත් කෙටිවී අනාගත පරම්පරාව රෝගීන් බවට පත්වීම පමණි.එහෙත් එකල එසේ නොවෙි.අපේ පැරණි මුතුන් මිත්තෝ ගහකොළට සතාසිවුපාවුන්ට,ඇළ දොළ ගංගාවලට පණමෙන් ආදරය කළහ.එදා පරිසරය ආස්වාද ජනකය.ඇසිදිසි මානයේ පැතිර යන හරිත වර්ණයෙන් බබළන නැනිතලාය.බැලු බැලු අත නෙත් සිත් සනහන දසුන්ය.එහෙත් අද වනාන්තරය නගරය කියා වෙනසක් නැත.හැමතැනම දිස්වන්නේ ගහකොළ නැති වියළි කර වූ,රතුපස් පෑදුණු බිම් පෙදෙස්ය.එහෙත් සොබාදහමේ මළගම උඩින් ගොඩනගන සංවර්ධනයෙන් මිනිසාට කුමන පලක් ද?මිනිසාගෙන් ක්‍රමයෙන් ඈත්වන සොබාදහමේ සොඳුරු පරිසරය පිළිබඳ ලුෂන් බුලත්සිංහලයෝ මෙි ගීතයෙන් මොනවට පැහැදිලි කරති.මිල්ටන් මල්ලවාරච්චිගේ ප්‍රේමනීය ස්වර මාධූර්යයට මෙි ගීතයේ වැසි අරුත සැඟවී ගියා දැයි විටෙක සිතේ.එහෙත් මෙි වූකලී සොබාදහමේ විනාශය පිළිබඳ ⁣පමණක් නොව එයින් ඇතිවන භායානක ප්‍රතිිඵල පිළිබඳ අපට කියාදෙන කලාත්මක ගීමිණකි.

 

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ

ගිය තැනකින් වරෙල්ලා

පුංචි පුතා ඇවිල්ලා

කැලේ පැන්න මං වගේම බාල සන්දියේ

දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

 

එදා පරිසරය වර්ණවත් කළ පැණි කුරුල්ලන්, නිල් කොබෙයියන් වැනි සුන්දර විහඟුන් අද ක්‍රමයෙන් වඳ වී ගොසිනි.අනාගත පරපුර එබඳු පාරිසරික වස්තු,සොබාදහමේ දායාද දැකගැනීමට නොතිත් ආසාවෙන් බලා සිටියි.එහෙත් ඒ ⁣සුන්දර සතුන් ආගිය තැනක් නැත.මෙහිදී පුංචි පුතා යනු අනාගත පරපුරයි.පුංචි කාලේ කැලේ පැන සෙල්ලම් දඟ වැඩ කළත් මෙහි කථකයා පවසන්නේ තමා කුරුල්ලන්ට පණමෙන් ආදරය කළ බව නොවෙිද?

 

අඹ දඔ නාරන් ගස් යට කජු පුහුලන්

මොරගස් යට

අපි වගේම ලුණු පනින්න කැට පොල විදලා

පුංචි පුතා එන්න කලින්

උන් හිටතැන් නැතිවුණදා

ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා

 

මෙි කථකයා පවසන්නේ එකල තමා කැලේට ගොස් මිතුරන් සමග අඹ,දඹ,නාරං,කජු වැනි ගඩා ගෙඩි කඩාගෙන කෑමෙන් මහත් තෘප්තියක්,විනෝදයක් අත්විඳි බවය.එහෙත් අද වනාන්තරයේ එබඳු ගහකොළ නැති බවත් ඒ සියල්ල කැලෑ පාළුවන් විනාශ කර නව කම්හල් හෝටල් අහස සූරන මැඳුරු ඉදිකර ඇති බවත් ඔහු නොකියා කියයි.අනාගත පරපුර බිහිවන විට පෙර පරම්පරාවට උන්හිටි තැන් පවා අහිමිවී ගොස්ය.එදා ගහට ගහක් බැද්දේ මුණගැසුණ ද අද ගහට ගහක් මුණගැසෙන්නේ ලී මඩුවකදී පමණි.කාලයාගේ ඇවෑමෙන් සියල්ල උඩුයටිකුරුවී සොබාදහම වළපල්ලට ගොස් ඇති බව නොවෙිද මෙි කියන්නේ ?එහෙත් රචකයා මෙහිදී ගොඩනගන ව්‍යංග්‍යාර්ථ, උපමා රූපක, ධ්වනිතාර්ථ කෙතරම් රමණීය ද?මුළු ගීතය ම කාව්‍යෝක්තියකි.මෙි වෙළෙඳ අර්ථ ක්‍රමය යටතේ පරිභෝජනවාදය හිස ඔසවමින් දැවැන්ත සංවර්ධනය මුවාවෙන් කඳුවැටි හිස් මුඩුබිම් බවට පත්කර ඇති අාකාරය ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහයන් දුටුවෙි මෙසේය.

 

පෙර අපි මේ ගිරග නැග

හොර දෙරණ, රතටිය

මිල්ල හැඩවක ගොඩපර

ගන තුරු වියන යට අඳුරෙහි

ඒ මේ අතට දුවමින

පහල මිටි කඳු අතරෙහි

අපේ ගම් බිම් පෙනෙනා

ගම් බිම් ඇත්දැයි සෙවුවෙමු ”

ගිරග - කාව්‍ය සංග්‍රහය

- නන්දන වීරසිංහ

 

ඇළේ වතුර නිල් කැටේට දණ්ඩි කොරලි

යන වටේට

කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා

පුංචි පුතා එන්න කලින්

කළු දිය දහරා හැළිලා

ඇළට පාර අමතක වී මං මුළා වෙලා

 

මෙි කථකයා අවසානයේදී කියන්නේ එදා ඔහු බුක්ති වින්ද සොඳුරු පරිසරය අද පරපුරට දක්නට නොමැති බවයි.නිල්ල නිලන ගහකොළ තුරුවැල් පිරිසුදු වතුර රැඳි ඇළ දොළ , ගංගා, වැව් අමුණු කිසිවක් අද නැත.එකල මෙන් නිදහසේ ඇළකට පැන දිය බුං ගසම්න් දණ්ඩි,කොරලි මසුන් සමග ජල කෙළියේ යෙදෙන්නට ද අද කිසිදු අවකාශයක් නොමැත.අද ගංගා ඇළ දොළ මත වැඩිපුරම තියෙන්නේ කම්හල්වලින් මුදාහරින ලද කළුපැහැති පාවෙන රසායනික තෙල් තට්ටු නොවෙිද?මෙහිදී කළුදිය දහරා යනු එකී රසායනික ද්‍රව්‍ය එකතුවී හැදුණු බොර වතුර යි.ධනේශ්වර සමාජයේ ආත්මාර්ථකාමයත් බලලෝභයත් හේතුවෙන් යටකී පාරිසරික විනාශය සිදුවී ඇතැයි කීම යුක්ති යුක්ත නොවෙිද?මෙනයින් සොබාදහමේ මනරම් පරිසරය අහිමිවීමෙි වෙිදනාවෙන් සංවෙිදී පුද්ගලාත්මයෙහි හටගත් ප්‍රකම්පනය මෙි ගී මිණෙන් ප්‍රතිබිම්බිත යැයි කීම අතිශයෝක්තියක් නොවෙි.

 

 



අදහස් (0)

පැණි කුරුල්ලනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15341 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 502 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 275 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site