IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


එරන්දතිය එනවා

 

 

 

සුනිල් සරත් පෙරේරාණන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන් සහ අමිතා වැදිසිංහගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.

හෙළයේ මහ ගඳඹ පණ්ඩිත් අමරදේවයන්ගේ සොඳුරු ගී මුක්තාමාලාවෙි මනරම් ගී මිණිමුතු රාශියක් ම ඇත. ඒ අතරින් මහගම සේකරයන් විසින් විරචිත "ඔබෙි නමින් සෑය බඳිමි" ගීතය ද සුනිල් සරත් පෙරේරාණන්ගේ "එරන්දතිය එනවා" ගීතය ද අනගි ගී මුතු දෙකකි. මෙකී ගීතද්වයෙන් ම සුවිශද වන්නේ ලිය වැනුම්ය. එහෙත් මෙි ලියන් මනුෂ්‍ය දූවරු නොවෙති. සේකරයන්ගේ "ස්වර්ණමාලිය" දේවතාවකි. සුනිල් සරතුන්ගේ "එරන්දතිය" ද නාග ලියකි. මෙකී ලලනාවෝ  අපරිමිත රූපශෝභාවෙන් සමලංකෘත වූ දිව්‍යනාගකුල අභිරූපිකාවෝය. මෙි ගීතයට පසුබිමින් තිබෙන්නේ විධුර ජාතකයයි. විධුර ජාතකය වූකලි පන්සිය පනස් ජාතක පොතේ එන දීර්ඝතම කතා වස්තුවකි. එකල විධුර පණ්ඩිතයෝ දඹදිව පතළ ඇමතියෙක් වූහ. කුරුරට ඉඳිපත් නුවර ධනංජය නම් රජුන්ගේ ඇමතියකු වූ ඔහු පාණ්ඩිත්‍යයෙන් පොහොණි චතුර ධර්ම කථිකයෙක් ද වූයේය. එහි එන නාරජුගේ දියණිය සර්වනාරි ලාලිත්‍යයෙන් ද ස්වර්ණාභරණයෙන් ද සුවිභූෂිත වූ දිව්‍යනාගකුල අභිරූපිකාවකි.

දිනක් නාලොව රජුන්  තම බිසව ඉදිරියේ විධුර පණ්ඩිතයාගේ ගුණ වනන්නට වුයේය. මෙය අසා සිටි විමලා දේවියට විධුර පඬිතුමන් දැකීමෙි නොතිත් ආසාවක් ඇතිවිය. මෙහිදී විධුර පඬිතුමන් මනු ලොව සිට නාලොවට රැගෙන ඒමෙි කාර්ය පැවරුණේ නාරජුගේ රූමත් දියණිය වූ එරන්දතියටය. ඇය මනු ලොව වෙසෙන විධුර පඬිතුමන් කැටුව යාමට පැමිණියේ  භද්‍ර යෞවනයේ සිටින වරඟනන් ද පිරිවරාගෙනය.

අනෝතප්ත විල හිමාල කඳු පියසෙහි පිහිටි විල් සතෙන් එකකි. හිමාලය වටකොට පර්වත පහක් එය රැක සිටියි. සුදර්ශන, කාල, චිත්‍ර, ගන්ධමාදන හා කෛලාස කූට මෙකී පර්වත වෙයි. සුදර්ශන කූටයේ සෙවණ ලද අනෝතප්ත විල පාරිශුද්ධත්වයේ සංකේතය ලෙස ඉන්දීය බැතිමත්හු අදහති. ඔවුහු ඊට ගරුබුහුමන් කරති. හිමකුළු පිස එන වැහිදිය පිරි සියලු ම ගංගා අනෝතප්ත විලට වැටෙයි. මෙි ආනුභාවයෙන් විල් ජලය නිතර සිහිල්ව පවතී. හිරු සඳු කිරණ පිළිඹිබු සුවිශද වූවද එහි කිරණ ⁣කෙළින්ම විලට පතිත නොවෙයි. ඇතැමි දේව ගණයෝ ජලකෙළියට මෙහි සැපත් වෙති. විධුර ජාතිකයේ කවි පොත් පිංචක් ඇස ගැටී එය කියැවීමෙන් ලද ආස්වාදයෙන් පසු  සුනිල් සරත් පෙරේරාණෝ මෙි ගීමිණ රචනා කළෝය. නා රජුගේ දියණිය වූ එරන්දතිය මනු ලොවට පැමිණි ගමන් විලාසය මෙි ගීමිණිරුවනින් වර්ණිත වෙි. මෙි ගීතයේ රස ජනනයට සුනිල් සරතුන්ගේ ගේය පද මාලාවේ තිබෙන කාව්‍යෝක්ති පොකුර මහඟු පිටිවහලක්  වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.
 

අනෝතප්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා    එරන්දතිය එනවා

අනෝතප්ත විලෙන් නෙළු නෙළුමක් සුරත දරා එරන්දතිය නම් සුදේහිනිය නාගලොවින් බැස එන්නීය. ඇගේ ඝන නිල් පැහැති කෙස්කලඹ මල් රැසින් සරසා ඇත. ඇය පිරිවරා සිටින්නෝ කවරහුද? ඔවුහු වරඟනෝය. වරඟනෝ නමි අපරිමිත රූපශෝභාවෙන් සමලංකෘත වූ භද්‍ර යෞවනියෝය. මෙි ධ්වනිතාර්ථපූර්ණ රූපකාර්ථවත් සුගේය පද සංකල්පනාවෙන් එරන්දතියගේ නාරිලාලිත්‍ය හකුළා දැක්වීමට රචකයා දරන ප්‍රයත්නය අනභිභවනීයය.
 

සිතක උපන් දොළ සන්සිඳුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා     එරන්දතිය එනවා

එරන්දතියගේ නාරිලාලිත්‍ය මෙන්ම  මනසානන්දනීය රූපය දකින විට සිත තුළ උපදින ආසා සන්සිඳී යන බවත් එයින් ජීවන ලාලසාව මෝරන බවත් රචකයා කියයි. ඇගේ සුකෝමල මුවකමල ද මන්දස්මිතයෙන් පිපී දිලෙයි. හිරු සඳු ගනඳුර දුරු කොට ලොව එකලු කරයි. එහෙත් ප්‍රේමාස්වාදයට, කාමසමිබෝග සම්පර්කයට ඇවැසි මඳ අඳුර පමණි. ප්‍රේමයට පූර්ණාලෝකය ඇවැසි නොවෙි. සිතට තුරළුවී යනු හදවතින්ම වැළඳගෙන ⁣ශෘංගාරයට ලොබලිය වඩමින් එහිම ලැගුම් ගැනීමයි. මෙි නම් අතිරමණීය කාව්‍යෝක්තියක් නොවෙිද?
 

කෝමල ගමනින් කෝල හැඟුම් හළ
කාල ගිරෙන් සිතුවිලි සේනා ගෙන
වරගන පිරිවරිනා      එරන්දතිය එනවා

ඇයට ඇත්තේ කෝමල,නාලිය ගමනකි. කාලය නමැති මහකන්දෙන් සිතුවිලි සමුදායක් ඇය අරන් එන්නීය. එකී සිතුවිලි විසිතුරු නොවෙිද? මෙි නම් එරන්දතියගේ රුව දුටු මතින් සිතට ඇතිවන චමත්කාර ජනක හැඟීමයි. මෙකී චමත්කාරයෙන් විස්මය උපදියි. මෙි විස්මයට හේතුභූත වූයේ එරන්දතියගේ අභිරූපි රූපකල්‍යාණයම නොවෙිද? මෙි ගීතයේ රචක සුනිල් සරතුන් එරන්දතියගේ අසාමාන්‍ය පරමාදර්ශී සුදුර්ලභ නාරිසෞන්දර්ය කවි ඇසින් දකියි. ගීතයේ සාර්ථකත්වයට එයම නිදසුනක් නොවෙිද?
 

නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් බැලුම් හෙළාලා
පාද කිකිණි සොලවා    එරන්දතිය එනවා

ඇගේ අඩසඳ සදිසි නළලත බබළන රතු පැහැති කොකුම් තැවරූ තිලකයකි. නීලවර්ණ නෙත්සඟළින් හෙළන නුරා බැලුම් කාමීජනහද පුබුදුවයි. අමන්දානන්දයට පත්කරයි. සියුම් පාපියුම් වට රැඳි මිණිකිංකිණි හඬ සිහින් සරින් සවන් පිනවයි. එරන්දතිය නාලොවින් මනුලොවට සපැමිණි මෙි ගමන සැබැවින්ම සාධුතර මංගල්‍යයක් නොවේද?

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ


 



අදහස් (3)

එරන්දතිය එනවා

nimal Monday, 13 February 2023 05:47 PM

අනෝතප්ත විල නෙළුම නෙළාලා.... පීරා වරලස මල් ගවසාලා... නාගලොවින් බැස නාලිය ගමනින් වරඟන පිරිවරිනා එරන්දතිය එනවා...

:       0       1

Rajapaksha Monday, 13 February 2023 10:08 PM

මට නම් මීට වඩා හොඳයි "සුමිහිරි පානේ පදමට ගහලා" ගීතය

:       5       2

මැක්ස් Tuesday, 14 February 2023 10:36 PM

නා ලොවින් බැස එරන්දතිය මනුලොව පැමිණෙන සුලලිත විලාසය සේ ශෂී ප්‍රභාත් මහතාගේ ව්‍යක්ත වචන සමුදාය ද පෑන්තුඩින් ගලා එනු ඇතැයි පාඨක අපට සිතේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site