ජිනීවා හි පිහිටි මානව හිමිකම් කවුන්සලයේදී අප රට සම්බන්ධව තවත් අලුත් යෝජනාවක් සම්මත වූයේ පසුගිය සතියේය. මෙම යෝජනාවෙන් මූලික වශයෙන් කියැවෙන්නේ මීට පෙර සිටම මානව හිමිකම් කවුන්සිලය විසින් විවිධ අවස්ථාවල මෙරට තුළ පිහිටවන්නට උත්සාහ කළ ‘ජාත්‍යන්තර පරීක්ෂණ’ යෝජනාවේ තවත් එක් ඉදිරිපත් කිරීමක්ය.
මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ මේ ජිනීවා ප්‍රශ්නය පිළිබඳව සහ රට මේ මොහොතේ මුහුණ දෙමින් සිටින ප්‍රශ්න කීපයක් පිළිබඳවය. ආර්ථික ක්ෂේත්‍රයේ මතුවිය හැකි යැයි පෙනෙන ප්‍රශ්න වගේම දේශපාලන ක්ෂේත්‍රයේ මතු විය හැකි යැයි පෙනෙන ප්‍රශ්න කීපයක්ම මේ වන විට පෙන්නුම් කරමින් තිබේ. ඒවා පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත්ය.
ජිනීවා ප්‍රශ්නය
අපේ රට සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම පටන් ගත්තේ 2009 යුද්ධය නිමා විමත් සමගය. පසුගිය වසර 15 පුරාම අඩු වැඩි වශයෙන් මේ මැදිහත්වීම පැවැති බව බොහෝ අයට මතකය. 2009 මැයි 29 වැනිදා එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වූ බෑන් කීන් මූන් ලංකාවට පැමිණි අතර එම පැමිණීමේදී ඔහු ලබා දුන් එක් පොරොන්දුවක් වූයේ මෙරට පැවැති ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ගයේ අවසන් කාර්තුව තුළ සිදු වූවා යැයි පැවසුණ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජිනීවා මානව හිමිකම් කොමිසම මැදිහත්වන බවය. දරුස්මාන් කොමිසම පත් කරමින් ‘‘කරුණු බැලීමේ’’ (Fact Finding mission) ක්‍රියාවලියක් ආරම්භ වූයේ මීට පසුවය. එහෙත් ඒ අවස්ථාවේ ශ්‍රී ලංකාවෙන් ජිනීවා, මානව හිමිකම් කොමිසම තුළ මේ උත්සාහයට විශාල විරෝධයක් මතු වූ බව බොහෝ අයට මතකය. 2012 මාර්තු 22 ජිනීවා හි ඉදිරිපත් වූ 10/2 යෝජනාවෙන් ආරම්භ වූ මේ ක්‍රියාවලිය මේ වනවිට ඉතාමත් දීර්ඝ වටයක් ගමන් කර තිබේ.
2009 සිට 2012 දක්වා කාලයේත් ඊට පසුව කාලය තුළත් එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මානව හිමිකම් කොමිසමේ මෙම මැදිහත්වීම සම්බන්ධ රාජතාන්ත්‍රික ආකාරයෙන් ප්‍රතිචාර දක්වමින් රට සම්බන්ධව ආරක්ෂිත පියවර රාශියක් ගත් බව ඔබට මතකය. විශේෂයෙන් 2009 මැයි 27 එවකට ජීනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක විසින් ඉදිරිපත් කළ ප්‍රතියෝජනාව වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමත් සමගින් මේ ජාත්‍යන්තර මෙහෙයුම තාවකාලිකව පසු පසට තල්ලු කිරීමට සමත් වූ බව මෙහි සඳහන් කළ යුතුය. එහෙත් ඔහුව එම තනතුරින් ඉවත් කරවීමෙන් ආරම්භ වූ ජිනිවා පරාජයන් රාශිය මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් මෙරට මුහුණදීමට ඇති බරපතළ අභියෝගයක් බවට පත්වී ඇත.
2015 යහපාලන ආණ්ඩුව පත්වීමත් සමග ඒ ආණ්ඩුව මෙරටින් සම අනුග්‍රහයකත්වය හරහා මේ ගැටලුව තවත් සංකීර්ණ තැනකට රැගෙන ගිය බව මගේ අදහසය. එහි ප්‍රතිඵලයක් වූයේ 2022 වන විට 46/1 යෝජනාව ලෙසින් ඉතාමත් තීරණාත්මක හා බරපතළ ජිනීවා යෝජනාවක් මතුවීමය. 2021 un Sri Lanka Accountability project ලෙසින් හඳුන්වන්නේ මේ ක්‍රියාමාර්ගයේ අවසාන එකඟතාවෙහි ඇතුළත් කරුණු වලින් සමන්විත වැඩසටහනය.
මේ කාරණය සම්බන්ධව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරයත් එකිනෙකට වෙනත් ආකාරයෙන් ඉදිරිපත් වූ බව ද මෙහිදී ප්‍රකාශ කළ යුතුම කාරණයක්ය. 2009 – 15 ආණ්ඩුව තරමේ විරෝධයක් 2015 – 19 ආණ්ඩුව කාලයේ මේ සම්බන්ධව නොතිබුණා පමණක් නොව රටට විරුද්ධ බලවේග සමග ‘සම අනුග්‍රාහකත්වයෙන්’ යෝජනා සම්මත කිරීමට පවා ගියේ ඒ අනුවය.
ජිනීවාහි මෙවර යෝජනාව
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිටම පවත්වාගෙන යන්නේ උතුරට එකක් කියා දකුණට තව එකක් කියන දේශපාලනයක්ය. එසේම ජනවාර්ගික ගැටලුව සමහන් කිරීමට යැයි කියා ‘කවි කියන’ දේශපාලනයක් කිරීමය.
මෙවර ජිනීවා හි ඉදිරිපත් වූ යෝජනාවේ තිබෙන බරපතළකම එක්කෝ මේ රජයට තේරෙන්නේ නැත. නැතිනම් ඒ අය නොතේරෙනවා වගේ පෙන්වමින් සිටිති. යනු මගේ නිරීක්ෂණයයි. මේ දෙකම අතිශයෙන්ම භයානකය.
වත්මන් යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ සිට විදේශ අමාත්‍යාංශය කටයුතු කර තිබෙන්නේ ඒ සඳහා අවශ්‍ය කරන ආකාරයේ සූදානමකින් නොවන බව ඉතාමත් පැහැදිලිය. ජිනීවා කොමිසමේ සැසිවාරය තුළ මෙරට ස්ථාවරය ලෙසින් ප්‍රකාශ වූයේ මේ යෝජනාවට ලංකාව විරුද්ධ බවය. විශේෂයෙන් මේ යෝජනාව ‘සම්මතයෙන් පිටත හා ක්ෂණිකව මතු වූ’ එකක් ලෙසින් එහිදී හඳුන්වා දුන්නේය. එය ඉතා හොඳ කරුණු දැක්වීමක් වුවත් යෝජනාව නිදැල්ලේ, කිසිම ඡන්දයකින් තොරව සම්මත වීමට රජය ඉඩ දුන්නේය.
ජිනීවා මානව හිමිකම් කොමිසමේ මෙහෙයුම් රීතීන් අනුව ඡන්දය දිය හැකි රටවල් ගණන ඒ ඒ වසරවලට අනුව සීමා කර තිබේ. ඒ අනුව රටවල් 47 කට ඡන්දය මේ වාරයේ ලබාදිය හැකි අතර ඒ රටවල් 47 අතර ශ්‍රී ලංකාව මෙවර නියෝජනය කරන්නේ නැත. එම රටවල් නියෝජනය කරන්නේ කලාපවල නියෝජිතයන් ලෙසින්ය. ඒ අනුව අප්‍රිකානු කලාපයට රටවල් 13 ක්, යුරෝපයට රටවල් 7 ක් ලතින් ඇමෙරිකානු කලාපයේ රටවල් 8, නැගෙනහිර යුරෝපයේ රටවල් 6 ක් සහ ආසියා - පැසිපික් කලාපයේ රටවල් 13 ක් ඡන්ද බලය ලබන්නේය.
මෙවර ශ්‍රී ලංකාව ඡන්දය ලබා දිය හැකි රටක් නොවුණත් ඡන්දයක් අවශ්‍ය නම් ඉහත සඳහන් රටක් හරහා ඡන්දයක් ලබා ගැනීම ජිනීවා මානව හිමිකම් කොමිසමේ අභ්‍යන්තර රිතී යටතේ වන්නකි. ඒ අනුව මේ යෝජනාවට ඡන්දයක් අවශ්‍ය යැයි වෙනත් ඡන්දය හිමි රටක් හරහා ඉදිරිපත් කිරීම මෙවර සිදු කළේ නැත. යෝජනාවට විරුද්ධ බව අපේ තානාපති තුමිය ඉතා පැහැදිලිව ප්‍රකාශ කළාය. එය හොඳ තත්වයකි. එහෙත් එම යෝජනාව සාමූහික එකඟතාවක් ලෙසින්, ඡන්දයකින් තොරව සම්මත වීමට ඉඩ හැරියේය.
විශේෂයෙන් චීනය, කියුබාව වැනි රටවල් මේ සාකච්ඡාවේදී කියා සිටියේ ඒ අය මේ යෝජනාව සමග එකට සිටින්නේ නැති බවය. මෙවැනි තත්වයක මේ යෝජනාව සඳහා ඡන්දයක් ලබා ගැනීමේ හැකියාවක් තිබූ බව පැහැදිලිය. එවැනි ඡන්දයකින් ජය ලැබීමේ ඉඩක් නොතිබුණා විය හැකිය. එහෙත් ඡන්දයකට යොමුකර ගැනීම හරහා මේ යෝජනාව නිතරගයෙන්, සමූහ සම්මතයෙන් පැමිණීම වැළැක්විය හැකිව තිබිණි.
යෝජනාවේ හරය
මෙවර යෝජනාවේ හරය වන්නේ එක පැත්තකින් මානව හිමිකම් කොමිසම යෝජනා කරන ‘සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය’ක් ආරම්භ කිරීමය. ඒ සඳහා අනුමැතිය මේ යෝජනාව මගින් ලබාගෙන තිබේ. මෙම යාන්ත්‍රණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුවිය යුතුදැයි තවම සාකච්ඡා වී නැත. 2022 වගවීමේ වැඩසටහන තුළ මේ ක්‍රියාදාමය සටහන් කර ඇති ආකාරයට ‘සාක්ෂි එකතු කිරීම’ නිල වශයෙන්ම ආරම්භ වනු ඇත.
ඊළඟට මෙම යෝජනාවේ අනෙක් කාරණා වන්නේ රට තුළ ගත යුතු ක්‍රියාමාර්ග වශයෙන් PTA පනත හෙවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පනත හෙවත් Online Safty Act යන නීති වෙනස් කිරීම සඳහන් කර ඇත. එසේම Missing parsons office ලෙසින් පිහිටවා ඇති කාර්යාලය වඩා ඵලදායකව වැඩ කිරීමත් මෙහි ඇති තවත් යෝජනාවක්ය.
යෝජනා 14 ක් සහිත මෙම මානව හිමිකම් කොමිසමේ තීරණය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සිදුවීම පැහැදිලිය.
විදේශ ප්‍රතිපත්තිය කුමක්ද?
වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය කුමක් දැයි මා දන්නේ නැත. විදේශ අමාත්‍යාංශයේ වෘත්තීය නිලධාරීන් හැර විශේෂ උපදෙස් මණ්ඩලයක් සිටින බවක් පෙනෙන්නේ ද නැත. විශේෂයෙන් චීනය සහ ඉන්දියාව ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රධානීන් බවට පත්වී ඇති තත්වයක විදේශ ප්‍රතිපත්තිය පැත්තෙන් යම් උපදේශක මණ්ඩලයක් සිටීම අතිශයෙන්ම වැදගත් බව මගේ අදහසය.
රජයේ එක් නියෝජ්‍ය ඇමැතිවරයකු ළඟදී කියා තිබුණේ ‘ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන් 159 ම ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ මට්ටමේ අය’ බවයි. ලක්ෂ්මන් කදිර්ගාමාර් ලංකාවේ නීති පීඨයේ අධ්‍යාපනය ලබා උපාධි ලැබූවෙකි. එසේම ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ Balliol College හි පශ්චාත් උපාධි ලැබූවෙකි. ලංකාවේ නීති පද්ධතිය තුළ ජනාධිපති නීතිඥයකු ලෙසින් වැඩ කළ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) උපදේශකවරයෙකි. WIPO සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකි. WHO සංවිධානයේ බුද්ධිමය දේපොළ සම්බන්ධ උපදේශකයෙකි. මේ සියල්ලටමත් වඩා ඔහු සමාජය පිළිබඳ වෛරයක් නැති දේශපාලනඥයෙකි.
ආණ්ඩුවේ සියල්ලෝම මෙවැනි අය වෙනවා නම් එය අතිවිශිෂ්ට තත්වයකි. ඒ කෙසේ වෙතත් එතුමන් වැනි එක පුද්ගලයකුවත් සිටී නම් මේ අමාරු මොහොතේ විදේශ අමාත්‍යාංශය එවැනි අයකුට ලබා දීම යෙහෙකිය. විජිත හේරත් මහතා වුවත් එවැන්නකට කැමැති විය හැකි යැයි සිතෙන්නේ මේ වගකීම එතුමන් කැමැත්තෙන් කරන බවක් පෙනෙන්නේ නැති නිසාය.
(***)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජිනීවාවලින් මතුවෙන අලුත් ප්‍රශ්න