IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


අරගලය - ආණ්ඩුව - මහින්දලා

දකුණු ආසියාවේ තවත් රටක අරගලයක් සිදුවෙමින් තිබේ. ඒ නේපාලයේ ය. ලංකාව, ඉන්පසු බංගලාදේශය දැන් නේපාලයට අරගල ගින්න පැතිර ගොස් ඇත. ප්‍රතිඵලය කාටත් සුපුරුදු ය. තවත් හරසුන් ආණ්ඩුවක් බිහිවනු ඇත.

ලංකාවේ ද, බංගලාදේශයේ ද එය සිදු විය. සැලෝලයිඩ් සිහින සාප්පුවලින් බිහි වූ තරුණ ප්‍රජාවක ඉල්ලු‍ම සහිත, එහෙත් භූමි යථාර්ථය සමග කිසිදු සම්බන්ධයක් නැති පොරොන්දු සහ අපේක්ෂා සහිත ව නිර්මාණය වන එම ආණ්ඩුවල එකම කාර්යභාරය වනු ඇත්තේ, තොරතුරු අවකාශය තුළ තම ආධිපත්‍යය පවත්වාගෙන යාම පමණි. එම ආණ්ඩුවලට තමා ලබා දුන් “ලස්සන ජීවිත සහ පොහොසත් රටවල් පිළිබඳ පොරොන්දු ඉටු කළ නොහැකි මුත්, ඡන්දය ලබාදුන් පිරිසෙන් කිසියම් කොටසක වෛරී සහගත හැඟීම් උද්දීපනය වන ක්‍රියාකාරකම් කළ හැකිය. එසේ කොට, සංවාද අවකාශය තුළ සිටින නෙටිසන්ලාගේ (අන්තර්ජාල පරිශීලකයන්) ඇස සහ දිව පමණක් පිනවිය හැකි ය. ලංකාවේ මේ වන විට සිදුවෙමින් තිබෙන්නේ එය ය. බංගලාදේශයේ ද එය ය.

මෙසේ පත්වන ආණ්ඩු හරසුන් ආණ්ඩු ලෙස අප හඳුන්වන්නේ, විශේෂ හේතුවක් නිසා ය. ඔවුන්ට ආණ්ඩුකරණය පිළිබඳ පරිචයක් නැතිවීම ඊට ප්‍රධාන හේතුවය. වෙනත් ක්ෂේත්‍රවලින් දේශපාලනයට ‍එන ඔවුහු, දේශපාලනය යන ඉතා පුළුල් විෂයපථය අතිසරල දෙයක් ලෙස ගනිති. දේශපාලනයේ ප්‍රායෝගික අංශය වන්නේ රාජ්‍යකරණයයි (statecraft). රාජ්‍යකරණය නැති දේශපාලනය යනු හිස නැති කවන්ධයක් බඳුය. අරගල සහ විප්ලවවලින් බලයට එන දේශපාලන නායකයෝ එවැන්නෝ ය. අද ලෝකය මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ මේ ප්‍රශ්නයයි. අවාසනාවකට මේ ගැන කිසිවෙක් කතා නොකරති.

රාජ්‍ය විෂයය දත් දේශපාලකයකු රටකට බිහිවීමට දශක ගණනාවක් ගත වේ. මෑත ඉතිහාසයේ ලංකාවේ බිහි වූ එම ගුණාංගවලින් හෙබි විශිෂ්ටතම නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ ය. එය දේශපාලන භේද පසෙකලා සියලු‍ දෙනාට එකඟ විය හැකි මතයකි. ඔහු 2005 වසරේ බලයට පැමිණි පසු මුහුණ දුන් අභියෝග තරම්, නිදහසින් පසු පමණක් නොව, ඉන් පෙර සියවස් කීපයකට ආපසු ගිය ද සොයාගත නොහැකිය. ඔහු එන විට, සෑම අතින්ම පැටලී තිබූ ලංකාව නම් නූල් බෝලය, කොටස් කපා ඉවත් නොකර ලිහා නැවත පිළිවෙළට එතීම කළ නොහැකි තැනට ලංකාවේ සියලු‍ ප්‍රශ්න ඇතුළතින් මෙන්ම පිටතින් ද පැටලී තිබුණි. මහින්ද ඒවා ලිහා දැමූයේ අප කිසිවකු නොසිතූ ලෙස ය. එසේම අප කිසිවකු නොසිතූ ශීඝ්‍රතාවකිනි.

දේශපාලන නායකත්වයක කාර්යසාධනය පිළිබඳ කිසියම් රටක් නිර්ණායක හදන්නේ නම්, ඒ අවිවාදිතව මහින්ද රාජපක්ෂ ය. එහෙත් මාලිමා ආණ්ඩුව අද කරමින් සිටින්නේ, ඒ ප්‍රතාපවත් නායකයාගෙන් පළිගැනීමය. ඔහු සිටින නිවෙසින් එළියට ඇද දැමීමය. තිස් අවුරුදු යුද්ධයක් නිම කළ කෘතහස්ත දේශපාලකයකුට රටක් මේ තරම් අකෘතඥ විය හැකි ද? රටට කිසිවක් ම නොකළ, එහෙත් දෙවරක්ම ගිනි තැබූ පක්ෂයක ආණ්ඩුවක් විසින් එසේ කිරීම කොතරම් ඉරණම්කාරී ද? මේ අන් කිසිවක් නොව, සියල්ල අසාර්ථක තැන සාර්ථකත්වය පෙන්වීම සඳහා අමු ම අමු වෛරී දේශපාලනය කරළියට ගෙන ඒමකි.

අවාසනාවට මේ වන විට අපගේ කලාපයේ පමණක් නොව, ලොව පුරා සිදු වෙමින් තිබෙන්නේ, රාජ්‍යතාන්ත්‍රික දේශපාලනය වෙනුවට මේ වෛරී සහ ජනප්‍රියවාදී දේශපාලනය ඉස්මතු වීම ය. ජනප්‍රියවාදී රැලිවලින් සහ අරගලවලින් ආණ්ඩු මාරු කරන සෑම තැනකම පාහේ මේ තත්වය දැකිය හැකි ය.

ජනප්‍රියවාදී රැලිවලින් බලයට එන ආණ්ඩු අවසානයේ තම බලය රැක ගැනීම සඳහා කරන්නේ, ආණ්ඩුකරණය යන්න නාට්‍යකරණය කිරීමය. මාලිමා ආණ්ඩුව අද පැහැදිලිවම කරමින් සිටින්නේ එයයි. ඔවුන් තවමත් ජනතාවට දැනෙන දෙයක් ලබාදීමට අසමත් වී ඇත. ඒ අතරම දේශපාලන සදාචාරය සහ සංස්කෘතිය සම්බන්ධයෙන් ලබා දුන් සියලු‍ පොරොන්දු ද කඩ කර ඇත. පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොයවන බවට දුන් පොරොන්දුවේ සිට ඥාතීන් තම කාර්යාලවල සේවයට බඳවා ගැනීමේ සිට ඉහළ තනතුරුවලට පත් කිරීමේ දී කුසලතාවලට මුල් තැන දීම වෙනුවට සිය හිතවතුන් ඒවාට පත් කිරීම දක්වා සියලු‍ පොරොන්දු කඩ කර ඇත. පසුගිය දා ජනාධිපති කාර්යාලයේ සේවය කරන ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර අසා යොමු කළ තොරතුරු දැනගැනීමේ ඉල්ලු‍ම්පතක් හේතු නොදක්වා ප්‍රතික්ෂේප කර ඇත. තම ඥාති හිතමිත්‍රාදීන්ට තනතුරු තානාන්තර දීම රටට හෙළිවීම වැළැක්වීමට එවැනි ක්‍රියාමාර්ගවලට යොමුවෙමින් තිබෙන බව අනුමාන කළ හැකි ය.

පසුගිය දා රටපුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් ආණ්ඩුව ක්‍රියාත්මක කළ අයිස් මෙහෙයුම තනිකර ප්‍රචාරක ව්‍යාපාරයක් බව ඒ දෙස බලන ආණ්ඩු හිතවාදියකු වුව කියනු ඇත. මහජන ආරක්ෂක ඇමැතිවරයා මුලින්ම ප්‍රකාශ කළේ පොලීසිය විසින් නුවරඑළිය ප්‍රදේශයේ අයිස් නම් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් වැටලූ බවය. සෑම වැටලීමකටම මාධ්‍ය සමග යන පොලීසිය මෙම වැටලීම පිළිබඳ තවමත් කිසිදු විස්තරයක් රටට කියා නැත. එම වැටලූ කර්මාන්තයේ හිමිකරු කවුද, එම ගොඩනැගිලි සහ ඉඩම කාගේ ද යනාදී කිසියක් ගැන රට දන්නේ නැත. එහෙත් පුදුමය වන්නේ, ඊට දින කිහිපයකට පසු, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික බව කියමින් දිග හැරි විශාල මාධ්‍ය සංදර්ශනයයි. මිද්දෙණිය ප්‍රදේශයෙන් කිලෝ පනස් දහසක පමණ වන මෙම රසායනිකය හමු වූ බව මාධ්‍ය ඔස්සේ පොලීසිය ප්‍රකාශ කළේ ය.

ආණ්ඩුවේ එම කතාව මේ වන විට සපුරා අභියෝගයට ලක්ව තිබේ. අල්ලාගත් එම රසායනිකය බවට ප්‍රකාශිත ද්‍රව්‍ය ඇත්ත වශයෙන්ම එවැන්නක් නොව, ටැල්ක්ස්ටොන් නම් පාෂාණ වර්ගයකි. පියරු, පිඟන් භාණ්ඩ, රූපලාව්‍ය ද්‍රව්‍ය වැනි දෑ නිෂ්පාදනය සඳහා මෙන්ම නිවාස අලංකරණය සඳහා ද ඒවා යොදා ගැනේ.

බරපතළම ප්‍රශ්නය එය නොවේ. මෙම බහලු‍ම් නිදහස් වීම පිළිබඳවය. පසුගිය කාලයේ වරායෙන් රතු ලේබලය ගැසූ බහලු‍ම් 323ක් නිදහස් කිරීම ගැන මහත් ආන්දෝලනයක් ඇති විය. කිසිසේත්ම නිදහස් නොකළ යුතුව තිබූ රතු ලේබල් සහිත එම කන්ටේනර් ආණ්ඩුව විසින් පත් කෙරුණ කමිටුවක් මගින් ගත් තීරණයකට අනුව නිදහස් කෙරුණි. ඒ අවස්ථාවේදී ආණ්ඩුව ප්‍රකාශ කළේ මෙම රතු ලේබල් බහලු‍ම් තුළ නීති විරෝධී කිසිවක් නැති බවත්, එසේ තිබෙන්නේ නම් ඒ ගැන ආණ්ඩුව වගකීම ගන්නා බවත් ය. පසුගිය දා රේගු අධ්‍යක්ෂ ධුරයට පත් කළ පුද්ගලයා එම කමිටුව නියෝජනය කළ අතර, ඔහු ආණ්ඩුවේ මේ ක්‍රියාව ප්‍රසිද්ධියේ සාධාරණීකරණය කළේය. ප්‍රශ්නය වන්නේ, රේගුව විසින් විවෘත නොකරන ලද බහාලු‍ම්වල තිබෙන දේවල් ගැන මේ ආකාරයේ සහතික නිකුත් කළේ කෙසේ ද යන්නය. ඒ ද රතු ලේබල් බහාලු‍ම් ය.

බහාලු‍මකට රතු ලේබලය වදින්නේ ස්වයංක්‍රීය පද්ධතියක් තුළින් විවිධ විද්‍යාත්මක සාධක පදනම් කරගෙන ය. ඒවා පැමිණෙන රට, ගෙන්වන සමාගම හෝ පුද්ගලයා, ඔවුන්ගේ පෙර වැරැදි, ලංකාවට ඒමට පෙර අදාළ නෞකාව ගමන් කළ සෙසු වරාය ආදි බොහෝ කරුණු මත රතු ලේබල් ලෙස නම් වේ. එවැනි සාධක මත නම් කළ එම බහාලු‍ම් අනිවාර්යයෙන්ම විවෘත කර පරීක්ෂා කිරීම නීතිය වේ. එහෙත් ආණ්ඩුව කළේ, අදාළ කමිටුව දමා, ඒ කමිටු නිර්දේශය මත බහාලු‍ම් 323 නිදහස් කිරීමය. මිද්දෙණියෙන් සොයාගත් බහලු‍ම් ද පසුගිය ජනවාරියේ නිදහස් කර තිබෙන අතර, ඒවා අනිවාර්යයෙන්ම ඉහත කී රතු ලේබල් බවට කවුරුන් හෝ සැකයක් ඇති කර ගතහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත. විශේෂයෙන්ම ඒවා ඉරාන වරායකින් පැමිණි බව මේ වන විට වාර්තා වන නිසා, එම මාර්ගය බොහෝ සෙයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් භාවිත කරන නිසා, මෙම බහාලු‍ම් නිසැකවම පරීක්ෂා කළ යුතුව තිබුණි. එසේ තිබිය දීයි ආණ්ඩුව මේවා නිදහස් කර තිබෙන්නේ.

බැලූ බැල්මට පෙනී යන්නේ, ආණ්ඩුව තමා කළ බරපතළ ක්‍රියාව වසා ගැනීම සඳහා මීට දේශපාලනය යොදාගෙන එක ගලින් කුරුල්ලන් දෙදෙනකු ඩැහැ ගැනීමට උත්සාහ කරන බවය. එක් අතකින් ආණ්ඩුවේ අසාර්ථක බව නිසා දිනෙන් දින මායාවෙන් මිදෙන ජනතාව නාමල් රාජපක්ෂ වටා එකතු වීම සහ අනිත් පැත්තෙන් තමාගේ වරද අනෙකා මත පටවා ඉන් නිදහස් වීමේ මාලිමා දේශපාලකයන්ගේ කුප්‍රකට චාරය අනුව මෙය සිදුවන බව පෙනේ.

ඒ අනුව, ආණ්ඩුව සැලසුම් කළේ, තමා විසින් වැටලූ බව ප්‍රකාශ කළ නුවරඑළිය අයිස් කර්මාන්ත ශාලාව අමතක කිරීමට මිද්දෙණියෙන් හමුවූ ටැල්ක් පාෂාණ පෙන්වා මාධ්‍ය සංදර්ශයක් රටට පෙන්වීමටයි. ඒත් සමගම, 2018 වසරේ පොදුජන පෙරමුණ සමග දේශපාලනය කළ පුද්ගලයකුගේ වත්තක තිබී ඉහත ටැල්ක් පාෂාණ හමු වූ නිසා, අයිස් මත්ද්‍රව්‍යට නාමල් රාජපක්ෂ සම්බන්ධ බව කීමට ද මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණි. ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු වන සුනිල් වටගල ම මාධ්‍ය සාකච්ඡා පවත්වා එම මඩ මෙහෙයුම ක්‍රියාත්මක කළේ ය.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව අවංකව කටයුතු කරන්නේ නම් කුමන ආණ්ඩුවට හෝ අපගේ ප්‍රශංසාව හිමිවේ. එහෙත් එය දේශපාලන මඩ ව්‍යාපාරයක් කරගෙන තමන්ගේ අසාර්ථකත්වය වසා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරීමෙන් සිදුවන්නේ ඇත්ත ප්‍රශ්නය යට යාම ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී ද ආණ්ඩුව මෙය ම කළේ ය. තමන්ගේ 2015 ජාතික ලැයිස්තුවේ සිට අල්ලහ් මොහොමඩ් ඊබ්‍රාහිම් නම් ව්‍යාපාරිකයාගේ පුතුන් දෙදෙනා ප්‍රහාරයට ඍජුව සම්බන්ධව තිබිය දී මාලිමා දේශපාලකයන් ප්‍රචාරය කළේ ඊට රාජපක්ෂලා සම්බන්ධ බවය. ඔවුන්ගේ දේශපාලනය එවැන්නකි. සියල්ල බොරුව සහ දේශපාලන වංචනිකත්වය වටා ගෙතී තිබේ.

දේශපාලන වශයෙන් ප්‍රායෝගික දර්ශනයක් නැති විට, ඒ නිසාම දිනෙන් දින අසාර්ථක වන විට ආණ්ඩුව උත්සාහ ගන්නේ ව්‍යාජ පුවත් නිර්මාණය කර, වෛරය කුළුගන්වා දේශපාලන එදා වේල පිරිමසා ගැනීමයි. මෙම ලිපියේ මුලම සාකච්ඡා කළ පරිදි, ජනප්‍රියවාදී රැලිවලින් බලයට පත් වූ පිරිස් නිසා රටට සිදුවන විනාශය මේ තුළින් නැවත නැවතත් ගම්‍ය වේ. ආණ්ඩුව අමතක නොකළ යුත්තේ, අවසානයේ මේ සියල්ලට මිලක් තිබෙන බවය.

(***)



අදහස් (0)

අරගලය - ආණ්ඩුව - මහින්දලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27327 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18176 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10879 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 634 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 191 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 845 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site