කොතලාවල විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම නවතා දමන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තූවේ දී පසුගිය දා ප්‍රකාශ කළේ ය. ලංකාවේ මුළු අධ්‍යාපන ක්ෂේත්‍රය ම වික්ෂිප්ත කරමින් ගත් එම තීන්දුව තරම් නොගතයුතු තීන්දුවක් ලංකා ඉතිහාසයේ අන් කිසිදු දිනක ගෙන නැත.
ආණ්ඩුව කියන්නේ, මින් පසු කොතලාවල වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව හැදෑරිය හැක්කේ ආරක්ෂක හමුදාවල කැඩෙට් සිසුන්ට සහ විදේශ සිසුන්ට පමණක් බවයි. දේශීය සිසුන්ට එම අවස්ථාව හිමි නොවන බව මෙහි මූලික අදහස විය. මෙම නිවේදනය තුළ ම මෙහි අතාර්කික බවද ගැබ්ව තිබේ.
අප අද මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඉහත තීන්දුව සේම, මේ වන විට ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන තුළ සුවකළ නොහැකි පිළිකාවක් බවට පත්ව තිබෙන නවකවදය පිළිබඳවයි.
මුලින්ම අපි කොතලාවල ගැටලුව ගැන යොමුවෙමු. ආණ්ඩුවට අනුව, ආරක්ෂක හමුදාවල කැඩෙට් සිසුන්ට සහ විදේශ සිසුන්ට කොතලාවල වෛද්‍ය පාඨමාලාව සුදුසු නම් දේශීය සිසුන්ට එය නුසුදුසු වන්නේ කුමන හේතුවක් නිසා ද? පාඨමාලාවල ගුණාත්මය පිළිබඳ ගැටලුවක් තිබේ නම්, එය කැඩෙට් සිසුන්ට සේම විදෙස් සිසුන්ට ද ගැටලුවකි. එහෙත් එවැන්නක් නැති බව ඉහත දෙවර්ගයේ ම සිසුන් එහි වෛද්‍ය උපාධිය හැදෑරීමෙන් පෙනී යයි. මීට පෙර පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන මතු කළ ප්‍රශ්නය වූයේ එහි ගුණාත්මකභාවයයි. එසේ ම බඳවා ගන්නා නිර්ණායකවල ලිහිල් බවයි. ඒ කිසිවක් කොතලාවල පීඨය සම්බන්ධයෙන් කිසිවකු ප්‍රකාශ කර නැත. ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය තුළ මෙම තීරණය ගැනීමට පාදක වූ කරුණු සම්බන්ධයෙන් හේතු දැක්වීමක් ද සිදු නොවීය. ඒ අනුව අපට පෙනී යන්නේ, මෙම තීන්දුව හුදු දේශපාලන අවශ්‍යතාව මත පමණක් ගෙන තිබෙන බවයි.
ලංකාවේ අපොස උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය විද්‍යාව හැදීරීම සඳහා සුදුසුකම් ලබන සියලු සිසුන්ට ඒවාට ඇතුළත් වීමට ඉඩ ප්‍රස්ථා හිමි නොවේ. ඒ සිසුන්ගේ වරදක් නිසා නොව, පීඨවල ඉඩ කඩ සීමා සහිත වීම නිසා ය. මේ හේතුවෙන්, සිසුහු බොහෝ දෙනෙක් විවිධ විදේශවල වෛද්‍ය උපාධිය සඳහා පිටත්ව යති. ඒ වෙනුවෙන් ඩොලර් කෝටි ගණන් වැය කරති. එක් අතකින් මෙය මෙරට ඩොලර් විදේශවලට පුදදීමකි. පසුගිය කාලය පුරා මෙරට විදේශ මුදල් අර්බුදය නිසා සිදුවූ ආර්ථික ගැටලු ගැන අමුතුවෙන් කිව යුතු නැත. එක ඩොලරයක් පවා කොතරම් වටින්නේ ද යන්න අප පෝලිම්වල සිටින විට සිහියට නැගුණි.
සමස්තයක් ලෙස ලංකාවේ සිසුන් විදේශ විශ්වවිද්‍යාලවල උපාධි සහ ආශ්‍රිත වියදම් සඳහා ගෙවන මුදල වාර්ෂිකව ඩොලර් බිලියන 1 සිට 2.5 දක්වා බව ගණන් බලා ඇත. එය ලංකාවට වාර්ෂිකව ඉන්ධන ආනයනය කිරීමට යන ඩොලර් ප්‍රමාණය හා සමාන ය. එමෙන්ම අපගේ රට ඇඟලුම් අපනයනයෙන් උපයන ඩොලර් ප්‍රමාණයට ද සමාන ය. මේ අතර, ලංකාවේ සිසුන් 700 සිට 800 දක්වා පිරිසක් වාර්ෂිකව පිටරටවල වෛද්‍ය විද්‍යාලවලට යන බව වාර්තා වේ. ඊට වාර්ෂිකව වැයවෙන මුදල ඩොලර් මිලියන 12ක් පමණ වේ.
කොතලාවල වෛද්‍ය පීඨය ඇරඹීමත් සමග වෛද්‍ය උපාධිය සඳහා බංගලාදේශය, නේපාලය සහ බෙලරුස් වැනි රටවලට ගිය ලාංකික සිසුහු විශාල පිරිසක් සියරට නතර වූහ. එමෙන්ම සාධාරණ මුදලක් වැය කරමින් ගුණාත්මක වෛද්‍ය උපාධියක් ද ලබා ගත්හ. වර්තමානයේ ලංකාවේ සිසුන්ට අහිමි කර තිබෙන්නේ එම අවස්ථාවයි.
මෙය කිසිදු තාර්කික පදනමකින් ගත් තීරණයක් නොවන බව ආණ්ඩුවේ ප්‍රකාශවලින් පෙනේ. ආණ්ඩුවේ යල්පැන ගිය හණමිටි දේශපාලන අවශ්‍යතා මෙරට මහජනයා මත බලෙන් පටවා පුරවැසියන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමට ගත් පැහැදිලි උත්සාහයකි.
ආණ්ඩුවට මෙවන් සාර්ථක ව්‍යාපෘති දෙස බලා සිටීමට බැරි සෙයක් පෙනේ. ඒවා ඔවුන්ගේ ඇසට කටුවලින් අනින්නා සේ ය. ඊට හේතුව අපි නොදනිමු. එහෙත් මේවා මේ නූතන යුගයේ දේශපාලනය නම් නොවන බව පැහැදිලිව කිව යුතු ය. මේ රට නැවත වරක් 88/89 වැනි යුගයක තිබූ අඳුරු සංස්කෘතික යුගයට රැගෙන යාමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට තිබෙනවා ද?
සාහසික මාක්ස්වාදී දේශපාලන පක්ෂ විසින් ලංකාවේ උසස් අධ්‍යාපනය ඛේදවාචකයක් බවට පත් කරන ලද්දේ ඉහත වන් ජනතා විරෝධී හණමිටි ප්‍රතිපත්ති මගින් පමණක් නොවේ. ඔවුහු, ඊට වඩා ඉතා දරුණු රෝගයක් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දශක ගණනාවක් තිස්සේ පවත්වා ගෙන යති. ඒ අන් කිසිත් නොව, නවකවදයයි. දැන් එය විශ්වවිද්‍යාලවලින් වෙනත් උසස් අධ්‍යාපන ආයතනවලට ද පැතිරී ගොස් තිබේ.
කුලියාපිටිය කාර්මික විද්‍යාලයෙන් පසුගිය 3 වැනිදා වාර්තා වූයේ නවකවදය නිසා වැවකට පැන සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කළ තවත් සිසුවියකගේ කතා පුවතකි. දරාගත නොහැකි සහ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි ලෙස දුන් නවකවදය නිසා සියදිවි හානිකර ගැනීමට තමා උත්සාහ කළ බව ඇය පොලිසියට කියා ඇත.
මීට සති කිහිපයකට පෙර මෙම ලියුම්කරු ද සේවය කරන සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවෙක් නවකවද පීඩනය නිසා සිය දිවි නසාගත්තේ ය. මීට පෙර මෙම විශ්වවිද්‍යාලයේ ම තවත් සිසුවියක් මෙවැනි ම නවකවද සිදුවීමක් නිසා ගෙල වැලලාගෙන මියගියාය. මේ සංස්කෘතිය වහා වෙනස් විය යුතුව තිබේ.
විශ්වවිද්‍යාල තුළ නවකවදය පවත්වාගෙන යන්නේ ශිෂ්‍ය සංගම්වල ආශිර්වාදය සහිතව ය. අපගේ අත්දැකීම නම් නිල වශයෙන් ශිෂ්‍ය සංගම් නවකවදය සිදු කරන්නේ නැත. කෙසේ වෙතත්, නවකවදය සිදු කරන සිසුන්ට ශිෂ්‍ය සංගම්වල නොනිල අනුමැතිය නිරන්තරව ලැබෙයි. ඒ හේතුකර ගෙන කිසිදු බියකින් තොරව ඔවුහු නවකවද ක්‍රියාකාරකම්වල යෙදෙති. මෙහි දී ඔවුන් සාධාරණීකරණයක් ලෙස යොදාගන්නේ, මේ හරහා ස්වකීය “උපසංස්කෘතිය” තුළට අනෙකා අන්තර්ග්‍රහණය කරගැනීමයි. ශිෂ්‍ය සංගම් නවකවදයට ඍජුව සම්බන්ධ නොවුණ ද, ඉහත උපසංස්කෘතික අන්තර්ග්‍රහණයේ වාසිය ලැබෙන්නේ ඔවුන්ට ය. කොටින්ම නවකවදය හරහා කරනු ලබන්නේ මේ සංගම් වටා රොක්වන සිසුන් ගණන වැඩිකර ගැනීම සහ එම සංගම්වල ක්‍රියාකාරකම් වටා සිසුන් ඒකරාශී කිරීම ය. යට කී නොනිල අනුමැතිය ලැබෙන්නේ ඒ සඳහා ය.
ඇතැමුන් සිතාගෙන සිටින පරිදි නවකවදය යනු සුන්දර අත්දැකීමක් නොවේ. එය සුන්දර එකක් බව ඇතැමුන් කියන බව අප අසා තිබේ. කිසිසේත්ම එය එසේ නොවේ. ඇත්ත වශයෙන්ම නවකවදයට වක්‍ර දායකත්වය ලබා දෙන්නෝ එවන් පිරිස් ය. ඔවුහු නවකවදය රොමැන්තිකකරණයට ලක් කරති. නවකවදය යනු පුද්ගල නිදහස සපුරා උල්ලංඝනය කරමින් කරන බලහත්කාරකමකි. එමගින් විශ්වවිද්‍යාලයේ පළමු වසරේදීම සිසුන්ගේ පෞරුෂත්වය විනාශ කර දැමීම අරමුණය.
එහෙත් නවකවදයේ කෲර බව මතුවන්නේ, ඉහත කිසියම් සිසුවකු ශිෂ්‍ය සංගම් මානසිකත්වයට සමපාත නොවූ තැන සිට ය. එතැන් සිට අදාළ සිසුවා සතුරකු ලෙස පෙන්වා ඔහු හෝ ඇය වෙනම දැඩි වද බන්ධනවලට ලක් කරනු දැකිය හැකිය. ඇතැම් සිසුන් සියදිවි හානි කරගන්නා තැනට එන්නේ මෙන්න මේ පරිසරයෙනි. එවන් තෝරාගත් සිසුන් හුදකලා කිරීමට සහ වෙනත් සිසුන් සමග ඇසුරු කිරීම පවා තහනම් කරනු ඇත. කණ්ඩායමෙන් ඔවුන් තනිකර, ඇතැම්විට නේවාසිකාගාරවලින් පවා යන තැනට කටයුතු සලස්වයි. මෙහි දී මානසිකව කිසියම් දරාගැනීමක් ඇති සිසුන් මීට සාර්ථකව මුහුණ දෙන අතර සෙස්සෝ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නා තැන සිට සියදිවි හානිකර ගැනීම දක්වා යොමුවෙති.
මේ කෲර සම්ප්‍රදාය විශ්වවිද්‍යාල තුළ දේශපාලන අරමුණකින් යොදා ගැනීම ගැන ප්‍රබල චෝදනා එල්ල වන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය සංගම් වෙත ය. ජනතා විමුක්ති පෙරමුණ එය නිරන්තරව ප්‍රතිකේෂප කර ඇත. කෙසේ වෙතත්, ප්‍රායෝගික තත්වය නම්, ඔවුන් ඍජුව ඊට සම්බන්ධ නොවුණ ද ඔවුන්ගේ අනුමැතිය සහ අනුග්‍රහය ඊට නිරන්තරව ලැබීමයි.
මෙය දැන්වත් වෙනස් විය යුතු ය, වෙනස් කළ යුතු ය. එහෙත් එය වෙනස් කිරීම සඳහා කටයුතු කරන්නේ කවුද? මේ සම්බන්ධයෙන් විවෘතව කතා කළහොත්, නවකවදය නැවැත්වීම සඳහා විශ්වවිද්‍යාල තුළ දේශපාලන අධිෂ්ඨානයක් නැත. ඊට විවිධ හේතු තිබිය හැකිය. එහෙත් ප්‍රධාන හේතුව නම් විශ්වවිද්‍යාල පරිපාලන අංශ මීට දක්වන උදාසීන බවයි. එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ද නවකවදයට එරෙහිව සැලකිය යුතු විරෝධයක් නැත. ඇතැම් අය ඊට සපුරා එරෙහි වන අතර, තවත් එවැනි ම පිරිසක් ඒ පිළිබඳ උනන්දු වන්නේ නැත. මේ හේතුවෙන් සිසුන් අතර පරම්පරාවෙන් පරම්පරාවට මේ තිරශ්චීන භාවිතය හුවමාරු වෙමින් තිබේ.
මේ සඳහා අපට පෙනී යන ප්‍රායෝගික විසඳුම් මාර්ගයක් තිබේ. වර්තමානයේ තිබෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධානත්වය උසුලන ආණ්ඩුවකි. නවකවදය සම්බන්ධයෙන් වැඩිම චෝදනා එල්ල වන්නේ ඔවුන් වෙත ය. ඒ අනුව, එම පක්ෂයට මීට එරෙහිව ක්‍රියා කිරීම සඳහා දැඩි වගකීමක් හා යුතුකමක් ද තිබේ. අනෙත් අතින්, තමන් නවකවදය ඇත්ත වශයෙන්ම ප්‍රතික්ෂේප කර පෙන්වීමට ද එය මහඟු අවස්ථාවකි.
කෙසේ වෙතත්, එක් පැත්තකින් කොතලාවල විශ්වවිද්‍යාලය වැනි උසස් අධ්‍යාපන ආයතන වැඩි වැඩියෙන් ආරම්භ කළ යුතු අවස්ථාවක හණමිටි ප්‍රතිපත්ති මත සිටිමින් ඒවා දුර්මුඛ කරන තැනට ආණ්ඩුව කටයුතු කරද්දී, ලංකාවේ උසස් අධ්‍යාපනය මෙන්ම නිදහස් අධ්‍යාපනයට විශාලතම අභියෝගයක්ව පවතින නවකවදය වැනි ප්‍රතිගාමී සම්ප්‍රදායක් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරයි ද යන්න විශාල ප්‍රශ්නාර්ථයකි.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අධ්‍යාපනයේ උත්තර නැති පරණ ප්‍රශ්න