IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


සිරිමාවෝ මැතිණිය වුණේ මෙහෙමයි

සිරිමාවෝ බණ්ඩාරනායක  නැමැති ‘වීර මාතාවක’ මෙරට මහජනතාවගේ හද තුළ ලැගුම් ගන්නේ බණ්ඩාරනායක අගමැතිතුමාගේ අභාවය සිදුවූ මොහොතේය. සාහසික වෙඩි පහරින් තුවාල ලැබූ බණ්ඩාරනායක අගමැතිතුමා ශල්‍යකර්මයෙන් දිනකට පසු ජීවිත ගමන හැරයද්දී ඔහුගේ ඇඳ පාමුල සිටි සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මහත්මිය සිය සැමියාගේ සිරුර මත සිහිසන් නොමැතිව ඇද වැටුණාය.

ඒ මොහොතේත් එහි සිටියේ දේශපාලනය ගැන කිසිඳු ඇල්මක් නොතිබූ අගමැති බිරියක් පමණකි. සිය සැමියාගේ අභාවයෙන් කලකට පසුව ඇය ඒ මොහොත සිහිපත් කළ පහත දැක්වෙන ප්‍රකාශයෙන්ද ඇය දේශපාලනයට ඇල්මක් නොතිබූ බව මැනවින් පැහැදිලි වෙයි. මලල්ගොඩ බන්දුතිලක සමග ඇය කළ සාකච්ඡාවක දී තබා එදා පත්ව සිටි තත්වය එතුමිය සිහිපත් කරනුයේ මෙලෙසිනි.

“රටට මේ තරම් සේවයක් කරපු කෙනෙකුට මේ වගේ දෙයක් කළා නම් අපි මේ රටේ ජීවත් වෙලා පලක් තියෙනවද, කියලා මට හිතුණා. දරුවන් තුන් දෙනාත් සමග මේ රට දාලා කොහේ හරි යන්නයි මට ඕනෑ කළේ. ඒත් මගේ මවුපියන් ඒකට ඉඩ දුන්නේ නෑ.” බණ්ඩාරනායක මැතිනිය පසුකලෙක කියා සිටියේ ඒ අයුරිනි.

තම සැමියාගේ අභවයෙන් පසු පක්ෂයේ නායකකම භාර ගන්නැයි විවිධ කණ්ඩායම්වලින් හා මහජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වුවද සිරිමාවෝ එය ප්‍රතික්ෂේප කළාය. ඇයට වුවමනා වූයේ දරු තිදෙනා රැකබලා ගෙන නිදහසේ ජීවත් වීමටය. පවුලේ ඥාතියකු වන ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය දේශපාලනයට ගෙන ඒමට ඉමහත් වෙහෙසක් ගත්තේය. සිරිමාවෝ කිසිවකුගේ කීමක්වත් නාහන කල ෆිලික්ස් හැරුණේ චන්ද්‍රිකා වෙතටය. අම්මාට බලපෑම් කරන්නට ඔහු චන්ද්‍රිකාව පොළඹවා ගත්තේ බොහෝ වතාවක් ඇයට කරුණු වටහාදීමෙන් පසුවය. ඔයාගේ තාත්තා එයා හැදු පක්ෂයයි දේශපාලනයයි වෙනුවෙන් ජීවිතය පූජා කළා. ඔයගොල්ල අම්මට දේශපාලනයට එන්න නොදුන්නොත් එයින් කරන්නෙ ඒ සේරම විනාශ වෙන්න හරින එකයි. … ෆිලික්ස් ඩයස් චන්ද්‍රිකාට වටහා දුන්නේය. අවසානයේ චන්ද්‍රිකා තම මවට ඒ ගැන කරුණු වටහා දෙන්නට තීන්දු කළාය.

‘‘ඇයි අම්මා ඒක කරන්නේ නැත්තේ. ඒක තාත්තාගෙ පක්ෂය. පක්ෂය බේර ගන්න පුළුවන් අම්මට පමණයි’’ තම මවු සමග දේශපාලනය ගැන කළ සංවාදයට සිහිපත් කරමින් චන්ද්‍රිකා පසු කලෙක කියා සිටියාය. එහෙත් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය චන්ද්‍රිකාගෙන් පෙරළා විමසුවේ ද ප්‍රශ්නයකි.

‘‘උඹටත් මැරෙන්න ඕනෑ ද?’’

බණ්ඩාරනායක මහත්මිය විමසුවාය.

ඒ වනතුරුත් සිරිමාවෝ මැතිනිය බවට පත්ව නොසිටියාය.

1960 මාර්තු පැවැති මහා මැතිවරණයේ දී ඇය ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට සහාය ලබාදී පසෙකට වී සිටියාය. පක්ෂය මෙහෙය වූයේ සී. පී. ද සිල්වා ඇතුළු පිරිසකි. බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ සී. පී.  පක්ෂ නයකයා වනු ඇති බවය. පොලොන්නරුවේ හිටපු දිසාපතිවරයකු වූ සී. පී. ද සිල්වා යටතේ ශ්‍රීලනිපය ආසන 44ක් ලැබුවත් ආසන 50ක් ලැබූ එජාපයට අගමැති ධුරය හිමිවිය. එහෙත් එම ආණ්ඩුව තුන් මසකින් බිඳ වැටුණි. යළිත් මහමැතිවරණයක් කැඳවිණි.

සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ නියමාකාර දේශපාලන ආගමනය සිදු වන්නේ 1960 ජූලි පැවැති එම මහ මැතිවරණයෙනි. සී. පී. ද සිල්වාට අකමැති බණ්ඩාරනායකවරුන් වූ ෆිලික්ස් ඩයස් ඇතුළු කණ්ඩායම සිරිමා බණ්ඩාරනායක මහත්මියට සිය සැමියාගෙන් හිස්වූ පක්ෂ නායක තනතුර පිරිනමා මැතිවරණයට කැඳවා ගත් හෙයින් පක්ෂය ජයගතහොත් ඇය අගමැති වනු ඇති බවට ගිවිසුමක් ද ඇති කර ගැනිණි.

එය සාර්ථක විය. කුඩා දරු තිදෙනකු සමග තනිවූ ඇගේ කතා අසන්නට වැඩිපුරම දේශපාලන රැස්වීම්වලට පැමිණියෝ කාන්තාවෝය. ඇය කළ කතා අසා කාන්තාවන් කඳුළු සැලූ බවද ඇය කෙරෙහි අනුකම්පා රැල්ලක් රටපුරා හමා ගිය බවද ඉතිහාසයේ සඳහන්ය.

1960 ජූලි මැතිවරණයේදී සිරිමාවෝ හඳුන්වන ලද්දේ ‘සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය වශයෙනි. මැතිවරණයෙන් ජය ගත්තේ ඇය නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. 1960 ජූලි 21 වැනිදා ඇය රජ ගෙදර දී ලංකාවේ අගමැතිවරිය ලෙස දිවුරුම් දුන්නාය. ඒ සමගම ඇයට ලොව ප්‍රථම අගමැතිනිය යන විරුද නාමය ද ලැබුණේ එතෙක් කාන්තාවක අගමැති පදවියට පත්ව නොතිබූ නිසාය. ජනතා ගරු බුහුමනින් ඇය ‘මැතිණිය’ ලෙස හැඳින් වෙන්නට පටන් ගත්තේ ද එම ජයග්‍රහණයත් සමගය. සිරිමාවෝ බණ්ඩාරනායක චරිතාප්‍රදානයේ මෙවැනි සඳහනක් ඇත.

‘රජ ගෙදර අබියස මංමාවත් පුරා රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව ‘මැතිනියට ජයවේවා’ යි ඔල්වරසන් නගමින් සිටියහ. රජ​ෙගදර සඳළුතලයට පිවිසි සිරිමාවන් දෑත් ඔසවා ආචාර කරත්ම‘ මැතිනි..... මැතිනි..... මැතිනි.....’ යැයි දහස් සංඛ්‍යාත මුවගින් හඬ නැගිණි.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලක්දිව පොදුජන හදවත  තුළ ‘මැතිනිය’ බවට පත්වෙමින් අබිෂේක ලැබුවේ ඇය ලැබු අගමැති තනතුරෙනි.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අගමැතිනිය බවට පත්වීම  ඉංග්‍රීසි භාෂාවද අමාරුවේ දැමූ අවස්ථාවක් බවට පත්විය. එකල අගමැතිවරුන් ඇතුළු රාජ්‍යයේ ඉහළම නායකයන් ඉංග්‍රීසියෙන් හැඳින් වූයේ ‘ස්ටේට්ස්මන්’ වශයෙනි. ‘දක්ෂ පළපුරුදු සහ ගෞරවනීය දේශපාලන නායකයෙක් හෝ චරිතයක්’ යන්න එහි සිංහල තේරුමය. යුරෝපය පුරා රාජකීය පවුල්වල සාමාජිකයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් හැඳින් වූයේද  ‘ස්ටේට්ස්මන්’ යන වචනය යෙදීමෙනි. ගැහැනියකට අගමැතිකම ලැබුණු විට ඇය හැඳින්විය යුතු ආකාරය යුරෝපයේ ඉංග්‍රීසි පුවත්පත්වලට ද ප්‍රශ්නයක් විය. 1960 ජූලි 21 වැනිදා ලන්ඩනයේ ‘ඊවිනිං නිව්ස්’ පුවත්පත  සඳහන් කළේ ඒ සඳහා නව වචනයක් අවශ්‍ය බව යැයි එකල අගමැති ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් සඳහන් කරයි. ඉංග්‍රීසි භාෂාවේ ‘ස්ටේට්ස්මන්ලා’ මිස ‘ස්ටේට්ස්වුවමන්ලා’ නොසිටි නිසා බණ්ඩාරනායක අගමැතිනිය’ ස්ටේට්ට්ස්වුමන්’ ලෙස හැඳින්විය  යුතු යැයි එම පත්‍රය මතයක් ඉදිරිපත් කර තිබූ බවද බ්‍රැඩ්මන් සඳහන් කරයි.

සිංහල භාෂාවට ද අගමැති ලෙස එතෙක් පැවැති වචනය ‘අගමැතිනිය’ ලෙස අලුත් කරන්නට සිදුවිය. පොදු ජනතාව එම වචනය ‘මැතිනි’ ලෙස තවත් කෙටි කර ගත්හ. ඉන්පසුව එය ඇගේ ‘හඬ’ බවට පත්විය.

කලක් මැතිනිය සමීපව ඇසුරු කළ ශ්‍රීලනිපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න මහතා මැතිනිය ගැන සිහිපත් කරනුයේ මෙලෙසය.

‘හැට – හැට පහ ආණ්ඩුව හැඳින්වුණේ මැතිනිගේ ආණ්ඩුව කියලා. ඊට පස්සේ හැත්තෑවේ ආණ්ඩුවත් මැතිනිගේ ආණ්ඩුව කියලා හැඳින්වුණා. මැතිනිය හරිම චාම්. ඒ වගේම එඩිතරයි. ලොකු තේජසක් තිබුණා. අසූ ගණන්වල දවසක් මට මතකයි එතුමිය පාර්ලිමේන්තු කණ්ඩායමේ දී මොකක් හරි ප්‍රශ්නයක් ආපු වෙලාවක තදින් කීවා. “අයැම් නොට් අ බණ්ඩාරනායක, අයැම් අ රත්වත්තේ” කියල මම රත්වත්තේ කෙනෙක් කියලයි එතුමිය කීවේ.

‘බණ්ඩාරනායක මහත්තයගෙන් පසුව පක්ෂයේ බලවතා ලෙස හිටියේ මින්නේරියෙ සී. පී. ද සිල්වා. එයා උගතෙක්. හිටපු  දිසාපති කෙනෙක්. ඒත් එයාගෙ කාලය හරි නෑ. එයා හලාගම මිනිහෙක් කියලා පක්ෂය ඇතුළෙම මතයක් තිබුණා. ඒක නිසා සී.පී. ට නායකත්වය ලැබුණෙ නෑ. ඔහුට එරෙහි හැම දෙනාම පවුලෙම කෙනකුට දෙන්න ඕනෑ කියන මතයෙ හිටියෙ. ඒ අනුවයි ඒ කණ්ඩායම මැතිනිට පක්ෂ නායකත්වය භාරගන්න කියලා බල කළේ. මැතිනිත් මුලදී කැමති වුණේ නෑ. ඒත් දේශපාලනයට ආවට පස්සෙ මුල්කාලෙ හරිම අහිංසක විදිහට කතා කළේ. හැබැයි පස්සෙ හරිම ප්‍රතාපවත්ව හැදිල ආවා. කරුණාරත්න මහතා සඳහන් කරයි.

කොතරම් විශාල ප්‍රමාණයේ දේපොල ඉඩකඩම් තිබුණත් බණ්ඩාරනායක මහතාට එම ඉඩකඩම් හිමිවන විට ඉන් බොහොමයක් නිසරුවී තිබිණි. පොල් වතුවලින් විශාල ආදායමක් නොලැබිණි. 1956 මහ මැතිවරණයට අලුතෙන් පිහිට වූ ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ගණනාවක් සඳහා ඇප මුදල් ලබා දුන්නේ ද බණ්ඩාරනායක මහතාය. ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් නොතිබුණු හෙයින් බණ්ඩාරනායක මහතා තමා පදිංචිව සිටි රොස්මීඩ් පෙදෙසේ නිවස බැංකුවකට උගස් කර ණය මුදලක් ලබාගෙන මැතිවරණයට වියදම් කළේය. ණය ගෙවා අවසන් වීමට පෙර අගමැති බණ්ඩාරනායකගේ අභාවය සිදු වූයෙන් ජීවත් වූ නිවස උගසෙන් බේරා ගැනීමේ කටයුතු භාර වූයේ බණ්ඩාරනායක මහත්මියටය. සිරිමාවෝ බණ්ඩාරනායක චරිතාපදානයෙන් එම උගස ගැන මෙවැනි සඳහනක් වෙයි.

‘අගමැතිතුමාගේ මරණයෙන් පස්සේ අපට ගෙවන්නට සිදුවූ විශාල බුදල් බදු සඳහා දේපොළ සමහරක් විකුණන්නට පවා අපට සිදුවුණා. පනස් හයේ මැතිවරණයට උගස් කළ රොස්මිඩ් පෙදෙසේ නිවස නැවතත්  බේරා ගත්තෙ මම 1970 අගමැති වුණාට පස්සෙ. අගමැති හැටියට ගත්ත පඩියෙනුත් මාස්පතා උගස ගෙව්වා. හැත්තෑ හයේ ‘‘ණය ගෙවල ඉවරයක් වුණා’’. බණ්ඩාරනායක මැතිනිය පසු කලෙක සිහිපත් කළේ ඒ අයුරිනි.

එකල රාජ්‍ය නායකයන්ගේ තත්වය ඇගේ එම ප්‍රකාශයෙන් අපූරුවට හෙළිදරව් වෙයි. එකල නායකයන්ට අමතර මුදල් ගලා එන මාර්ග නොතිබුණි. අගමැතිවරයා වුවත් ණය ගෙවිය යුත්තේ තමාගේ මාසික වැටුපෙනි. එහෙත් පසු කලෙක එම තත්වය වෙනස් විය. මෙරට දේශපාලකයන් අරාබියේ සුල්තාන්ලා මෙන් ජීවත් වන්නට පටන් ගත්තේ. ව්‍යාපාරිකයන්ගෙන්, හිත මිතුරන්ගෙන් ලැබෙන ආධාරවලිනි.

1970 රජය සමයේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ආනයනය සීමා කෙරිණි. දේශීය ආර්ථිකයක් ගොඩ නැගීම එහි අරමුණ වුවත් වැඩි පිරිසකට මැතිනියගේ ආණ්ඩුව එපා වූයේ එම සීමාකිරීම් නිසාය. සීනි හිඟවිය. මිරිස් හිඟවිය. තවත් බොහෝ බඩු භාණ්ඩ හිඟවිය. එහෙත් ශ්‍රීලනිප මැයි දින රැලියක දී පාක්ෂිකයන්ගේ උද්‍යෝග පාඨය වූයේ බහුහිඟය දරාගත හැකි බවය.

‘සීනි නැතිව තේ බොන්නම්

මිරිස් නැතිව හොදි කන්නම්

මැතිනි අපට කියනව නම්

පිදුරු වුණත් අපි කන්නම්

විපක්ෂය මැතිනියට දෙස් දෙවොල් තබද්දී ශ්‍රීලනිප පාක්ෂිකයන් සිටියේ මැතිනිය කියන්නේ නම් පිදුරු වුණත් කන සූදානමෙනි. මැතිනිය පාක්ෂිකයා තුළ ඇතිකර තිබූ බැඳියාව එතරම් බලවත් විය. 1960 ජූලි මැතිවරණයෙන් අගමැති ධුරයට පත් වූ පසු ‘මැතිනිය’ ලෙස පොදු ජනතා බුහුමන ලැබූ ඇය මේ වනවිට ජීවන ගමනින් නික්ම ගොස් ඇතත් අද ද ඇය හැඳින් වෙන්නේ ‘මැතිනිය’ වශයෙනි.

(***ප්‍රේමකිර්ති රණතුංග)



අදහස් (0)

සිරිමාවෝ මැතිණිය වුණේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 867 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1282 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site