IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සයිකලයෙන් ගමන් යන නවසීලන්ත මන්ත්‍රීවරිය

පාර්ලිමේන්තුවට හා රාජකාරි සඳහා යද්දී නිරන්තරයෙන් පාපැදිය භාවිතයට ගන්නා නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජූලී ඈන් පේන්ටර් දරු ප්‍රසූතිය සඳහා ද පාපැදියෙන් ගොස් රෝහල්ගතවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති බව අප පුවත්පත ඉකුත්දා අනාවරණය කළේය.

අප පුවත්පත එම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණේ පුවත්පතේ මුල් පිටුවේම එම මන්ත්‍රීවරියගේ ඡායාරූපයක්ද සමගින් විශේෂත්වයක් දෙමිනි. එය එසේ වූයේ නවසීලන්තයේ මන්ත්‍රීවරියගේ පාපැදි සංචාරය කුණුවී ඕජස් ගලන අපේ රටේ දේශපාලන සංස්කෘතියට ආදර්ශයක් හෙයිනි.

අප රටේ මැති ඇමැතිවරුද පාපැදිවලින් යති. ඒ දේශපාලන විරෝධතාවලටය. එසේ නොමැතිනම් මැතිවරණ කාලවලදී තමන්ගේ සරලකම පෙන්වීමටය. එමෙන්ම මාධ්‍ය සංදර්ශන සඳහාය. බොහෝවිට සිදුවන්නේ පාපැදියෙන් ගිය පුරවැසියා මැති ඇමැතිවරයකු බවට පත්වූ විට අධි සුඛෝපභෝගී වාහනවලින් යාමය. ඒ ඉදිරියෙන් හා පසුපසින් රථවාහන පෙළපාළි ද සමගිනි.

දියුණු රටවල්වල දේශපාලන සංස්කෘතිය ද පොහොසත්ය. එම දේශපාලන සංස්කෘතිය අත්‍යන්තයෙන්ම ගරු සේවයකි. සමාජ සේවයකි. එම දේශපාලන සංස්කෘතියට අනුව දේශපාලනය යනු වගකීමක් විනා ආභරණයක් නොවේ. අවංකකම, ප්‍රතිපත්තිගරුක බව එම දේශපාලන සංස්කෘතියේ මිල කළ නොහැකි වත්කම්ය. ‘පරිසරයට ආදරය කරමු. පා පැදියෙන් රැකියාවට යමු’ යන සංකල්පය නවසීලන්ත වැසියන් අතරේ ජනප්‍රිය කරලීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන පරිසර ක්‍රියාකාරිනියකවූ ජූලි ඈන් පේන්ටර් මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට හා රාජකාරි සඳහා යන්නේ පා පැදියෙනි. එකක් කියා වෙන දෙයක් කරන මජර දේශපාලනයක ඇයත් නියැළුණේ නම් තේමා පාඨය රැස්වීම්වලට මාධ්‍ය සාකච්ඡාවලට පමණක් සීමා වීමට ඉඩ තිබිණි. එහෙත් දරු ප්‍රසූතියටද ඇය යන්නේ පා පැදියෙනි.

රටක් ගොඩනැගීමට බලවත් ආදර්ශ අවැසිම වේ. එම ආදර්ශ ප්‍රධාන වශයෙන්ම සැපයිය යුත්තේ දේශපාලන ක්ෂේත්‍රයෙනි. දේශපාලනඥයා මහජනයාට වඩාත් සමීප විය යුතුය. මහජනයාගේ ප්‍රශ්නවලට සංවේදී විය යුතුය. තමාගේ වගකීම මහජනයාගේ ප්‍රශ්න විසඳීම බව අවබෝධ කර ගත යුතුය. එසේ නොමැතිව දේශපාලනයට පිවිසීම යනු එතෙක් නොවිඳි සැප සම්පත් විඳීමට මාන බැලීම නොවේ. එහෙත් දේශපාලනය යනු බඩ රස්සාවක් යැයි අදහන දේශපාලනඥයෝ පිරිසක් බිහිවී සිටිති. ජනතාවට දේශපාලනය තිත්තවී තිබෙන්නේ එහෙයිනි.

මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට නිල වශයෙන් දැවැන්ත වරප්‍රසාද කන්දරාවක් නැත. එසේ නැති වරප්‍රසාද ආරෝපණය කර ගැනීමට අප රටේ මැති ඇමැතිවරු රුසියෝ වෙති. අමාත්‍යවරයාට එක නිල රියක් හිමිවුවද අමාත්‍යාංශයේ ඇති සුඛෝපභෝගී හොඳම වාහන සියල්ලම පාහේ ඇමැතිවරයාගේ අත්අඩංගුවේය. සරලව කියන්නේ නම් ඇමැතිවරයාගේ නිවෙසේය. මැති ඇමැතිවරුන්ට වැළඳෙන ‘රථගායට’ අනුව ඔහු ගමනක් යනවිට ඉදිරියෙන් හා පසුපසින් වාහන පෙළපාළියක් ආ යුතුය. එමෙන්ම මාර්ග නීති කඩ කරමින් හා මාර්ග සලකුණු නොතකමින් පිම්මේ යා යුතුය. මැති ඇමැතිවරුන්ගේ දොල සංසි​ෙඳන්නේ එවිටය.

සෑම මන්ත්‍රීවරයකුටම තීරු බදු රහිත වාහන ගෙන්වීමට     බලපත්‍රයක් ලැබේ. ඇතැමකුගේ මන්ත්‍රීවීමේ එකම සිහිනය එම තීරුබදු රහිත ‘ලයිසන්’ එක ලබාගැනීමය. සතියක කාලයක් වෙනුවෙන් නම්කෙරුණු එක්තරා මන්ත්‍රීවරයකු කළේ තීරුබදු රහිත සැප වාහනය ලබා ගැනීමය. මෙවර පාර්ලිමේන්තුවේ තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට කොවිඩ් වසංගතය නිසා එම බලපත්‍රය නිකුත් කිරීම අත්හිටුවා තිබේ. එම බලපත්‍රය ලබා දීමට සියලු කටයුතු සුදානම් කර තිබුණද නැගුණ මහජන විරෝධය නිසා එය අත්හිටුවා තිබේ. එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන් එම බලපත්‍රය ඉල්ලා පින්සෙණ්ඩුවන ආකාරය දුටු විට එය හිරිකිතය. ඒ සඳහා ඉදිරිපත් කරන කරුණු ලජ්ජාසහගතය. මහජන නියෝජිතයන්ට මෙතරම්ම පල්ලම් බැසීමට හැකිදැයි සිතෙන තරම්ය.

මැති ඇමැතිවරුන්ට යාන වාහන ඇවැසිය. රාජකාරි කටයුතු වේගවත්ව කිරීමටත්, පහසුවෙන් සිදු කිරීමටත් යාන වාහන අවශ්‍යවේ. ඒවා අවශ්‍ය වන්නේ ඒ සඳහා මිස ප්‍රදර්ශනයට නොවිය යුතුය. තමන්ගේ දොළදුක සංසිඳුවා ගැනීමට නොවේ. එමෙන්ම එය මෙරට ආර්ථිකයට ඔරොත්තු දිය යුතුය. මහජනයා වේලක් කා ජීවත්වන තරමට අපහසු අඩියක සිටිනවිට ගරු කටයුතු මහජන නියෝජිතයන්ද කැප කිරීමක් කළ යුතුය.

මෙරට දේශපාලන සංස්කෘතිය කුණුවී ඕජස් ගලන තත්ත්වයට පත්ව තිබුණද සැබෑ මහජන නියෝජිතයන්ගෙන් වර්ණවත්වූ දේශපාලන සංස්කෘතියක්ද මෙරට තිබිණි. බසයෙන් දුම්රියෙන් ගමේ සිට කොළඹ පැමිණ මන්ත්‍රී නිල නිවාසයවන ශ්‍රාවස්තියේ නතරවී පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවී පැමිණි ආකාරයෙන්ම යළිත් ගමට ගිය අල්පේච්ඡ නිරහංකාර දේශපාලනඥයෝ මෙරට සිටියහ. මෙරට අගමැතිවරයකුවූ ඩබ්ලිව්. දහනායක මහතා ගාල්ලේ සිට කොළඹ පැමිණියේ දුම්රියෙනි. මෙරට සිව් වතාවක් අගමැති ධුරය හෙබවූ ඩඩ්ලි සේනානායක මහතා මියයන විට ඔහුගේ බැංකු ගිණුමේ තිබූ මුදල රුපියල් සියයටත් අඩුය. හැබැයි දිස්ත්‍රික්කයක් පුරා ඡන්ද සටන ගෙනයන්නටත් සල්ලි අවශ්‍යය. හොරකම් කෙරෙන්නේද ඒ නිසාය.

ඒ ඉහත කී දේශපාලන සංස්කෘතිය හා වත්මන් දේශපාලන සංස්කෘතිය සසඳා බලන විට පෙනෙන චිත්‍රය ඉතා පැහැදිලිය. ‘පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයැයි’ මතයක් සමාජයෙන් මතුවී තිබේ. එවැන්නක් අප අනුමත නොකළ ද මෙබඳු මත නිර්මාණය වී තිබෙන්නේ අහම්බයෙන් නොවන බව අවධාරණය විය යුතුය.



අදහස් (0)

සයිකලයෙන් ගමන් යන නවසීලන්ත මන්ත්‍රීවරිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 458 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site