ඩයනා උදයංගනී
ඡායාරූප ඉෂාන් සංජීව
ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මියගේ 90 වැනි ජන්ම දිනය අදට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ආයුබෝවේවා, අනූවට පා තබන සිබිල්‘ චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ඩිට් කලාගාරයේදී අද (31) පැවැත්විණි.
සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් අඳින ලද ‘සිදුහත් කුමාරයාගේ කතාව‘ සහ ‘පුදුම රිදී ගස‘ චිත්‍ර එකතුව මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.
වෙත්තසිංහ මහත්මියගේ ජන්ම දිනය වෙනුවෙන් උපන් දින කේක් කැපීම ද ඇගේ දරු මුණුපුරන් සහ හිතවතුන් මධ්‍යයේ මෙහිදී සිදුවිය.
කෙක් කැපීමෙන් අනතුරුව මෙහි නිවේදන කටයුතු කළ නිවේදක නාරද බක්මීවැව මහතා විසින් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඇය පැවසුවේ ලෝකයේම දරුවන්ට විශාල දායාදයක් දීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටින් පිරී ඉතිරී ගිය සිතිවිල්ලක් ඇතිව තමන් කෙදිනක හෝ ලොවෙන් සමුගෙන යන බවයි.
තමන්ගේ දවස ගෙවෙන්නේ කල්පනා කරමින් බව කී සිබිල් වෙත්තසිංහ මහත්මිය තමන්ගේ හදවතේ දරුවන් වෙනුවෙන් කතා රැසක් පවතින බවත් ඒවා සියල්ල ලබාදීමට නොහැකි නමුත් හැකි තරම් දරුවන් වෙනුවෙන් නිර්මාණ කරන බවත් සඳහන් කළාය.
මහාචාර්ය නිමල් ද සිල්වා මහතා මෙහි විශේෂ දේශනය පැවැත්වූ අතර කාටූන් ශිල්පී ගිවන්ත අර්ථසාද්, ව්‍යවසාය සංවර්ධන උපදේශක දීපාල් සූරියආරච්චි යන මහත්වරු ද මෙහිදී දෙසුම් පැවැත්වූහ.
අනූ වැනි විය සපිරූ සිබිල් වෙත්තසිංහ මහත්මියට සුබ පැතීම සඳහා ඇගේ පවුලේ ඥාතීහු, කලාකරුවෝ , රසික රසිකාවියෝ ඇතුළු විශාල සිරිසක් මේ පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියට දිගාසිරි සහ නිරෝගී සුවය පතනවා. එතුමිය අපේ රටේ පොඩි දරුවන් වෙනුවෙන් විශාල වැඩකොටසක් කල මාතාවක් .
මේ වටිනා ලක් මාතාවට ජේසු සමිඳුන්ගේ නාමයෙන් දිගායුෂ පතමි.
"කුඩ හොරා" මා පොඩි කාලේ කැමතිම පොත.
සිබිල් නැන්දාට දීර්ගායුෂ සහ නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා.....!!!