එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලය පසුගිය 17 වැනිදා සිරිකොතේ දී පැවැත් වූ රැස්වීමේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර තිබූ ප්‍රකාශයක් පිළිබඳව මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ කිරීමේ දී තමන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැරීම ඊට බාධාවක් වන්නේ නම් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව එහිදී ඔහු ප්‍රකාශ කළේය. පක්ෂ දෙක ඒකාබද්ධ කිරීම පිළිබඳව සාකච්ඡා ඉක්මන් කළ යුතුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
රටට ප්‍රබල විපක්ෂයක් පැවැතීමේ අවශ්‍යතාව අද බොහෝ දෙනකුට දැනෙන කරුණක් වී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා රිමාන්ඩ් කළ අවස්ථාවේ විපක්ෂයේ පක්ෂ අතර ගොඩ නැගුණු සමගිය පිළිබඳව බොහෝ දෙනකු අවධානය යොමු කළේ එවැනි සමගියකින් විපක්ෂයේ ප්‍රධාන වගකීම් ඉටු කිරීමට හැකි පරිසරයත් ගොඩ නැගෙන බැවිනි. රටේ දක්ෂිණාංශය ලෙස සැලකෙන එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂ දෙකක් ලෙස බෙදීයෑම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එහි පැරැණි නායකයන් එකතු කරගැනීමට නොහැකිවීම පිළිබඳව මීට පෙර ද මෙම තීරුවෙන් කිහිප වරක්ම අදහස් දක්වා තිබේ. එම බෙදීම හේතුවෙන් විපක්ෂයට පැවැරි ඇති කාර්යභාරය නිසි අයුරින් ඉටු නොවන බව ද පෙන්වා දුන්නෙමු.
මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට 2024 පැවැති ජනාධිපතිවරණයේ දී භාවිත කළ වලංගු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 50 ක් ලබා ගැනීමට ජයග්‍රාහී අපේක්ෂකයාට නොහැකි විය. තුන් වෙනුවට වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයාගේ මනාප ගණන් කිරීමෙන් පසුව ද වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අනුර කුමාර දිසානායක මහතාට සියයට පනහක ප්‍රතිශතයට ළඟාවීමට නොහැකි විය. එසේ වුව ද ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිරීක්ෂණය කළවිට පැහැදිලි වනුයේ සජිත් ප්‍රේමදාස මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට හෝ රට පාලනය කිරීමේ වරම එම ජනාධිපතිවරණයේ දී අහිමි කරගෙන ඇත්තේ තමන් විසින්ම ස්වේච්ඡාවෙන් බව ඔවුන් වටහාගෙන ඇතැයි සිතමි.
2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතාට මුළු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 42.3 ක් හිමිවිය. සජිත් ප්‍රේමදාස මහතාට සියයට 32.8 ක්ද, රනිල් වික්‍රමසිංහ මහතාට සියයට 17.3 ක්ද හිමිවිය. සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතයේ එකතුව සියයට 50.1 ක් විය. එම මැතිවරණයට පෙර පක්ෂ දෙක අතර එකමුතුවක් ඇතිකර ගැනීමට සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ නමුදු ඒ සියල්ල අසාර්ථක විය. රටේ බහුතරයක් ජනතාව එක්සත් ජාතික පක්ෂයටත්, ඉන් කැඩීගිය සමගි ජන බලවේගයටත් සියයට 50.1 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාදී තිබිය දී, සියයට 42.3 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති ධුරය පිරිනැමීමට සිදුවිය. මෙය එම පක්ෂ දෙක ජනාධිපති ධුරය බන්දේසියක තබා අනුර කුමාර දිසානායක මහතාට පිළිගැන්වීමක් ලෙස හැර වෙනත් ආකාරයකින් අර්ථ දැක්විය නොහැකිය.
පසුගිය වසර තුළ රට ගමන් කළ ආකාරය පිළිබඳව අවධානය යොමු කරන ඕනෑම අයකුට රටේ ශක්තිමත් විපක්ෂයක් පැවැතීමේ අවශ්‍යතාව පැහැදිලි වනු ඇත. නිසි ක්‍රමවේදයෙන් බැහැරව ප්‍රශ්නගත කන්ටේනර් රේගුවෙන් මුදාහැරීම, ඉන්දියාව සහ ඇමරිකාව සමග අත්සන් කළ ආන්දෝලනාත්මක ගිවිසුම් රටට හෙළිදරව් නොකිරීම වැනි කරුණු පිළිබඳව පමණක් නොව මෑත ආසන්න කාලයේ ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුව පිළිබඳව අදාළ අංශ සිදු කළ පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳව අවශ්‍ය පියවර නොගැනීම ආදිය ඇතුළු බොහෝ කරුණුවලින් පැහැදිලි වන්නේ රජය නිසි මඟට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය තීරණාත්මක කාර්යභාරයක් ඉටු නොකළ බවය. එවැනි තත්වයක් තුළ රට ආර්ථික හා දේශපාලන අර්බුදයකට ගොදුරුවීම වැළැක්වීමට ද නොහැකි වනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙසැම්බර් මාසය සඳහා නිකුත් කරනු ලැබූ වාර්තාවේ දක්වා ඇත්තේ ‘දිට්වා’ ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු වූ ආර්ථික ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට ඉඩ ලැබීම පිළිබඳව ගැටලු පැන නැගී ඇති බවයි. රජය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් වෙන් කිරීමේ දී සහ වැය කිරීමේ දී මූල්‍ය කළමනාකරණ පනතට අනුකූලව කටයුතු කළ යුතු බව එහි දක්වා තිබේ. ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීමේ අරමුදල (Rebuilding Sri Lanka Fund) සහ ආධාර අරමුදල් ආදි සියල්ලේම කටයුතු වගවීම සහ විනිවිදභාවය පිළිබඳ නියමයට අනුකූලව සිදුවිය යුතු බව ද දක්වා තිබේ.
මෙවැනි අනතුරු ඇඟවීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව මගින් ප්‍රකාශයට පත්වීම තුළ පෙනී යන්නේ රටේ මූල්‍ය කටයුතු විධිමත් ලෙස පවත්වා ගෙනයෑම පිළිබඳව ගැටලු පැන නැගී ඇති බවයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ආපදාවලට ලක් වූ පිරිස් වෙත සහන සැලසීම පිළිබඳව විවිධ ප්‍රකාශ සිදු කළේය. එසේ වුව ද ග්‍රාමීය මට්ටමේ දී ජාතික ජන බලවේගයට සම්බන්ධ පිරිස් සහනාධාර තමන්ගේ නියමයට අනුව සිදු කළ යුතු බවට තර්ජනය කරති. ඒ අතර ආපදා සහන ලබා ගැනීමට නම් ජාතික ජන බලවේගයට සම්බන්ධ ග්‍රාමීය කමිටුවලින් නිර්දේශ ලබාගත යුතු බවට නියම කර ඇත. මේ සියල්ල මූල්‍ය කළමනාකරණ පනතේ වගවීම සහ පාරදෘෂ්‍යභාවය පිළිබඳ මූලධර්මවලට ඉඳුරාම පටහැණිය.
ආපදා කළමනාකරණය පිළිබඳව හෝ ව්‍යසනයක දී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් නැති පිරිස් රට පාලනය කරන විට අසීරුතාවට පත් වන්නෝ එම ව්‍යසනයෙන් පීඩාවට පත්වූවෝය. අතිවිශාල පිරිසක් තවමත් අවම පහසුකම් යටතේ රැඳවුම් කඳවුරුවල දිවි ගෙවති. තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත්වල අතිවිශාල ජන සංඛ්‍යාවක් අවතැන්ව සිටි නමුදු එම කඳවුරුවලට සියලු පහසුකම් සලස්වා ඉතා කෙටි කාලයක් තුළදී අවතැන් ජනතාව තම ගම්බිම්වල යළි පදිංචි කිරීමට හැකිවිය. කෝවිඩ් ව්‍යසනය අවස්ථාවේ දී රෝගයට ගොදුරු වූ අතිවිශාල පිරිසක් නිරෝධායන කඳවුරුවල රඳවා ගෙන නඩත්තු කිරීමට හැකිවිය. එම ව්‍යසන හා සසදන විට මෙම ව්‍යසනයේ දී අවතැන් වූ පිරිස් සංඛ්‍යාත්මකව ඉතා කුඩා ප්‍රමාණයක් වන නමුදු එම පිරිස් නඩත්තු කිරීම පවා ගැටලු සහගත තත්වයකට පත් කර ගෙන තිබේ. එයින් පැහැදිලි වන එක් මූලික කරුණක් වන්නේ රජයේ අකාර්යක්ෂමතාව සහ වැරැදි පිළිවෙත් පෙන්වා දී රජය නිසි මගට ගැනීමට තරම් ශක්තියක් ඇති ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාව අවධාරණය වන බවයි.
ජනාධිපතිවරණයට පෙරම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකමුතුවක් ගොඩ නැගීම සඳහා ගත් උත්සාහය පිළිබඳව ඉහතින් සාකච්ඡා විය. පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර ඒ සඳහා සාකච්ඡා ඇති වූ නමුත් ඒවා ද අසාර්ථක විය. මේ වනවිට සමගියක් ඇතිකර ගැනීම පිළිබඳව පක්ෂ දෙකම එකඟතාවකට පැමිණ ඒ සඳහා වූ යෝජනා ද සම්මත කරගෙන ඇති බව වාර්තාවේ. ජනාධිපතිවරණයට පෙර එවැනි එකමුතුවක් ගොඩනැගීම සඳහා විශාල හඬක් නැගූ තලතා අතුකෝරාල මහත්මිය දැන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරියයි. පක්ෂය බෙදීගිය අවස්ථාවේ සිට එක්සත් ජාතික පාක්ෂිකයෝ අතිවිශාල පිරිසක් දේශපාලනයෙන් ද, ඡන්දය දීමෙන් ද වැළකි සිටිති. එබැවින් පක්ෂයේ මෙන්ම මහජනතාවගේ ද සුබසිද්ධිය අරමුණු කරගෙන ඉතා ඉක්මනින් පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට පියවර ගනු ඇතැයි පාක්ෂිකයන් බහුතරයකගේ අපේක්ෂාව බව අමතක කළ යුතු නැත.
ජාතික ජන බලවේගයට රටේ ජනාධිපතිවරයාත්, තුනෙන් දෙකකට වැඩි බලයක් සහිත පාර්ලිමේන්තුවකුත්, පළාත් පාලන ආයතනවලින් බහුතරයකුත් දිනා ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගොනු වී සිටි බහුතර වාමාංශික ඡන්දවලිනි. ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ලබාගත් ඡන්ද සංඛ්‍යාව හා සසදන විට පළාත් පාලන මැතිවරණයේ දී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවී තිබේ. නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී සහ ඉන් පිටත දී විපක්ෂයට අයත් දේශපාලන පක්ෂයක නායකයකු ලෙස ඉටු කරන කාර්යභාර්ය බොහෝ දෙනාගේ අවධානයට යොමු වී ඇත. එසේ වුවද එය වටා ඒකරාශී වී සිටි බිම් මට්ටමේ පිරිස් හෝ බිම් මට්ටමේ නායකයන් ගොනු කර ගැනීමට තවමත් එම පක්ෂයට හැකි වී නැත. පක්ෂයෙන් ඉවත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නායකයන් පක්ෂයට එකතු කරගැනීම පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇති නමුදු තවමත් එම පිරිස් සක්‍රීය මට්ටමින් ක්‍රියාත්මක වන බවක් නොපෙනේ.
රටේ ‘සිස්ටම් චේන්ජ්’ එකක් ඇති කරන බවටත්, නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන බවටත්, වගවීම සහ පාරදෘෂ්‍යභාවය සියලු කටයුතුවල දී මූලික කරගන්නා බවටත් ජාතික ජන බලවේගය දුන් පොරොන්දුවලට ඉඳුරාම පටහැණි අයුරින් රටේ බොහෝ කටයුතු දැන් සිදුවන බව පෙනී යයි. විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැරව අරගලය වැනි ක්‍රම ඔස්සේ දේශපාලන බලය ගැනීම සඳහා ක්‍රියාත්මක නොවන බව පැහැදිලිය. එවැනි තත්වයක් තුළ රටේ ජනතාවගේ හැඟීම් පිළිබඳව රජයට දැන ගැනීමට ඉඩ සැලසීය හැක්කේ තවත් ඡන්දයක් මගින් පමණි. පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය ද, ඉන්දියාව ද, උතුරු නැගෙනහිර සුළු ජාතික පක්ෂ ද එම ඡන්දය ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලා සිටී. විපක්ෂයේ වගකීම වන්නේ එම ඡන්දය වහාම පැවැත්වීමට කටයුතු කිරීමට බල කිරීම වැනි ක්‍රියා පිළිවෙත් මගින් ජනතාවගේ ඡන්ද වරම යළි ඇතිකර ජනතාවගේ හැඟීම් රජයට දැන ගැනීමට ඉඩ සැලසීමයි.
රටේ දක්ෂිණාංශයේ සමගි ජන බලවේලය සහ එක්සත් ජාතික පක්ෂයේත්, වාමාංශයේ පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂවලත් වගකීම වන්නේ එම පක්ෂ අතර පවතින වාදභේද අමතක කර, ශක්තිමත් පදනමකින් රටේ දේශපාලන ප්‍රවාහයට නායකත්වය සැපයීමයි. එසේ නොවන තාක් අකාර්යක්ෂම පාලනයක ගොදුරක් වීමට ජනතාවට සිදුවනු ඇත. ජනතාවට එල්ලවන පීඩනය නවත්වා ගැනීමට නොහැකිව අසරණ භාවයකට ඔවුන් පත්වන අතර මුළු ජන සමාජයම අනාරක්ෂිත බවකින් වෙළාගනු ඇත.
(***)

2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විපක්ෂයේ ගමන් මග අයාලේද?