IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විදුලිබිල අඩුවීමේ ආර්ථික වාසි

සියයට 20කින් විදුලි බිල අඩුකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වනවිට රටේ කාගේත් අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ සියයට 20 ක විදුලි බිල අඩුවීම පිළිබඳව නිල වශයෙන් දැනුම්දුන් පසු මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන විදුලි බිල අඩුකිරීම තීරණය කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.

අදාළ විදුලි සංශෝධනයට අනුව ගෘහස්ථ අංශය සඳහා සියයට 20කින්ද ආගමික හා පුණ්‍යායතන සඳහා සියයට 21කින්ද හෝටල් සඳහා සියයට 31කින්ද කර්මාන්ත කාණ්ඩය සඳහා සියයට 30කින්ද පොදු කාර්ය කාණ්ඩය සඳහා සියයට 12කින්ද රාජ්‍ය ආයතන හා වීදි ලාම්පු සඳහා සියයට 11කින්ද ගාස්තු අඩුකිරීමට අපේක්ෂිත බව මාධ්‍ය මගින්ද අනාවරණය විය.

විදුලි බිල මේ මට්ටමට අඩුවීම රටේ ජනතාවටත් ආර්ථිකයටත් ප්‍රබල බලපෑමක් කරන කාරණයකි. පසුගිය කාලයේ මෙරට පැවැති ආර්ථික අර්බුදය ඇතුළු වෙනත් හේතු නිසා 2021 වසරට සාපේක්ෂව සියයට තුන්සියයකින් පමණ විදුලි බිලේ වැඩි වීමක් සිදුවිය. රුපියල් දහසක විදුලි බිලක් ගෙවූ විදුලි පාරිභෝගිකයාට රුපියල් තුන් දහසක් හෝ ඊට වැඩි ගණනක් ගෙවන්නට මේ අනුව සිදුවිය. මේ වැඩිවීම ව්‍යාපාර අංශ කෙරෙහි බරපතළ අන්දමින් බලපෑ කාරණයකි. සියයට 20 සිට සියයට 31 දක්වා පරාසයක විදුලි බිල අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය වඩාත් වැදගත්වන්නේ මේ නිසාය. ඒ අනුව මෙරට ව්‍යාපාරික අංශ සඳහා සියයට තුනකින් පමණ විදුලි බිල අඩු වීමත් ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි බිල පහෙන් එකකට අඩුවීමත් සැලකියයුතු තත්වයකි.

 ලංකාවේ විදුලි බලයේ පාරිභෝගික මිල තීරණය කිරීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමටය. එම කොමිසමට අදාළ නීති රීතිවලට අනුව විදුලි මිල තීරණය වන්නේ පිරිවැය පදනම් කරගෙනය. එහෙත් පිරිවැය සැලකිල්ලට ගැනීම පමණක් එකම කාරණය නොවනු ඇත. එසේ කිරීමේදී පාරිභෝගිකයන්ටත් විදුලිය සැපයුම්කරුවන්ටත් බලපාන කාරණා සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීම සිදුවේ. ලංකා විදුලි බල මණ්ඩලය විසින්ද තම පිරිවැය තක්සේරු කිරීම් ආදිය මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කෙරේ. මහජන උපයෝගීතා කොමිසම කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්ති උපමාන ද සැලකිල්ලට ගත යුතු වේ.

සියයට 30කින් විදුලි බිල අඩුකළ හැකි බව මීට පෙරද 2024 මැදභාගයේ දී පමණ මහජන උපයෝගීතා කොමිසම කියා සිටි බව අපට මතකය. මෙතැනදී සලකා බැලිය යුතු වැදගත් කාරණය නම් විදුලි බිල මහජනතාවට හා ව්‍යාපාර ආයතනවලට දරාගත හැකි මට්ටමක තිබේද යන්නයි. මේ වන විට එය එබඳු දරාගතහැකි මට්ටමක නොපවතින බව ඉතාම පැහැදිලිය. එය ජනතාවගේ ජීවන වියදමට දරාගත නොහැකි එකක් විය. ඒ බව හොඳින් වැටහී ගිය එක් කරුණක් නම් මෑත කාලය තුළ විදුලි බිල ගෙවාගත නොහැකිව විදුලිය විසන්ධි කෙරුණු නිවාස ගණනාවක් මෑත කාලය තුළ දක්නට ලැබීමය. එසේම එබඳු ඉහළ විදුලි බිලක් යටතේ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යා නොහැකි තත්වයක් උද්ගත වී තිබිණ. විදුලිය යනු කර්මාන්ත හා සේවා අංශයේ විශාල ක්ෂේත්‍රයක බලපෑම් කරන ප්‍රමුඛ කාරණයකි. ආයතනවල යන්ත්‍ර සූත්‍ර බොහොමයක් විදුලි බලයෙන් ක්‍රියා කරන ඒවාය. ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය ඇතුළු සේවා අංශය ගතහොත් එම ආයතන පවත්වාගෙන යාමට විදුලියෙන් සිදුවන්නේ ප්‍රමුඛ බලපෑමකි.

මේ අනුව පැහැදිලිවන්නේ විදුලිය සම්බන්ධ ගැටලු‍ව රටේ ආර්ථික අර්බුදයත් සමග ඍජුවම සම්බන්ධවන බවය. ජනතාවටත් ආර්ථිකයටත් ඉතාම පීඩාකාරී ලෙස බලපෑ විදුලිබිල මෙසේ අඩුකිරීමට තීරණය කිරීම සමස්ත පාරිභෝගිකයන්ටත් නිෂ්පාදකයන්ටත් සමස්ත පුරවැසියන්ටත් සහනදායී ප්‍රතිපත්ති තීරණයක් වනු ඇත. විදුලි බිල අඩුකිරීමෙන් එය සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට බලපාන්නේ කෙසේදැයි තේරුම් ගෙන ක්‍රියා කිරීම වැදගත්වනු ඇත. නිවාස හා ආයතන මට්ටමින් විදුලි සැපයුම විසන්ධිකර ඇති ස්ථාන මේවන විට බහුලව පවත්නා බව අපි මුලින්ද කීවෙමු. මේ නව විදුලි බිල සහනය ලැබුණොත් විදුලි සැපයුම අත් හිටවූ ආයතනවල නිෂ්පාදන ක්‍රියාවලිය යළි අඛණ්ඩව සිදුකෙරෙනු ඇත. එසේම පවුලේ වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීමටද මෙම මිල අඩුවීම බලපානු ඇත. රුපියල් ලක්ෂයක විදුලි බිලක් ගෙවමින් සිටි ව්‍යාපාරික ආයතනයකට සියයට 31ක සහනයක් ලැබෙන නිසා එය සැලකිය යුතු අඩුවීමකි. පවුල් ඒකකවලට පමණක් නොව ව්‍යාපාරික ක්ෂේත්‍රවලටද යම් ආර්ථික සහනයක් මේ අනුව මේ විදුලි බිල අඩුවීමෙන් ලැබෙනු ඇත.

 විදුලි බිල අඩුකිරීම සියයට 31 මට්ටම දක්වා රැගෙන යමින් නිෂ්පාදන ක්ෂේත්‍රයේ දියුණුවක් අපේක්ෂා කිරීම ඉතාම සාධනීය කාරණයකි. සේවා සහ කර්මාන්ත අංශවලට මෙය ඍජුව බලපානු ඇත. ආර්ථික වශයෙන් ගත්තත් රටක නිෂ්පාදන අංශය ඉතාමත් තීරණාත්මක වේ. භාණ්ඩ හා සේවාවල නිෂ්පාදන පිරිවැය තීරණය වීමට ප්‍රබල සාධකයක් වන්නේ විදුලි බිලය. විදුලි බිල අඩුවූ විට නිෂ්පාදන පිරිවැය සියයට 30කින් පමණ අඩු වේ. භාණ්ඩ හා සේවාවල මිල අඩුවීමට මෙය තීරණාත්මක කාරණයක් වනු ඇත. ජීවන මට්ටම යහපත් වීමටද එය කාරණයක් වනු ඇත.

එහෙත් විදුලි බිල අඩුවීමෙන් භාණ්ඩ හා සේවාවලදී ලැබෙන වාසිය පාරිභෝගික ජනතාවට ලැබිය යුතුය. ඉන්ධන හා විදුලිය මිල අඩුවූ මීට පෙර අවස්ථාවලද යම් යම් භාණ්ඩවල මිල අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට නොලැබුණු බවට චෝදනාවක් පොදු සමාජයේ මතුවිය. ආණ්ඩුවද ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් ය. පාරිභෝගික සේවා අධිකාරිය අනෙකුත් නියාමන ආයතන සමග සම්බන්ධ වී මේ පිළිඹදව සොයා බැලීම, අධීක්ෂණය, මෙහෙයුම හා නිරීක්ෂණය කළ යුතුය. එසේ නොවුණොත් විදුලි බිල අඩුවීමේ වාසිය විනිවිදභාවයකින් යුතුව ජනතාවට ලැබීම මගහැරී යන්නට පුළුවන. මේ සොයා බැලීමේ දී ජනමාධ්‍යයටද සහාය විය හැකිය. පාරිභෝගික සංගම්, සිවිල් ක්‍රියාකාරීන් ද මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව වැදගත් වනු ඇත.

නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් ද මේ කියන කාරණය අදාළ වේ. විදුලි බිල අඩුවීම හාණ්ඩ නිෂ්පාදනයේදී ද බලපාන අතර එහි වාසිය නිෂ්පාදන මිල අඩුවීමටද හේතුවිය යුතුය. නිෂ්පාදකයා මෙම වාසිය තම ලාභය මත පමණක් සීමා කරන්නේ නම් එසේ නොවීමට රජයේ නියාමන ආයතන මැදිහත් විය යුතුය. පිරිවැය ගැටලු‍ව නිසා මේ වන විට නිෂ්පාදන ආර්ථිකය යම් අඩපණ වීමකට ලක්ව ඇති බව අපි දනිමු. එහෙත් විදුලි බිල මේ මට්ටමින් අඩු වීමෙන් ඔවුන්ගේ නිෂ්පාදන කාර්යයන් යම් උද්දීපනයක් ලැබෙනු ඇත. මෙයින් රටේ ආර්ථික වර්ධන වේගය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගැනීමටද කැකියාව ලැබෙනු ඇත.

 භාණ්ඩ හා සේවාවල මිල අඩු කළ හැකි එක් ප්‍රධාන කාරණයක් නම් පිරිවැය අඩු කිරීමේ ක්‍රමෝපායවලට යාමය. ඒ සඳහා තීරණාත්මක බලපෑමක් මේ විදුලි බිල අඩුකිරීමෙන් සිදුවනු ඇතැයි අපි විශ්වාස කරමු. එසේම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය මේ වනවිට වඩාත් පීඩාවට පත්ව තිබේ. පසුගිය කාලයේ පැවැති ආර්ථික අර්බුදය ඊට හේතු විය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය නැවත නගා සිටුවීමට මෙම විදුලි බිල සංශෝධනය තීරණාත්මක සාධකයක් වනු ඇත.

 අපගේ අවධානයට යොමුවිය යුතු තවත් ඉතා වැදගත් කාරණයක් නම් ණය සේවාකරණ පීඩනයයි. පසුගිය කාලය පුරා වැඩි වශයෙන් සාකච්ජාවට ලක්වූයේ ආණ්ඩුවේ විදේශ ගැටලු‍ව පිළිබඳවය. එහෙත් දේශීයව ව්‍යාපාරික ආයතන වශයෙන් සහ පෞද්ගලික මට්ටමින් ණය ලබාගත් බොහෝ පිරිසක් මෙරට සිටිති. මේ ණය බර නිසාම බොහෝදෙනා පීඩාවට රැවටීම්වලට පත්ව විවිධ අර්බුදවලට මැදිවී සිටින සැටි පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් ද අනාවරණය විය. එහෙත් විදුලි බිලේ මෙම සංශෝධනය හේතුකොට ගෙන නිෂ්පාදන පිරිවැය අඩුවී තම ආදායම් තත්වය යහපත් කර ගැනීමට හැකිවූවොත් එය ණය සේවාකරණයටත් යහපත් ලෙස බලපානු ඇත. එය සිදුවීමට නම් ව්‍යාපාර යළි පණ ගැන්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුව ඇත. විදුලි බිල අඩුවීමේ වාසිය අර්ථවත් වීමට නම් රටේ ආර්ථික කාර්යක්ෂමතාව වැඩි විය යුතුය. තරගකාරීත්වය වැඩිවීම දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනයටද සාධනීය හේතුවක් වනු ඇත. විදේශ ආයෝජකයන් අපේ රටට පැමිණීමට පෙර මූලිකව සලකා බලන කාරණා කිහිපයක් වෙයි. ඒ අතර බල ශක්තිය ප්‍රමුඛ කරගත් විදුලි බලය ඉන්ධන මිල තීරණාත්මක කාරණයක් වනු ඇත. තම නිෂ්පාදන ක්‍රියාවලියට බලශක්තිය මූලික අත්‍යවශ්‍ය යෙදවුමක් වේ. රටක බලශක්ති මිල අඩු වීම ආයෝජන ප්‍රවර්ධනයට වාසිදායක වන කාරණයකි. ඒ අනුව විදුලි බිල සියයට 20 සිට සියයට 31 පරතරය දක්වා අඩුවීම ආයෝජන ක්ෂේත්‍රයේ කැපීපෙනෙන වර්ධනයකට හේතුවනු ඇත.

සමස්තයක් වශයෙන් ගත් කල නව රජය විදුලි බිල අඩු කිරීමට කටයුතු කිරීම මෙරට ආර්ථික සමාජ ක්‍රියාවලියට තීරණාත්මකව බලපාන සාධකයක් වනු ඇති බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. ඒ දෙස අපි ධනාත්මක ඇසින් බැලිය යුතුය. රටේ සාර්ව ආර්ථිකයටත් පොදුවේ ජනතාවගේ ජීවන තත්වයටත් යහපත් ආකාරයෙන් බලපානු ඇත. එම වාසිය ජනතාවට විනිවිදභාවයකින් යුතුව ලබා දීම ඊට සම්බන්ධ සියලු‍ රාජ්‍ය නියාමන ආයතනවල වගකීමක් බවද පෙන්වාදීමට කැමැත්තෙමි. නව රජය මෙම තීරණය ගත්තා සේම ඔවුන්ට තව දුරටත් යහපත් තීන්දු තීරණ ජනතාව වෙනුවෙන් ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසයක් තැබිය හැකිය. විකල්ප පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රවලට යොමුවීම සඳහා ආණ්ඩුවේ අවධානය යොමු වී තිබීම යහපත් ප්‍රවණතාවක් වනු ඇත. එසේ යොමු වුවහොත් නිෂ්පාදන ක්‍රියාවලියේ දී අඩු පිරිවැයකින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. අපි දැන් ආර්ථික සංවර්ධන සංග්‍රාමයක නිරත වී සිටිමු. ඒ සංවර්ධන ගමන දැඩි වේගයකින් යායුතුව තිබේ, මේ විදුලි බිල අඩුවීම එම ආර්ථික සංවර්ධන සංග්‍රාමයට සුබ ලකුණක් වනු ඇත.

(*** සාකච්ඡා සටහන ගාමිණී කන්දේපොළ)



අදහස් (1)

විදුලිබිල අඩුවීමේ ආර්ථික වාසි

Edirisingha Friday, 24 January 2025 06:01 PM

දැන් අලුත් ක්‍රමයකින් වැඩිපුර ගන්නවා. කොහොමද කිව්වොත් ඉස්සර දින 30 කට පෙර ඇවිල්ලා බිලදෙනවා. දැන් දින 30ක් පසුකර ඒකක ගණන වැඩිවුණාම බිල දෙනවා. ඊළඟට ඔන්ලයින් ගෙවීමේ පහසුකම නැතිකරලා තියෙනවාලු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site