IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


විදුලකරේ යති සලකුණ

පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි සත්වන පරිවෙණාධිපති ධුරය හොබවා වදාළ රත්මලානේ පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර, අග්ගමහාසද්ධම්මජෝතිකධජ, සාහිත්‍යචක්‍රවර්තී, ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ලංකාද්වීපයේ පශ්චිම දිශානුදිශාවන්හි ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම නිමිත්තෙන් පළ වන ලිපියකි.

විද්‍යාලංකාරය නමැති මහාවෘක්ෂයේ ඉතා ශ්‍රේෂ්ඨ ඵලයන් වූ අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර, යක්කඩුවේ පඤ්ඤාරාම, කොටහේනේ  පඤ්ඤාකින්ති, නාත්තණ්ඩියේ  පඤ්ඤාකර, බඹරැන්දේ සිරි සීවලී, වල්පොල රාහුල වැනි මහා යතිවරුන්ගේ සුවිසල් ශාසනික අධ්‍යාපනික, ආගමික සේවාවේ වර්තමාන නියෝජනය සිදුකරනු ලැබුවේ අපවත්වී වදාළ අතිගෞරවණීය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන් වහන්සේ විසිනි.

නිහතමානී ගුණයෙන් අගතැන්පත් වූ උන්වහන්සේ සියලුදෙනාම ආදරයෙන් හා සිනහමුසු මුහුණින් පිළිගත්හ. බුදුරජාණන් වහන්සේ තුළ තිබූ පුබ්බභාසී, පුබ්බහාසී ගුණය අප නාහිමියන්ගේ චරිතය බැබළවූ ආභරණ විය. උන්වහන්සේ ගිහි පැවිදි, බාල මහලු, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු දෙනා සමගම සිනාසුනහ. කථාකළහ. එම නිසාම සියලුදෙනාම උන්වහන්සේට දයාබර පියෙකුට සේ ආදරය කළහ. එසේම නාහිමියන් සතුව පැවැති අසරණයන්ට පිහිට වීමේ ගුණයද උපමා රහිතය. විවිධ ආබාධ සහිත වූ අය සොයා ගොස් උපකාර කළ උන්වහන්සේ දුගී දුප්පතුන්ට දානශාලාවක් වැනි වූහ. යුද්ධයේදී ආබාධයන්ට ලක් වූ රණවිරුවන් වෙනුවෙන් විවිධ ව්‍යාපෘතීන් මගින් කෘත්‍රිම පාද, කිහිලිකරු වැනිදෑ බෙදා දීමට නිරන්තරයෙන් කටයුතු කළහ.

අතිගෞරවනීය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන් වහන්සේගේ ධර්මදේශනා ශක්‍යතාවද මෙහිලා සඳහන් නොකරම බැරිය. උන්වහන්සේ සතුව විශේෂ වාග්චාතුර්යයක් පැවතිණ. සමහර අවස්ථාවලදී උන්වහන්සේ නොකඩවා එකදිගටම පැය දෙක තුන ධර්මදේශනා පවත්වති. එහෙත් එය අසන්නාට අප්‍රිය නොවේ. ශ්‍රාවකයන් උන්වහන්සේගේ ධර්ම  දේශනාවන් ශ්‍රවණය කරන ලද්දේ ඉමහත් ප්‍රීතියෙනි. අතීතයේ පැරණි ලක්දිව පැවැති අරියවංස දේශනා මෙහිදී සිහියට නැගෙයි. බොහෝ විට විහාරස්ථානවල පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාවන්හි අනුශාසනාව සඳහා ඇරයුම් ලබන්නේ අප නායක හිමිපාණන් වහන්සේය. උන්වහන්සේ කිසිම දිනෙක කිසිම කෙනෙකුගේ ආරාධනාවක් ප්‍රතික්ෂේප නොකළ අතර යමෙක් ආරාධනාවකට පැමිණි විට දිනයක් සොයා ගැනීම ඉතාම අපහසුය. සමහරවිට එහි ඉදිරි වර්ෂ දෙකතුනකට අදාළ ආරාධනාවන්ගෙන් පිරී තිබේ.

ඉතා දීර්ඝකාලයක් සමස්තලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපතිත්වය දරමින් ශාසනික පුනරුදය වෙනුවෙන් කළ කැපකිරීම ඉතා විශිෂ්ටය. දහම් අධ්‍යාපනය නගාසිටුවීම පිණිසත්, දහම් පාසල් දියුණු කිරීම පිණිසත් උන්වහන්සේ කැපවී ක්‍රියා කළහ. පිරිවෙන් අධ්‍යාපනයට අවශ්‍ය සුදුසුකම් සලසා දීමට විශේෂයෙන් ක්‍රියා කළ උන්වහන්සේ ඒ වෙනුවෙන් දැක්වූ දායකත්වය ද ප්‍රමාණාතික්‍රාන්තය.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් බිහිවූ දැන උගත් භික්ෂූන් වහන්සේලා අතීතයේ මෙන්ම වර්තමානයේ ද ලංකාවේ පමණක් නොව ලෝකය පුරා ලෝක ශාසනික සේවාවන්හි නිරත වෙමින් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් ක්‍රියා කරති. පිරිවෙනේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුකම් පිළිබඳව නිරන්තර අවධානයෙන් ක්‍රියා කළ උන්වහන්සේ ඇතැම් විට දානයේ අඩුපාඩුකම් දුටුවහොත් තමන් වහන්සේම කඩයට ගොස් දානෝපකරණ රැගෙනවිත් දානය සකස්කරදීමට තරම් උන්වහන්සේ නිහතමානී වූ බව මා අසා තිබේ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ආයතනයක් පවත්වාගෙන යන්නට තම පිරිවෙන ලබාදීමෙන් ද උන්වහන්සේ බෞද්ධ අධ්‍යාපනය කෙරෙහි දැක් වූ උනන්දුව තේරුම් ගත හැකිය. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිත්වය දරමින් උසස් අධ්‍යාපනයට අනුග්‍රහ දැක්වූ උන්වහන්සේ ඉතා දැන උගත් ශිෂ්‍ය පිරිසක් ඇති කිරීමද සුවිශේෂීය.

මල්වතු මහා විහාරයේ උපාධ්‍යාය තනතුරක් හෙබවූ උන්වහන්සේ කොළඹ හලාවත දෙදිශාවේ ප්‍රධාන සංඝනායක ධුරයද ඉසිලූහ. භික්ෂූන් වහන්සේලාගේ උපෝසථ විනය කර්මය භික්ෂු ජීවිතයේ ඉතා වැදගත් අංගයකි. කැලණිය ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා උපෝසථකර්ම කිරීම සඳහා විද්‍යාලංකාර සීමාමාලකය තෝරා ගන්නේද නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් එය සිදු කිරීමේ අටියෙනි. උන්වහන්සේ මේ කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වමින් ක්‍රියා කළ අතර එහි රැස්වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් විශේෂ අනුශාසනාවන් ද පවත්වනු ලබන්නේ ප්‍රදේශවාසී භික්ෂූන්ගේ ආයති සංවරය හා ශාසනික උනන්දුව ඇතිකරනුවස්ය.

වචනයෙන් කියා නිමකළ නොහැකි, ලියා අවසන් කළ නොහැකි සිතා නිමකළ නොහැකි ඉතා සුවිසල් ආගමික, ජාතික, අධ්‍යාපනික සේවාවක් සිදුකළ අතිගෞරවණීය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීම රටටත්, ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත් සිදු වූ විශාල පාඩුවකි. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය යන බුදුවදන අපට වෙනස් කළ නොහැක. සියලු දෙනාටම පොදු වූ සනාතන යථාර්ථය එයයි. එය උන්වහන්සේටද එසේමය. ඇමරිකාවේ සියලුම මහා සංඝරත්නයේ සංවේගයද පළකරමින් උන්වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනය කරමි.


(***)
ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක,
ලොස් ඇන්ජලීස් ධර්මවිජය විහාරය හා
පාමංකඩ ශ්‍රී මහා විහාරය යන උභය මහා විහාරාධිපති
අග්ගමහාපණ්ඩිත ආචාර්ය
වල්පොල පියනන්ද නාහිමි



අදහස් (0)

විදුලකරේ යති සලකුණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 471 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site